ක්‍රිස්තු භක්තිකයන්ට යාච්ඤාව වැදගත් වන්නේ ඇයි?
යාච්ඤාව යනු,
ශාන්ත තෙරේසා මුනිවරියට අනුව යාච්ඤාව යනු,
"මට නම්, යාච්ඤාව හදවතේ නැගීමක්ය;එය ස්වර්ගය දෙස යොමු කරන සරල බැල්මකි, පිළිගැනීමේ සහ ආදරයේ ප්‍රීතිරාවයකි,පරික්ෂාවන්( දුෂ්කරතාවයන්)සහ ප්‍රීතිය යන දෙකම වැළඳ ගන්නකි."
මෙතුමියට අනුව යාඥාව යනු ස්වර්ගය සඳහා වූ පෙර පුහුණුවීමකි. එමෙන්ම තමාගේ ප්‍රීතිය මෙන්ම විශේෂ කොට දුක්කම්කටොළු දෙවිඳුන් හට ඇතුලාන්ත සන්තෘෂ්ටියකින් යුතුව භාර දීමකි.
වත්මන් සමාජයේ පවුල් බිඳී යාමට ප්‍රධානම හේතුව නම් සන්නිවේදනය නොමැතිකමයි. යාච්ඤාවට ද එය අදාළ වේ.යාච්ඤාව යනු දෙවිඳුන් හා මා අතර ඇති වන්නා වූ සංවාදයකි. යමෙකු තමා තුළ වූ ප්‍රේමය විදහා දක්වනුයේ වචන, ඉරියව් හා හැඟීම් උපයෝගී කරගෙනය. සන්නිවේදනයක් නැති කොට සබඳතාවයක් ද ඇති නොවේ.
"යාච්ඤාව යනු යමෙකුගේ මනස සහ හදවත දෙවියන් වහන්සේ වෙත ඔසවා තැබීම හෝ දෙවියන් වහන්සේගෙන් යහපත් දේ ඉල්ලා සිටීමයි."
ක.ස.ධ 2559
යාච්ඥාවේදී උන්වහන්සේ තමන් වහන්සේව සියුම්ව අනාවරණය කරන අතර අපද අපගේ චරිතය උන්වහන්සේ වෙත අනාවරණය කරයි. යාඥාව නොමැති තැන්හි ක්‍රිස්තියානිකමද නොමැත. සාන්තුවර ඉගැන්වීම් පරිදි උන්වහන්සේ පිළිබඳ රචනා කරන ලද පොත්පත් කියවීමට වඩා යාච්ඥා කිරීමෙන් උන්වහන්සේ හඳුනාගත හැක.
ශු.ග්‍රෙගරි නැන්සියන්සස් තුමාට පරිදි,
අප හුස්ම ගන්නා වාර ගණනට වඩා අප උන්වහන්සේ හඳුනාගත යුතුය.
එමෙන්ම ෆවුස්තිනා තුමියගේ දිනපොතට අනුව,
සෑම කරුණාවක්ම(grace) පැමිණෙන්නේ යාච්ඤාවෙන් සහ විශ්වාසයෙනි.
මෙහිදී ඔබට ගැටලුවක් පැන නගිනු ඇත. එය නම් යාඥා කළ යුත්තේ මන්ද යන්නයි? කෙටියෙන්ම කිවහොත් දෙවියන් වහන්සේටය එය අවැසි බැවිනි. නමුදු ශුද්ධ වූ බයිබලයට අනුව අප පැවසීමටත් පෙර අපට අවැසි දෑ උන්වහන්සේ දන්නා බැවින් යාඥා කිරීමෙහි අර්ථයක් ඇත්ද යන්න ඔබට සිතෙනු ඇත. කතෝලික සභා ධර්මෝපදේශයේ 2736 වෙනි වගන්තියට අනුව උන්වහන්සේ අපගේ අදහස බලාපොරොත්තුවෙන් සිටි; මන්ද උන්වහන්සේ මනුෂ්‍යයන් වන අපට තීරණ ගැනීමේ නිදහස් කැමැත්තක් දුන් බැවිනි. ඒ හෙයින් උන්වහන්සේ අපට දුන් නිදහස භාවිත කිරීමට යොමු කිරීමට අවශ්‍යව ඇත. අරුත් යාඥාව යනු තමන්ගේ කැමැත්ත උන්වහන්සේගෙන් විමසීමකි.
එනිසා කිතුනු අප හුදෙක් කිතුනු පොතපත කියවීමෙන් පමණක් උන්වහන්සේ ව හඳුනාගත නොහැක. එහෙයින් අපගේ පැවැත්ම හා ඇදහිල්ල ස්ථිර වනුයේ යාච්ඤාව මතය.
උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්