අනුරාධපුර කුරුසිය නෙස්ටෝරියානු ද?

අනුරාධපුර කුරුසිය නෙස්ටෝරියානු ද?
Photo by Kelly Sikkema / Unsplash

මෙතෙක් ලක්දිව තුළ අපට හමු වී ඇති පැරණිතම කිතුණු සලකුණ "අනුරාධපුර කුරුසියයි". මෙය හමුවී ඇත්තේ ක්‍රි.ව. 1912 දී අනුරාධපුර නගරය තුළ කරන ලද පුරාවිද්‍යා කැනිම් වලදීය. එය පළමුවෙන් හමු වී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කෙටුම්පත්කරු පී.ඩී.ඒ. වික්‍රමසුරිය මුදලි තුමන්ටය.

මෙය සොයාගත් විගස ඒ ගැන එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් ඊ.ආර් අයර්ටන් මහතාට දන්වා ඇත. එය උඩින් පල්ලෙන් පරීක්ෂා කැර බැලු අයර්ටන් ක්ෂ්නිකව තීරණය කළේ මෙය පෘතුගීසි කුරුසියක් බවයි. අයර්ටන් මහතා නොබෝ කලකින් මිය ගියේය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වුයේ ඒ.එම්. හොකාට් මහතාණන්ය. හොකාට් කුරුසිය ගැන වඩාත් විද්‍යාත්මක සමීක්ෂණයක් කළේය.

එහි ප්‍රතිඵල ක්‍රි.ව. 1923 පුරාවිද්‍යා සමීක්ෂ සඟරාවේ (Archeological Survey of Ceylon) මෙසේ වාර්තා කළේය. "F,7, ස්ථානයේ පොළොව මට්ටමේ තබා ඇති ඝෘජුකෝණාස්‍ර කණුවකි. එහි වෘක්ෂලතා ආකාරයට සකසන ලද කුරුස ලාංජනයක් කොටා ඇත. එය පිහිටුවා ඇත්තේ පඩි සහිත පාදමක් මතය. එයින් කුරුසිය දෙපසින් නැඟ එන මල් කිනිති දෙක දෙක බැගිනි."

තවදුරටත් හේ සටහන් කැර ඇත්තේ, "මෙය නම් ගෙදරක ගොඩනැගිලි කොටසක් යැයි පිළිගැනිම උගහටය. මා සිතන සැටියට මෙයත් නො:2 කාමරයේ තැන්පත් කොට ඇති සෙසු කැබලි සතරත් මෙහි ගෙනැවිත් ඇත්තේ අවට පිහිටි නටඹුන් වී ගිය ගොඩනැඟිල්ලකින් විය යුතුය. තවද එම ගොඩනැඟිල්ල දෙව්මැදුරක් වු බව මාගේ විශ්වාසයයි" කියාය. (Archeological Survey of Ceylon, 1912-1913, 5 පිටුව)

මෙම ලක්ෂණ ම ඇති කුරුසියක් කොළඹත් තිබි හමුවී ඇති හෙයින් හොකාට් සැක කළේ මෙය පෘතුගීසි සමයට අයත් කුරුසියක් විය හැකි බවත් මේ අනුව පෘතුගීසින් අනුරාධපුරයටද ඇතුළු වී සිටින්නට ඇති බවත්ය. මෙයින් මේ කාලය තුළ අනුරාධපුර නගරය තුළ විශාල ජනකායක් වාසය කරන්නට ඇතැයිද හේ විශ්වාස කළේය.

අනුරාධපුරින් සොයාගත් කුරුසිය

හොකාට්ගේ උපකල්පනය සම්පුර්ණයෙන් ම සදොස් බව පහසුවෙන් අනාවරණය වන්නේය. ඒ සඳහා ප්‍රධාන හේතුව වන්නේ ඓතිහාසික සාධක දක්වන සැටියට, පෘතුගීසින් අනුරාධපුරයේ පිහිටිම සොයාගෙන ඇත්තේ ක්‍රි.ව. දස සත් වැනි සත වසරේ මුල් කාලයේදිය. අනුරාධපුරයයත් එහි නටඹුන් ගැනත් සඳහන් කරැති පළමු යුරෝපියයා ෆ්‍රැන්සිස්කාන ධර්මදුතික ෆ්‍රැන්සිස්කෝ නෙග්‍රාඕ පියතුමන්ය. එතුමා ක්‍රි.ව. 1610 සිට 1629 දක්වා ලංකාවේ සේවය කළ කතෝලික පියතුමෙකි.

අනුරාධපුරයේ ලෝවාමහාපායේ කුළුණු 1600 ගණන් කළ පළමු යුරෝපියානුවා එතුමන්ය. පෘතුගීසි සමය ගැන බහුලව විස්තර කොට ඇති සුප්‍රකට පෘතුගීසි ඉතිහාසඥයකු වන ෆර්නාඕ ද කුවෙරෝස් ම ලියා ඇත්තේ පෘතුගීසි රජුගේ උපදෙස් පරිදි පෘතුගීසින් අනුරාධපුරය සොයා ගැනිම සඳහා දැරූ ප්‍රයත්නය අසාර්ථක වු බවයි. අවසානයේ දී තමන් මේ විස්තර සියල්ල නෙග්‍රාඕ පියතුමන්ගෙන් ලබා ගත් බව කුවෙරෝස් සඳහන් කරයි.

හොකාට් වැරදි නිගමනයකට අවතීර්ණ වීම සඳහා හේතු වුයේ ඔහු අනුරාධපුර කුරුසිය කෝට්ටේ තිබුණු තවත් කුරුසියක් සමඟ සසදා බැලිමයි. කෝට්ටේ තිබු නිසා පෘතුගීසි කුරුසියක් යැයි හොකාට් සිතු මෙම කුරුසිය ස්ථීර වශයෙන්ම පෘතුගීසි කුරුසියක් නොවීය. එය පෘතුගීසින් විසින් ඔහුන්ගේ පැමිණීමට පෙර මෙහි තිබී සොයා ගන්නා ලද ශු. තෝමස් අපෝස්තුළුවරයාණන්ගේ කුරුසියකි.

අනුරාධපුර කුරුසියට අමතරව එම කලා ලක්ෂණ ඇතිවම සැකසුණු තවත් කුරුස දෙකක් මෙහි තිබි හමුවුයේ යැයි පෘතුගීසි ඉතිහාසඥ ෆර්නාඕ ද ක්වෙරෝස් සටහන් කැර ඇත. ඔහුගේ "ද ස්පිරිචුවල් ඇන්ඩ් ටෙම්පොරල් කොන්කුවෙස්‍ට් ඔෆ් සිලෝන්" (The Spiritual and Temporal Conquest of Ceylon) නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් වන්නේය.

"කතෝලිකයන්ගේ පූජාප්‍රසාදි තුමා පදිංචිව සිටි කොළඹ උප නගරයේ ශුද්ධවු තෝමස් අපෝස්තුළුවරයාණන්ගේ දෙව් මැදුර තුළ එම ප්‍රභාමත් අපෝස්තුළුවරයානන් විසින්ම සියතින් කැටයම් කරන ලද කුරුසියක් සහිත කුඩා ගල් කණුවක් ආරක්ෂිතව තබා තිබුණි. මෙය ලංකාවේ ඔවුන් සතුව තිබුණු දෙවෙනි කුරුසියයි". (The Spiritual Temporal Conquest of Ceylon P.715)

ලංකා ඉතිහාසයේ සහ සිරියානුවන් පිළිබඳ හසළ දැනුමක් තිබූ එච්.ඩබ්. කොඩ්ඩ්‍රින්ටන් අවධාරණයෙන් ප්‍රකාශ කොට ඇත්තේ අනුරාධපුර කුරුසය ශුද්ධවූ තෝමස් අපෝස්තුළුවරයා නම් දහමට කුලවැද්දු සිරියානු සම්ප්‍රදායක් අනුගමනය කළ කිතුනුවන්ගේ කුරුසයක් වන බවයි. "මෙය පර්සියානු සම්ප්‍රදායේ කිතුනු කුරුසයක් වන බවත් ක්‍රි.ව. 1547 දී පෘතුගීසින් විසින් දකුණු ඉන්දියාවේ මයිලපෝර්හි පිහිටි ශුද්ධවු තෝමස් කඳුගැටය මත තිබී සොයාගන්නා ලද කුරුසයට සර්වසම හෙවත් හේ පවසයි.

අනුරාධපුර කුරුසිය සොයා ගැනුණු අවදියේ ඒ ගැන මතිමතාන්තර රැසක් විය. ඇතැමුන් එය නෙස්ටෝරියානු කිතුනු නිකායට අයත් කුරුසියක් යැයි විශ්වාස කළ අතර වෙනත් ඇතැම්හු එය කතෝලික කුරුසියක් යැයි විශ්වාස කළහ. අප අතරම වියත් ඉතිහාසඥයකු වූ අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමිපාණෝ කියා සිටියේ මෙය නෙස්ටෝරියානු නිකායේ කුරුසියක් විය යුතු බවයි. මෙය පුදුමයට හේතු නොවන්නේ පසු කාලයන්හිදී කරන ලද පර්යේෂණ හා ඒවායේ ප්‍රතිඵල එවකට ලැබී නොතිබීමයි.

තවත් තරයේ මතක තබාගත කරුණකි. එනම් පාප් වහන්සේගේ ද ආශිර්වාදය ඇතිව කතෝලික ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි පෘතුගීසිහු තමන් පැමිණීමට පෙර පැමිණ සිටි කිසිදු කතෝලික පිරිසක් නො පිළිගත්හ. ඔහුන් වේදභේදකරු පිරිසක් යැයි හඳුන්වා දී දුර්ලබ්ධිකයන් ලෙස හංවඩු ගැසූහ.

බටහිර දහම් දූතවරුන් පෙරදිග රටවලට පැමිණෙන්නට බොහෝ පෙර කිතු දහම එහි පුළුල් ලෙස පැතිරී තිබුණි. පළමුවර පෙරදිග පැමිණි මාර්කෝ පෝලෝ චීනය වැනි දුරස්ථ රටවල කිතුනුවන් දැක විස්මයට පත්විය. මේ කිතුනු ප්‍රජාවන් රෝමානු අධිරාජ්‍යයට නැගෙනහිර රටවල ව්‍යාප්ත වී පරිසියාව, ඉන්දියාව සහ චීනය දක්වා පැතිර තිබුණි. පෘතුගීසිහු මොවුන් දුටු සැණින් "නෙස්ටෝරියානුවන්" ලෙස හංවඩු ගැසූහයි දැන් හෙළි වී තිබේ. මේ කාලයේ දහම් ගැටලුවක් ඇතිවු නමුත් රෝමයත් ඇන්ටියෝකයත් අතර නායකත්වය පිළිබඳ ඇතිවූ ප්‍රශ්නය මෙසේ කිරීමට වඩාත් හේතු විය. (ලොරෙන්සෝ කපෙල්ලෙට්ටි - තර්ටි ඩේස් 2010 නො. 12 ,36 පිටුව)

ආසියාව සහ අප රටවල මුලින්ම කිතු දහම ප්‍රචාරණය කරන ලද්දේ සිරියාවෙන් පැමිණි දහම් දූතවරුන් විසින්ය. ශුද්ධවු තෝමස් අපෝස්තුළුවරයාණන් ද දකුණු ඉන්දියාවට වැඩම කළේ ඒ මාර්ගය ඔස්සේය. පස්වැනි සතවසරේ රෝමයත් කොන්ස්තන්තිනෝපලයත් අතර හටගත් දහම් ගැටලුව දේශපාලන ප්‍රශ්නයකට පෙරලීමේ හේතුකොටගෙන සිරියාවට සම්බන්ධ වූ සියල්ලත් කොන්ස්තන්තිනෝපලයේ පිතෘමූලික නෙස්ටෝරියස් තුමාගේ නිකායට අයත් නෙස්ටෝරියන්වරුන් යැයි නම් පටබැඳ, නොපිළිගන්නා ලදී. දකුණු ඉන්දියාවේ සීරෝ මලබාර් සහ සීරෝ මලන්කාර නිකායන්හි කතෝලිකයන්ට උදා වූ ඉරණම මෙයට කදිම සාධකයකි. ඔවුන් ශුද්ධවු තෝමස් අපෝස්තුළුවරයාණන්ගේම දහම ලබාගත් කතෝලිකයන් වුවත් පෘතුගීසීහු ඔවුන් නොසැලකූහ.

කෙසේ වෙතත් "අනුරාධපුර කුරුසියත්" ඉන්දියාවේ ඉන්දියාවේ මයිලපුර්හි පැරණි දෙව්මැදුරේ ඇති ශු.තෝමස් අපෝස්තුළුවරයාන්ගේ "ලේ ගලන කුරුසියත්" අතර ඉතා කිට්ටු සමානතාවයක් ඇති බව එඩ්මන්ඩ් පීරිස් හිමිපාණෝ පිළිගත්හ. (Catholic Christmas Annual- 1956, 5 පිටුව.) දිවයිනේ කීර්තිමත් ඉතිහාසඥයෙකු වු එස්.ජී පෙරේරා පියතුමන් ද, මෙම කුරුසිය ගැන සදහන් කර ඇත.

එතුමා මෙසේ ලියා ඇත. "අනුරාධපුරයේ කිතුනුවන් සිටි බව වඩාත් සාර්ථකව සනාථ කෙරෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1912 දී එහි නගරය තුළ කැණීම් කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හමු වූ පර්සියානු කුරුසියයි" කුරුසියේ ආකෘතිය විස්තර කරන එතුමා ඉනික්බිති මෙසේ ද සඳහන් කරයි. "මෙය (හමුවන විට) ගෙදරක අත්තිවාරම සඳහා යොදා තිබුණත් එය ඒ අසල යම් කිතුනු ගොඩනැගිල්ලක අයිති වූවා විය හැකිය. මෙම කුරුසිය ස්ථිරවම පර්සියානු කුරුසියකි. එය මලබාර්හි දෙව්මැදුරු තුළ ඇති කුරුස වලට ඉතා සමාන ය. පෘතුගීසින් පැමිණි මුල් කාලයේදීම ඔවුන් ශුද්ධවු තෝමස් අපොස්තුළුවරයාන්ගේ කුරුසියක් ලෙස විස්තර කළ තවත් කුරුසියක් කොළඹ උපනාගරික මෝදර කැලණි නදියෙ මුවදොර තිබී හමුවී ඇත. කැලණි නිම්නය නිෂ්පාදිත බඩු භාණ්ඩ පිට කරන මාර්ගය මෙන්ම ඒවායේ වෙළෙඳපොළ වූ හෙයින් ද කැලණි නදියේ දිය මුහුදට ගලා බසින පැරණි කොලොම්පුර පිහිටා තිබුණ හෙයින්ද මෙය පර්සියානුවන්ගෙන් පසු ලංකාවත් සමඟ වෙළඳාමේ යෙදුණු යෝනකයන්ගේ ප්‍රධාන වෙළෙඳපොළ බවට පත්ව තිබුණු හෙයින්ද මෙම කුරුසය එහි කිතුනු පර්සියානුවන් පෙර සිටි බවට සාක්ෂි දරන මතක වස්තුවක් නොවිය නොහැකිය." (Fr.S.G. Perera - SJ Historical Sketches - Ceylon Church History - Page 10 - 11)

කොළඹ තිබූ කුරුසිය ගැන විශේෂ කොට සටහන් කර ඇති එස්.ජී. පෙරේරා පියතුමා ලියා ඇත්තේ කොළඹ පිළිබඳ පැරණිතම සටහන වන්නේ එක්තරා කාලයක කිතු සමයේ මුල් යුගයට අයත් කුරුසයක් එහි තිබුණු බවයි. ශුද්ධවු තෝමස් අපොස්තුළුවරයාණන් විසින් ගල් කණුවක් මත නිර්මාණය කරන ලදැයි පිළිගන්නා ලද කුරුසයක් පෘතුගීසි සමය තුළ මෝදර ශුද්ධවූ තෝමස් මුනිවරයන්ගේ දෙව්මැදුරේ සුරක්ෂිතව තබා තිබුණි." (ඉහත සඳහන් ග්‍රන්ථයේ 71 පිටුව)

නූතන පරීක්ෂණ පෙන්වා දී ඇත්තේ පෘතුගීසින් හෝ වෙනත් කිසිදු හෝ යුරෝපීය ජාතියකට අයත් ඊනියා දහම් දූතවරුන් පැමිණෙන්නට පෙර කිතු දහම ආසියාකරයේ පැතිරී තිබුණු බවයි. වෙනත් කෞතුක භාණ්ඩ රැසක් හැර මෙවැනි පැරණි කුරුසම රැසක් ආසියාවේ වෙනත් රටවල ද තිබී හමුවී ඇත. "පෙරදිග සභාව - සංක්ෂිප්ත ඉතිහාසයක්" හෙවත් "the church of the east" A Concise History - නමින් විල්හෙල්ම් බවුම් සහ ඩිසෙට්මාර් ඩබ්. වින්ක්ලර් ලියා ඇති ග්‍රන්ථයේ මින් ස්වල්පයක් සටහන් කර ඇත.

අනුරාධපුර කුරුසිය් ගැන සඳහන් කරන මොවුන් තවදුරටත් "තවත් පාලිවි අකුරුද සහිත පෙරදිග සිරියානු කුරුස හයක් හමුවී තිබේ. මින් එකක් චෙන්නායි (මදුරාසිය) අසල මයිලපුර්හි ශුද්ධවු තෝමස් කඳුගැටය හෙවත් මුනිවරයාණන්ගේ පණ නැසු තැනද සතරක් කොට්ටයම් අසළද අනික කේරළයේ ට්‍රැවන්කෝර්හි ද විය. මේවායේ මාධ්‍ය පර්සියානු උපහාර සටහනක් ද වන්නේය. තවදුරටත් මෙසියාස් තුමනි, මෙම කුරුසිය පරිත්‍යාග කරන්නා වෙත කරුණා කළ මැනව "යි යනුවෙන් ඉල්ලීමක් ද ඇතුළත් ය.

මෙම කුරුස සයවැනි හා නවවැනි සත වසර කාලය ඇතුළත පිහිටුවන ඒවා විය හැකිය. (ඉහත සඳහන් ග්‍රන්ථයේ 53 වෙනි පිටුව බලන්න) ක්‍රිස්තු වර්ෂ 2000 දීද එම කාලයට අයත් කුරුසියක් ඉන්දියාවේ ගෝවේ පුරේ ද තිබී හමුවිය. පාලමක් ඉදිකිරීම සඳහා හෑරුම් කිරීමේදී එය මතු වී තිබේ.
අනුරාධපුර කුරුසිය මයිලපුර්හි "ලේ කලන කුරුසියට" කිට්ටු සමානතාවයක් ඇතැයි එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමිපාණන් ලියා ඇති බව ඉහත සඳහන් කළෙමු. (Catholic Christmas Annual- 1956, 5 පිටුව)

"ලේ ගලන කුරුසිය" හෙවත් "ප්‍රාතිහාර්‍යමය කුරුසිය" පෘතුගීසින් විසින් අහම්බෙන් ශුද්ධවු තෝමස් කඳු ගැටය තිබී සොයා ගන්නා ලද්දේ ක්‍රි.ව. 1547 දීය.

"ක්‍රි.ව. 1923 වන විටත් පෘතුගීසින් විසින් "මහා කන්ද" මත පෙර් - අපර දිගට ඉදි කෙරුණු පැරැණි කුඩා දෙව් මැඳුරක නටබුන් අහම්බෙන් සොයා ගන්නා ලදි. ඒ වසරේම ඔහු එහි කුඩා යැදුම් මැදුරක් ඉදි කලෝය. (මෙය ශු. තෝමස් මුනිවරයාණන්ගේ පැරණි දෙව්මැදුර ප්‍රතිසංස්කරණ ලද වසරේ දීමය.) ක්‍රි.ව. 1547 මාර්තු මස නව දෙව්මැඳුරක් ඉදි කිරිම සඳහා අත්තිවාරම් කපන විට වෙනත් අත්තිවාරමක නටඹුන් රැසක් හමුවිය. මෙය 1547 මාර්තු මස 23 වැනිදාය. (M.A. Mundadan - History Of Christianity in India, Vol 1, pg 422)

ශු. තෝමස් මුනිවරයාණන් දිවි පිදුවේ මෙම කුරුසිය මත යැයි විශ්වාස කරනු ලැබේ. එහි ලේ පැල්ලම් තිබුණ බවත් කලින් කල එහි පැහය වෙනස් වී දාහදිය ගලන බවත් කියනු ලැබේ. මෙම අසාමාන්‍ය සංසිද්ධිය ස්වල්ප කාලයක් තුළ සැම වසරේම දෙසැම්බර් මස 18 වැනි දින සිදුවු බව වාර්තා වී ඇත. එම සිද්ධස්ථානය බාරව සිටි පියතුමන්ලා මෙන්ම එහි පැමිණ සියැසින් දුටු සැදැහැවතුන් දහස් ගණනක් ද මෙම වාර්තා පැහැදිලිව සටහන් කොට සහතික කැර ඇත. ක්‍රි.ව. 1558 මරියෝත්තමාවන්ගේ බලාපොරොත්තු විමේ මංගල දින සිදුවු ප්‍රාතිහාර්යය පිළිබඳ පැවැත්වුණු විද්‍යාත්මක පර්යේෂණයන්හි කරුණු ද ඇතුළත්ව ඉතා සවිස්තර වාර්තාවක් සුප්‍රකට ඉන්දියානු ඉතිහාසඥ ඒ. එම් මුන්ඩාඩන් ඉදිරිපත් කරයි. (ඒ. එම්. මුන්ඩාඩන් - හිස්ට්‍රි ඔෆ් ක්‍රිස්ටියැනිට් ඉන් ඉන්ඩියා, "පළමු වෙළුම, පිටු 422 - 424)

" කුරුසියක් ආසියාවේ කිතුනු බැතිමතුන් අතර ඉතා ජනප්‍රිය සලකුණක් වුහයි" ආගම, අධ්‍යාපනය සහ සංස්කෘතිය පිළිබඳ අන්තර් ජාතික උපදේශක සේවාවේ (International Consulatncy on Religion, Education And Culture) අධ්‍යක්ෂක මෙන්ම ආගම් සම්බන්ධ මාතෘකා රැසක් ගැන ලියා ඇති වියත් ගත්කතුවරයකු වන මාටින් පාමර් ලියා ඇත. එතුමා ඉතා මෑතක (2001) ලියු ග්‍රන්ථයක චීනයේ පැතිර ගිය කිතු දහම පිළිබඳවත්, ටිබටයේ හි ලඩාක්, (දැන් ඉන්දියාවට අයත් කොටසක්) කුරුසිය පිළිබඳවත් පුළුල් ලෙස විස්තර කරයි. "ලඩාක්හි ටන්ක්සේයේ (කලක් ටිබටයේ කොටසක්ව තිබි දැන් ඉන්දියාවට අයත්) විශාල පව්වක කොටා ඇති කුරුස තුනක් සහ ලේඛන කිහිපයකි..... මෙම කුරුස පැහැදිලිවම පෙරදිග සභාවට අයත් ඒවාය.... "(මාටින් පාමර් - ද ජීසස් සූත්‍රස් 9 පිටුව - Martin Palmer - The Jesus Sutras - Page 9)

තවත් වියත් ඉතිහාසඥයකු වන ජෝන් ඉංග්ලන්ඩ් ගේ පිළිගැනිම අනුව සිව් වැනි සොළොස්වැනි සත වසරයන් අතර පෙරදිග සභාවන් සඳහා පිහිටුවන ලදැයි සටහන් වී ඇති රදගුරු හා අගරදගුරු වසම් අතර චීනය සහ ඉන්දියාව සඳහා වු ඒවාට ඉන්දියානු ගිණිකොණ ප්‍රදේශයේ රදගුරු වසම් කිහිපයක්ද ඇතුළත් කොට තිබු බව අද එකඟත්වයෙන් පිළිගෙන ඇත. ඇතැම් පැරැණි පුරාවෘත්තයන්හි අත්පිටපත් මෙන්ම හුවමාරු වී ඇති ලිපිද ලංකාව, මලයාව, ඉන්දු චීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල් පිළිබඳ මෙය සනාථ කරන්නේය." (ජෝන් සී. ඉංග්ලන්ඩ් සහ ආචි ලී - ද හිඩන් හිස්ට්‍රි ඔෆ් ක්‍රිස්ටියැනිට් ඉන් ඒශියා 1993, 133 පිටුව)

කුරුස හමු වී ඇති ස්ථාන ස්වල්පයක් සඳහන් කරැති ජෝන් ඉංග්ලන්ඩ් අනුරාධපුර කුරුසිය ගැනද සඳහන් කරයි. "හයවැනි සියවස වන විට ශ්‍රී ලංකාවෙන් හා තුර්කිස්තානයෙන් කුරුස සහ කෙටු ලේඛන හමුවී ඇතැයි... හේ ලියයි. තවදුරටත් "ඊළඟ සත වසර 3 තුළ තවත් කුරුස විශාල ප්‍රමාණයක් කිර්ගිස්තානය (නවවැනි සිට දස සතරවැනි සත වසර දක්වා) ටිබෙටය සහ දකුණු චීනයෙන් හමුවනු ඇත."

අපේ ඉතිහාසයක් මේ ඉන්න අතර බොහෝ දෙනෙක් හයවෙනි සතවසරේ කොස්මස් ඉන්ඩි කොප්ලෙයුටස් වාර්තා කළ සාධක මත විශ්වාසය රඳවා ඇත. ඔහු ලියා ඇත්තේ "දුරස්ථ ඉන්දියාවේ ඉන්දියන් සාගරයේ පිහිටීමේ ඇති තප්රොබානයෙහි (ලංකාවේ) පවා පූජකවරුන් සහ විශ්වාසයින් සමූහයක් සහිත කිතුනු දෙව්මැදුර ද ඇත. එයින් දුර පළාත් හී කිතුනුවෝ සිටිත් දැයි මම නොදනිමි." කොස්මස් ඉන්ඩිකොප්ලෙයුස්ටස් - ක්‍රිස්ටියන් ටිපෝග්‍රැෆි - ඉංග්‍රීසි පරිවර්තනය ජේ.එම් මැක්ක්‍රින්ඩල්, ලන්ඩනය: හැක්ලුට් සමාගම 1897, පිටුව 118)

මෙම සටහන හෙවත් කොස්මස් ඉන්ඩිකොප්ලෙයුස්ටස්ගේ සටහන ගැන වියත් ඉන්දියානු ඉතිහාසඥයෙකු හා කිතුනු එකමුතුව පිළිබඳ විශේෂඥයකු වන ටී.වී ෆිලිප් අදහස් දක්වනුයේ මෙසේය. "කොස්මස් ගේ මේ සටහන අනුව බොහෝවිට උපකල්පනය කරනු ලබන්නේ සයවැනි සියවසර තුළ ලංකාවේ සිටි කිතුනුවෝ එහි පදිංචි වූ පර්සියානුවන් පමණක් මිස දේශීය පිරිස නොවන බවයි. මෙහිදී අප මතක තබා ගත යුතු වන්නේ කොස්මස් පර්සියානුවකු මෙන්ම නෙස්ටෝරියානු කිතුනුවකු වූ බවයි. මේ අනුව ඔහු ග්‍රන්ථයේ සඳහන් කරන ස්ථානයන් හි පදිංචිව සිටි පර්සියාන කිතුනුවකු මෙන්ම නෙස්ටෝරියානු කිතුනුවකු වු බවයි. මේ අනුව ඔහු ග්‍රන්ථයේ සඳහන් කරන ස්ථානයන් හි පදිංචිව සිටි පර්සියාන කිතුනුවන්ගේ වගතුග සොයා බැලිම ඔහුගේ පරම අභිප්‍රාය වීම තේරුම්ගත හැකිය. තවදුරටත් ඔහු සඳහන් කරැති ස්ථාන සියල්ලක්ම සියැසින් දුටු ඒවා නොවේ. එම නිසා ඔහු මේ පළාත් තුළ කිතු දහම සම්බන්ධයෙන් පූර්ණ සමීක්ෂණයක් කළහ යි කියා නැත". (ටී.වී. ෆිලිප්ස්, ඊස්ට් ඔෆ් ද යුෆ්‍රටීස් - එර්ලි ක්‍රිස්ටියැනිටි ඉන් ඒෂියා, 155 පිටුව) "මේ පළාත්වලින් පිට කිතුනුවෝ සිටිත්දැයි මම නොදනිමි"යි කොස්මස් ලියා තිබීමෙන් පැහැදිලි වන්නේ එකල ලංකාවේ ජීවත් වු සියලු කිතුනු කණ්ඩායම් ගැන ඔහු පූර්ණ ප්‍රකාශනයක් නොකරන වගයි. තවදුරටත්, අනුරාධපුර කුරුසිය, එහි ජීවත්වුහයි සිතන ඊනියා නෙස්ටෝරියාන ප්‍රජාවන් සමඟ සම්බන්ධ කරනු වස්, කිසිදු සාධකයක් නැත".

නැවත වරක් ආචාර්‍ය ටී.වී. ෆිලිප් තම ග්‍රන්ථයේ මෙසේ ද ලියා ඇත. "ලංකාවට කිතු දහම හඳුන්වන ලද්දේ කවර කල දැයි අපි නොදනිමු. ඇතැම් විට මෙය සය වැනි සතවසරටත් පෙට විය හැක්කේ දකුණු ඉන්දියාවේ පළමු සත වසරේ සිටම කිතුනු ප්‍රජාවන් පැවති නිසාය. ලංකාවේ ද එහි පදිංචිව සිටි සිටි පර්සියානු කිතුනුවන්ට බාහිරව කිතුනුවන් කිතු සමයේ ආරම්භයේ සිටම සිටි බව පිළිගත හැකිය. දකුණු ඉන්දියාවේ සිදු වූ ලෙසම පෙරදිග සිරියානු බලපෑම ලංකාව තුළද පර්සියානු වෙළඳුන් සහ දහම් දූතවරුනගෙන් හෝ සහ ඉන්දියාවේ සිටි ශුද්ධ ශුද්ධවූ තෝමස් කිතුනුවන් ගෙන් යටත් පිරිසෙයින් පස්වැනි සත වසරේ සිට ඇති වන්නට වූහයි පිළිගත හැකිය. ක්‍රි.ව. 473 සිට 508 දක්වා වූ කාලය තුළ විදේශීය කිතුනුවෝ සිංහල රජවරුන්ගේ සේවාවේ උසස් නිලදරා සිටියහයි ද එක් සිංහල රජකු කිතු දහම වැළඳ ගත්තේ දැයි ද හමුවී ඇති ශිලා ලේඛන සහ පැරණි කාසි රැසකින් වාර්තාගත වී ඇත" (ටී.වී. ෆිලිප් ස්වකීය ග්‍රන්ථයේ 155 වැනි පිටුවේ ජෝන් ඉන්ග්ලන්ඩ් උපුටා දක්වයි)

ශු.තෝමස් අපෝස්තුළුවරයාණන් ලංකාවට වැඩම කළ බව දැන් පිළිගත් ඓතිහාසික සත්‍යයකි. කලක් මෙය හුදෙක් මුඛ පරම්පරාගත සම්ප්‍රදාය අනුව පිළිගනු ලැබුවත් දැන් ඒ සඳහා ලිඛිත වාර්තා ලැබී තිබේ. මෙම සත්‍යය සටහන් කර ඇත්තේ ග්‍රීක බසින් ක්‍රියා ග්‍රන්ථ කාණ්ඩ 18ක් ලියා ඇති ඉතිහාසඥයෙකි. කිතු දහමේ ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ 610 දක්වා වූ කාලයේ පෙරදිග කිතුනු ඉතිහාසය සටහන් කැර ඇති මොහු පසුකාලීන බයිසැන්ටීන යුගයට අයත් නිකේෆොරෝස් කලිස්ටෝස් සන්තුපොලොස් ය. ක්‍රි.ව. 1328 ට පෙර මියගොස් ඇති මොහු කොන්ස්තන්තිනෝපලයේ හජියා සොෆියා කණ්ඩායමේ උගත් තැනැත්තකු වීම විශේෂ වන්නේය. මේ හේතුවෙන් ක්‍රිස්තු වර්ෂ වර්ෂය 1453 දී තුර්කි ජාතිකයන් (මුස්ලිම්වරු) කොන්ස්තන්තිනෝපලය ආක්‍රමණය කොට එහි තිබුණු සුප්‍රසිද්ධ කතෝලික පුස්ථකාලය ගිනිතබා විනාශ කර දමන්නට පෙර එය පරිහරණය කළ පිරිසට අයත් වන්නේ ය. (ඔක්ස්ෆෝඩ් ඩික්:ඔෆ් බයිසැන්ටියම් 1991, 2207)

ලංකාවේ දේශිය ජනතාව අතර කිතු දහම පැතිර ගොස් තිබූ බව සටහන් කරන තවත් ඉතිහාසඥයෝ බොහෝ වෙති. මේ අතර ජේ. කොර්ඩිනර් සහ ජේ. හියුද විශේෂයෙන් සඳහන් කළ හැකිය. (එ ඩිස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් - ලංකා විශ්වවිද්‍යාලය, රිව්ච් ඔෆ් ක්‍රිස්ටියැනිටි ඉන් ඉන්ඩියා 3 වැනි වෙළුම, 4 වැනි ග්‍රන්ථය, 74 පිටුව)

ශුද්ධවු තෝමස් අපෝස්තුළුවරයාණන් ලංකාවට පැමිණ තිබීමත්, දකුණු ඉන්දියාවේ එතුමන්ගෙන් දහම වැළඳගත් විශාල ප්‍රජාවක් ජීවත්වීමත්, එකල ලංකාව හා ඉන්දියාව අතර ඉතා කිට්ටු සම්බන්ධතා පැවැතිමත් සලකා බලන කල, දෙරට අතර කිතුනු සම්බන්ධතා නොතිබුණේයයි නොසිතිය හැකිය.

ස්වල්ප කලකට පෙර චීනයේ තිබූ හමුවූ ලේඛනයක මෙම කුරුසය පිළිබඳ සවිස්තරව සටහන් කර තිබුණි. රුචිජනකව එය ලියැවී ඇත්තේ මෙසේය. "නෙළුමකින් පිපී නැගෙන කුරුසිය පෙරදිග සංකේතයෙන් ඉඟි කෙරෙන්නේ කිතු දහම පෘථිවිය පදනම් කොට මෙලොව මුල්බැස පවතින දහමක් වුවත් ඉන් ඉහළ නැඟ පූර්ණ සුන්දරත්වයට සහ සමාප්තියට පත්වන බවයි". (මාර්ටින් පාමර් - ද ජීසස් සූත්‍රස්, 9 පිටුව) කුරුසිය පිහිටුවා ඇති පාදම සංකේතවත් කරන්නේ උස් මිටි තැන් ඇති පෘථිවියයි. මෙම පෘථිවි විලේ නෙළුම් මල් දෙකක් දෙපසින් පිපේ. එයින් සංකේතවත් වන්නේ ලෞකික ප්‍රඥාවයි. (එහි සිතුවිලි, දර්ශන, විද්‍යාව, න්‍යාය ශාස්ත්‍රය යනාදිය)

සැකෙවින් එයින් සංකේතවත් වන්නේ ඉතා අලංකාර නෙළුම් මල් වැනි සිතිවිලි හා දර්ශන පෘතුවී පොකුණේ බිහි වී පිපුනත් හිරු රැසින් දීප්තිය හා ප්‍රභාව ලබන්නාසේම, ලෞකික ප්‍රඥාව දීප්තියට හා පූර්ණත්වයට පත් වන්නේ ලෝකාලෝකය වන කිතු සමිඳුන් ගේ ආලෝකයෙන්ම බවයි. මෙය සංකේතවත් කරනු වස් කුරුසිය පාදම මත මුල් තැන පිහිටුවා එහි මුදුනෙන් සහ හරස්ව පිහිටා ඇති තලාඳය දෙකොණින් රැස් විහිදෙනු දැක්වේ.

පූර්වෝක්ත සියල්ලෙන් පැහැදිලිව සනාථ වන්නේ අනුරාධපුර කුරුසිය ශුද්ධවූ තෝමස් අපෝස්තුළුවරයාණන්ගේ සැලසුම අනුව කැටයම් කොටන ලද කුරුසොයක් විනා නෙස්ටෝරියානු කුරුසියක් නොවන බවය. මෙය එකල දිවයිනේ විසූ පර්සියානු වෙළදුන්ගේ ආගමික ගොඩනැගිල්ලක (දෙව්මැදුරක) හෝ ශු.තෝමස් මුනිවරයන්ගෙන් දහම් ලබාගෙන අනුරාධපුර පදිංචිව සිටි දේශීය නැතහොත් විදේශීය ප්‍රජාවකගේ හෝ දෙව්මැඳුරු කුළුණක කැටයම් කරන ලද කුරුසියක් විය හැකිය. මෙම කුරුසිය මෙතෙක් දිවයිනේ අපට හමුවී ඇති පැරණිතම කිතුනු පුරාවිද්‍යාත්මක භාණ්ඩය නිසා ශ්‍රී ලංකා කතෝලික ධජයෙහි එය යොදා තිබේ.

සටහන - ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
උපුටා ගැනිම - 2011 අප්‍රේල් 24 ඉරිදා ඥානාර්ථ ප්‍රදීපය
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ

Read more