සාන්තුවරයින්ගේ ශුද්ධවු ධාතු තැන් තැන් වල ප්‍රදර්ශනය කිරීම සුදුසුද ?

ප්‍රශ්නය:- ශාන්තුවරයින්ගේ ශුද්ධවු ධාතු තැන් තැන්වල ප්‍රදර්ශනය කරමින් ජනතාව ඒවා වෙත ඇද ගැනිමට කටයුතු කිරීම හරිද? වෙනත් ක්‍රිස්තියානි කණ්ඩායම් මේ ගැන අපට දොස් කියද්දී අපි කතෝලිකයන් ලෙස මේවා දිගින් දිගටම කරන්නේ ඇයි?

ඉතා කාලීන මෙම ප්‍රශ්නය ඇසීම ශුද්ධවන්තයින්ගේ ධාතු වලට ගරු බුහුමන් කිරීම පිළිබඳව කතෝලික සභාවේ ස්ථාවරය විස්තර කිරීමට කදිම අවස්ථාවකි. මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම ප්‍රධාන කාරණා තුනක් ඔස්සේ කරන්නට අදහස් කරමි.

  • ශුද්ධ ධාතු සම්බන්ධ ශුද්ධ ලියවිලි පදනම
  • ශුද්ධ සම්ප්‍රදායේ ඉගැන්වීම්
  • වෙනස් සාධක

ශුද්ධවරයින්ගෙ ධාතු වලට ගෞරවය පිළිබඳ ශුද්ධ ලියවිලි පදනමක් පුරාණ ගිවිසුමෙන් සහ නව ගිවිසුමින් ඉදිරිපත් කළ හැකිය. 2 රාජාවලිය 13:20-21හී එලිෂාගේ මරණින් පසු සිදු වූ ප්‍රාතිහාර්‍යමය සිදුවීමක් විස්තර කරයි. මිනියක් වළලන්නට ගිය මිනිසුන් පිරිසක් තමන් ඉදිරියට එන හමුදාවක් දැක බිය වී එලිසාගේ සොහොන් ගිය තුළට මිනිය දමා පැන ගියහ. ඒ මිනිය එලිෂාගේ ඇටකටුවල තැවරුණු විගසම මැරුණු තැනැත්තාට පණ ආවේය.

මේ සිදුවීම පිළිබඳව සිරාක් පොතේ 48,12-14 කොටස යළි ඉඟි කරන බව පෙනේ . 14 වැනි වගන්තිය පවසන්නේ එලිෂා තම මුළු ජීවිත කාලයෙහි දී අරුම පුදුම දේවල් කළ බවත් මරණයේ දී ඔහු කළ ක්‍රියා විශ්මජනක බවත්ය. නික්මයාම 13,19 පවසන්නේ මෝසෙස් මිසර දේශයෙන් පිට වී යන විට ජෝසප් කියා තිබුණු පරිදි ජෝසෙප්ගේ ඇටකටු රැගෙන ගිය බවයි. ජෝෂුව 24,32 පවසන්නේ ඊශ්‍රායල් ජනයා මිසරයෙන් ගෙන ජෝසෙප්ගේ ඇටකටු ෂෙකෙම්හි තැන්පත් කළ බවයි.

ගණන් කථාවේ 19,11-22 හි සඳහන් මළමිනි ස්පර්ශ කිරීමේ නීති පවා අභිබවා යමින් ඊශ්‍රායල් ජනයා මේවා කළේ එම ශුද්ධ වූ තැනැත්තන්ට ගෞරවයක් වන පිණිසටත් ඔවුන්ගේ ආශිර්වාදය සහ යාඥා පිහිට ප්‍රාර්ථනා කළ නිසා ය. නව ගිවිසුමේ අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා පොතේ 19,12 වැනි වගන්තිය මිහිල අපට වැදගත් වේ එහි සඳන් වන්නේ පවුළු තුමන්ගේ ශරීර ස්පර්ශය ලැබූ තුවායක් හෝ රෙදි කඩක් හෝ ලෙඩුන් ලගට ගිය කල රෝග ඔවුන්ගෙන් දුරු වූ බවයි. ක්‍රියා 5,15 පෙන්වා දෙන්නේ පේදුරුතුමන් මඟ යන විට ඔහුගේ සෙවනැල්ල වත් රෝගීන් මත වැටෙන පිණිස ජනයා රෝගීන්ව මහමගට ගෙනවුත් යහන්වල ද පැදුරුවල ද තැබූ බවයි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ බලය ශුද්ධවූ ජීවිත ගත් කළ අයගේ සිරුර සහ ඒ අය පරිහරණය කර දේවල් ඇසුරෙන් ජනතාව වෙත ලැබීමට ඇතැම් විට සැලසු බවයි.

ශුද්ධවරයිනගේ ධාතු වලට ගෞරවය පිළිබඳ කතෝලික සභාවේ නිල ඉගැන්වීම් කැටි කර දැක්වීම සඳහා තවමත් අප සතු පැහැදිලිම ධර්මෝපදේශය අපට හමුවන්නේ ත්‍රිදෙන්තීනු මන්ත්‍රණ සභාවෙනි. (1545-1562). එම මන්ත්‍රණ සභාවේ 25 වැනි සැසිවාරයේදී මෙම මාතෘකාව සාකච්ඡාවට ගැනුණි. එහි දී ප්‍රකාශයට පත් වුණු ප්‍රධාන කරුණු කිහිපයක් පහත සඳහන් වේ.

  1. ප්‍රාණපරිත්‍යාගීන්ගේ සහ දැනටමත් ක්‍රිස්තුස් වහන්සේ සමග වෙසෙන ශුද්ධවන්තයින්ගේ ශරීරවලට ගරු බුහුමන් දැක්වීම අනුමත කෙරේ.
  2. මෙලොව ජීවත්ව සිටි කාලයේ ඔවුහු ශුද්ධාත්මික ක්‍රිස්තු දේහයේ අවයවයෝ වුහ. අවසාන විනිශ්චයේ දී ඔහු මහිම පත් කරනු ලබන්නෝ ය.
  3. දෙවියන් වහන්සේ ඔවුන්ගේ ශරීර ඇසුරෙන් විවිධ ආශිර්වාද සහ වරප්‍රසාද තමන් වහන්සේගේ ජනතාව වෙත දානය කරන්නට කරුණා අභිප්‍රාය වන සේක.
  4. ශුද්ධ ධාතූන් පිළිබඳ සියලු මිත්‍යා ඇදිලි ඉවත් කළ යුතුය. ඒ සම්බන්ධ විවිධ වූ අයථා සහ පිළිකුල් සහගත පිළිවෙත් අංග ඉවත් කළ යුතුය.
  5. ශුද්ධ ධාතූන් තැන්පත් කර ඇති ස්ථාන බැහැදැකීමට යාමේදී නිසි ලෙස පේවී යා යුතු අතර බීමත්කමින් හෝ සල්ලාල කමින් එවැනි ස්ථානවල හැසිරීම සපුරා තහනම් වේ.
  6. රදගුරු වසමේ රදගුරුතුමන්ගේ නිල අනුමැතියකින් තොරව ශුද්ධ ධාතූන් ප්‍රකාශයට පත් කිරීමට කිසිදු අවසරයක් නැත. ශුද්ධ ධාතූන් අනුමත කිරීමට පෙර රදගුරුතුමා ඒ සම්බන්ධ විද්‍යානුකූල පරීක්ෂණයක් පවත්වා සියලු කරුණු ගැඹුරින් අධ්‍යයනය කර දේවධර්ම විශාරදයින්ගේ අදහස් විමසා, අවශ්‍ය නම් කලාපීය අනිකුත් රදගුරුවරුන්ගේ අදහස් ද විමසිය යුතුය. අවසානයේ ශුද්ධාසනයේ අනුමැති ද ලබා ගැනීම නිර්දේශය කර ඇත.

ඉහත සඳහන් කරුණුවලින් ගම්‍යවන්නේ සාන්ත සභාව ශුද්ධවන්තයන්ගේ ධාතු වලට ගෞරවය කිරීම පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් තුළ සිදුකරන බවය. එය දෙවියන් වහන්සේට දෙන වන්දනාව නොවේ. එය ගෞරවයක් පමණි. කිසියම් කෙනෙකු එයට දේවත්වයක් ආරූඪ කරන්නේ නම් එය අනුමත කළ නොහැකිය. ඇත්තෙන්ම අප අතර සමහරු මෙම වරද කරති. ශුද්ධවු අන්තෝනි මුනිදුන් අපගේ දෙවියන් වහන්සේ නොවේ. එතුමන් ඉතා ශුද්ධවන්ත ජීවිතයක් ගත කළ දැනටත් අප වෙනුවෙන් විශේෂයෙන් තම යාඥාවෙන් මැදිහත් වෙන සුද්දවන්තයෙකි. එතුමන්ගේ යැදුම් මැදිහත්කම තුළ දෙවියන් වහන්සේ විදහා දක්වන්නේ තමන් වහන්සේගේ බලය මිස ශුද්ධවු අන්තෝනි මුණිඳුන්ගේ බලය නොවේ. අප නිර්මාණය කරන ප්‍රාර්ථනා සහ ගීතිකාවල ඇතැම් අදහස් නිවැරදි විය යුත්තේ ඇතැම් ස්ථානවල මෙවන් අඩුපාඩු තිබෙන බැවිනි.

ඉහත සඳහන් කරන්නට යෙදුනු අනිකුත් සාධක වෙත දැන් අපගේ අවධානය යොමු කරමු. ශුද්ධවන්තයින්ගේ ධාතු ගෞරවය සාන්ත සභාවට පමණක් ආවේනික දෙයක් නොවේ. එය සෑම ප්‍රධාන ආගමකම දැකිය හැකි දෙයකි. එය වඩාත් ප්‍රබලව දැකිය හැකි වන්නේ දේවවාදී නොවන ආගම් වල ය. ඊට හේතු වන්නේ ඔහුනට දේවත්වයෙන් සැලකීම සඳහා වෙනයම් දේ නැතිවීමය. ශුද්ධවන්තයන්ගේ ශරීරවලට සහ ධාතුවලට ගෞරවය සාන්ත සභාව තුළ ද ඉතා ඈත අතීතයකට දිව යයි.

ක්‍රි.ව. 156 දී පමණ ස්මිර්නාවේ ජනතාව රචනා කළ සාන්ත පොලිකාප් මුනිතුමන්ගේ ප්‍රාණපරිත්‍යාග වීම පිළිබඳ වාර්තාව මේ සම්බන්ධයෙන් අප සතු ඉපැරණිම ලේඛනයකි. දර සෑයක බැඳ දමා පණපිටින් පුළුස්සා දමන ලැබූ එතුමන්ගේ ශරීරයේ දැවීගිය කොටස් පවා කිතුනුවන් ඉතා ගෞරවාන්විත රැගෙන ගිය බව එහි වාර්තා කර ඇත. එය දුටු ජුදෙව්වන් රෝම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඊට තහංචි පනවන ලෙස ය. හේතුව වූයේ ජේසුස් වහන්සේ ඇදහීම අත්හැර ජනතාව පොලිකාප් තුමන් දෙවියම් මෙන් අදහන්නට පටන් ගනු ඇතැයි ඔවුන් සිතූ නිසාය. ස්මිර්නාවේ වැසියන්ගේ වාර්තාවේ සඳහන් වන්නේ මුතු මැණික් වලට වඩා වටිනා පොලිකාප් මුනිදුන්ගේ අස්ඨි තමන් ඉතා ගෞරවාන්විත ව තැන්පත් කරමින් ප්‍රාර්ථනා කළේ ජේසු සමිදාණන් වහන්සේ එම සොහොන ළඟ එක් රැස්වීමට තමන්ට ඉඩ කඩ සලසා පොලිකාප් මුනිදුන්ගේ ප්‍රාපරිත්‍යාගීවරය සැමරීමට වරප්‍රසාදයක් දුන් බවයි.

ශ්‍රී ලංකාව වැනි බහු සංස්කෘතික, බහු ආගමික පරිසරයක මෙවැනි දේ සඳහා විශේෂ වටිනාකමක් ලැබෙන බව පිළිගත යුතුය. කොච්චිකඩේ යන බොහෝ අය ඉන් අනතුරුව ජේසුස් වහන්සේ පිළිබඳව ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වති. එහි පැමිණෙන විට ඔවුන් අසා තිබුනේ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ දස්කම් විස්කම් පමණි. අවසානයේදී ඉතා ගැඹුරෙන් දෙවියන් වහන්සේ දැන හඳුනාගෙන විශ්වාස කර කතෝලික ධර්මය වැළඳගත් අය බොහෝ සිටිති. ඒ අතරින් බොහෝ අය උපතින් කතෝලික වූවන්ට වඩා හොඳින් ආගම ධර්මය පිළිපැදීම සතුටට කරුණකි. කතෝලිකයින් ලෙස ශුද්ධවර බැතියට එතරම් තැනක් නොදෙන අයද සිටිති. තමන්ගේ තීරණය නම් අවම වශයෙන් ඉන් සිදුවන නෙකවිධ යහපත සලකා නිවැරදි සාන්තුවර භක්තිය හෙළා දැකීමෙන් වැළකීමට ඔවුන් වග බලා ගත යුතුය. ඇතැම්විට අපි උවමනාට වඩා පියුරිටන්වාදී වන්නට උත්සාහ කරමු. ඇත්තෙන් නව පන්නයේ දේශනාවාදින්ගේ අදහස් වලට යටත් වී අපගේ සරල විශ්වාසය අමතක කරමු. සරල විශ්වාසයේ නියැළෙන්නට ඇතැම් විට අපි උසුළු විසුළු කරන්නටද පෙලඹෙමු. එවිට අපි වඩා සමීප වන්නේ මූලධර්මවාදී කිතුනු කොටස් වලට ය. අපි කතෝලික බව අමතක කරන්නේ කෙසේද? මින් අදහස් කරන්නේ සාන්තුවර භක්තිය අතිශයෝක්තියෙන් කිරීමට අනුබල දීම නොවේ. සාන්තුවර ගෞරවයෙන් ලබාගත හැකි ආත්මික ඵල ප්‍රයෝජන ලබා ගැනීමට උත්සුක වීමය.

සාන්තුවරයන්ගේ ධාතු ගෞරවය කරන අවස්ථාවලදී සිදුවන යහපත් ක්‍රියා අතර වැදගත් ක්‍රියාවක් වන්නේ එම ශාන්තුවරයාගේ හොත් සාන්තුවරියගේ ජීවිත කතාව ජනතාවගේ අවධානයට විශේෂයෙන් ලක්වීමය. එය ඉතා බලගතු ධර්මෝපදේශයක් බවට පත් වී ඉන් බොහෝ අය යහපත් ජීවිත වෙනස් වීම් අත්දකින බවද සත්‍යයකි. පාඩුවකි එවන් අවස්ථා නැති වී යන්නේ නම් එය ඇත්තෙන්ම පාඩුවකී. දෙවන වතිකාන කතිකාවතෙහි දේව වන්දනාව පිළිබඳ වේද සත්‍ය ව්‍යස්ථාවේ අංක 13 භක්ති අභ්‍යාස පිළිබඳ කතා කරයි. එහිදී භක්ති අභ්‍යාසවලට තහංචි පනවා නැත. එහෙත් දේව වන්දනා පිළිවෙත් වන දිව්‍ය පූජාව, දේව ප්‍රසාද නිධාන සහ යාම යෙදුමට නිසි තැන දෙමින් කටයුතු කිරීම අරභයා ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කර ඇත. එම ප්‍රතිපත්ති වලට අනුව සැබෑ භක්ති අභ්‍යාස දේව වන්දනා පිළිවෙත්වලින් ඇරඹෙන අතර නැවත දේව වන්දනාව වෙත ජනතාව යොමු කරයි. මෙම ප්‍රතිපත්තියට අනුව ශුද්ධවන්තයන්ගේ ධාතුවට ගෞරවය ආරම්භ විය යුත්තේ ත්‍රිදෙන්තීනු මන්ත්‍රණ සභාව ඉදිරිපත් කළ ආකාරයට ශුද්ධාත්මික ක්‍රිස්තු දේහය පිළිබඳ ඉගැන්වීමෙනි.

ඒ සමගම ප්‍රාණපරිත්‍යාගී වූ ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට හා උන් වහන්සේගේ ශ්‍රී රුධිරයට සම්බන්ධ දේ කෙරෙහි අපගේ ඇති භක්ති ආදරයෙනි. එය ප්‍රාණ පරිත්‍යාගින්ගේ අනිකුත් ශුද්ධවන්තයින් කරාද විහිදේ. වඩා වැදගත් වන්නේ ශුද්ධවන්තයන්ගේ ධාතුවලට ගෞරවය කරන්නන් ක්‍රිස්තු ශරීරය වෙත වඩාත් උනන්දුවකින් නැඹුරු වීම ය.

ඇත්තෙන්ම මේ භක්ති අභ්‍යාසවල යෙදෙන්නන්ගේ ආකල්පමය නිරවද්‍යභාවය අවබෝධ කරගන්නට මෙම ප්‍රතිපත්තිය බෙහෙවින් උපකාරී වේ. ශුද්ධ ධාතු සිපගන්නට පොරකන්නා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නට උත්සුක නොවන්නේ නම් එහි ගැටලුවක් ඇත. ශුද්ධ ධාතු ගෞරවය කරන්නට එන කතෝලිකයා දිවි පූජාව මගහැර යන්නේ නම් කොහේ කොතැනක හෝ වරදක් ඇත. කළ යුත්තේ මෙවන් වැරදි පෙනෙන්නට තිබෙන නිසා ශුද්ධවර බැතිය ලොක් කිරීම නොවේ. එය නිවැරදි කිරීමයි. පිරිසිදු කිරීමයි.

සටහන - අචාර්‍ය ගරු සිසිල් ජෝයි පෙරේරා පියතුමා
උපුටා ගැනිම : ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ

Read more