අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්නේ ඇයි?
ආරම්භයේ ඉඳලම මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ එක්ක ලොකු සමීප සම්බන්ධතාවයක් තිබ්බා. ඒත් ආදම් සහ ඒවා පව් කරපු නිසා ඒ සම්බන්ධතාවය බිඳුණු බවත් ඇත්ත. ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ පාපය කරාම දෙවියන් වහන්සේ ද අපෙන් ඈත් වෙන්නේ ; නැත්තං අපිද ඈත් වෙන්නේ කියන එක. හුඟක් අය හිතන්නේ අපි පව් කරාම දෙවියන් වහන්සේ අපෙන් ඈත් වෙනවයි කියල.
අපි හිතන්නෙ පව් කරන්න දෙවියන් වහන්සේ අපිව දාලා යනව වගේම ඊට පස්සේ උන්වහන්සේ අපට ලැබෙන්න ඕන හැම ආශිර්වාදයක්ම ""Block" කරලා දානවා වගේ තවදුරටත් අපිට උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය කියා දේව හඩවත් ඇහෙන්නේ නැති බවයි.
ඒත් අපි උප්පත්ති කතාවට ගියොත් ඒකෙ පාපය ගැන සඳහන් වෙන්නේ වෙනස්ම විදිහකට.
උප්පත්ති කතාවේ සඳහන් වෙන විදිහට අපි කොච්චර පව් කරත් දෙවියන් වහන්සේ අපි ගැන හොයන එක නවත්තන්නේ නැහැ? පව්කාරයවත් උන්වහන්සේ හොයනවා.
නැත්නම් දෙවියන් වහන්සේ මනුෂ්‍යයා පව් කරයින් පස්සේත් " නුඹ කොහෙද? "[ උප්පත්ති 3:9 ] කියල අහනවද? ඒ විතරක් නෙමෙයි දේව හඬ ඇහෙන එකත් නවතින්නේත් නැහැ. නැත්නම් පව් කරයින් පස්සේ දෙවියන් වහන්සේ ආදම් සහ ඒවට කතා කරනකොට ඒ දෙන්නට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ කොහොමද?අපි හුඟක් වෙලාවට උන්වහන්සේගෙන් ඈත් වෙන්නේ පාපය නිසාම නෙවෙයි. පාපයේ ප්‍රතිඵලයන් නිසා. පාපයේ ප්‍රතිඵලයන් මොනවද?
දෙවියන් වහන්සේ ඇසුරු කරනකොට දෙවියන් වහන්සේගෙන් දීමනා ලැබෙනවා වගේ ( ශුද්ධාත්මයාණන් තුළින් ශුද්ධාත්ම ඵල ) පාපය කරනකොට පාපයේ ඵලයනුත් තියෙනවා. මූලික වශයෙන් ගත්තොත් වෛරය, අසතුට, සිත් සාමය නොමැති කම වගේම තවත් දුරටත් පැහැදිලි කරොත් තමා කෙරෙහි ඇතිවන ඇතුලාන්ත පිළිකුල් ස්වභාවය, තමාට තමාවම පිළිගැනීමේ නොහැකියාව , හිතින් දුරු වෙන්නේ නැති ආතතිය වගේ දේවලුත් ගන්න පුළුවන්.
මැවීමේ කතාව තුළදී ආදම් සහ ඒවට දෙවියන් වහන්සේගේ කටහඬ ඇහුනත්, ඒ දෙන්නා දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී ඉන්නේ නැත්තේ තමා කරපු පාපය නිසා නෙමෙයි තමා කරපු පාපයේ ප්‍රතිඵලය වෙච්ච තමන්ගේ නිරුවත් භාවය තේරුම් ගත්ත නිසයි. නිරුවත් භාවය වටහා ගැනීම තුල සංකේතවත් කරන්නේ තමා කළ පාපය තුළ මුහුණ දීමට තියෙන නොහැකියාවයි. පව් කරන්න කලින් ඒ දෙන්නා නිරුවත්ව ඉදියත් ඒ ලැජ්ජාවට පත්වුණේ නැහැ. මොකද පව් කරන්න කලින් තිබුණු නිරුවත් භාවය සංකේතවත් කරන්නේ නිදහස හා පවිත්‍රභාවය වගේ යහපත් ගුණාංගයන්.
ඒත් පව් කරයින් පස්සේ හැම යහපතකම තිබුණු ස්වභාවය නැතිව ගියා. දෙවියන් වහන්සේගේ නිදහසේ හා පවිත්‍ර භාවයේ සංකේතය කණපිට පෙරලුනා.
අපිත් හුඟක් වෙලාවට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්නේ පව් කරයින් පස්සේ උන්වහන්සේට මුහුණ දෙන්න බැරි කමට. ඒත් අපි තේරුම් ගන්න ඕනේ හැම දෙයක්ම වෙනස් වුණත් දෙවියන් වහන්සේ වෙනස් නොවන බව.
ඒක නිසා තවදුරටත් පාපය නිසා දෙවියන් වහන්සේගෙන් සැගවෙන එකවත්, බොරු කියන එකවත්, නිදහසට කරුණු කියන එකවත් නෙමේ අපි කරන්න ඕනේ. තමාගේ වරද පිළිගන්න එක.අපි පව් කරයින්පස්සෙත් උන්වහන්සේ අපිට අපේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන එක නවත්වන්නේ නැහැ.
ආදම් සහ ඒව තමන්ගේ නිරුවත් භාවයට විසඳුමක් වශයෙන් අත්තික්කා කොළවලින් ඉණවැසුමක් හදාගන්නවා. මේක කෙටියෙන්ම කිව්වොත් තාවකාලික විසඳුමක්. ඒ වෙනුවට දෙවියන් වහන්සේ ආදම් සහ ඒවට හම් වස්ත්‍රයක් හදලා දෙනවා. හම් වස්ත්‍රයෙන් සංකේතවත් කරන්නේ ස්ථිරසාර විසඳුමක්.
පව් කරපු මනුෂ්‍යයාටත් උන්වහන්සේ ගැලවීමේ බලාපොරොත්තුවක් දෙනවා. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේ,
පාපයේ රසයට මුලාවෙලා ඒ දේ කරයින් පස්සේ සතුටු වෙන එකට වගේම දුකෙම ඇලි ගැලී ඉන්න එකටත් නපුරා කැමති. පාපය තුළ ලබන සතුටෙන් අපිට පාපය ගැන තියෙන අවබෝධය නැති වෙනවා වගේම සැබෑ සත්‍යය, ජීවනය තේරුම් ගන්න මාර්ගයෙන් අපිව ඈත් කරනවා. එහෙමයි කියලා අපි දුක තුළ ම විතරක් ජීවත් වුණොත් අපිට ක්‍රිස්තුස් වහන්සේ කියන බලාපොරොත්තුව මගහැරෙනවා. පව් කරලා අපිට දුක හිතෙන්න පුළුවන්. මොකද අපි ඒ දේ කරේ දෙවියන් වහන්සේගේ ආදරේට විරුද්ධව නිසා. මනස්තාපනය නරක දෙයක් නෙමෙයි. සැබෑ සිත් හැරීමකටනම් ඒ දේ අපිට අත්‍යවශ්‍යමයි.ඒත් ඒ ගැනම හිත හිත තැවෙන්න කියල නෙමෙයි උන්වහන්සේ අපිට කියන්නේ; ඒ වෙනුවට උන්වහන්සේගේ දයාව ගැන මෙනෙහි කරමින් ඒ තුළ සිත ශක්තිමත් කර ගන්න.
උන්වහන්සේ අපිට පාපොච්චාරණය කියලා සක්‍රමේන්තුවක් දායාද කරල තියෙන්නෙත් ඒ නිසයි.
ජේසු පිහිටයි!🙏💓
උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්