කතෝලික ධර්මයේ සුවිශේෂත්වය

කතෝලික ධර්මයේ සුවිශේෂත්වය
Photo by Alicia Quan / Unsplash

දර්ශනයන් බොහොමයක් ඇතත් ඇත්තේ එකම ධර්මයකි.

මෙලොව තුළ විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කල දර්ශනයන් බොහොමයක් ඇත. නමුත් සියළුම දර්ශනයන් තුළ පරිපුර්ණ වූ සත්‍ය ගැබ්ව නැත. නමුත් ධර්මය වනාහි පරිපුර්ණ සත්‍යතාවයකි. ඇත්තේ එකම ධර්මයකි. එම ධර්මය දෙසුවේ මරියාවන් තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ අනුභාවය තුළ මාංශගත වූ දෙවියන් වහන්සේගේ වචනය නොහොත් ක්‍රිස්තුස් වහන්සේය.

"මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි "
ශු. ජොහන් 14:6

අප ජීවන ගමන සමිදුන් සමගය.

බිය නොවන්න; මම නුඹ සමගය. මා නූබේ දෙවිදාණන් වන බැවින් තැති නොගෙන සිටින්න.
යෙසායා 41:10

අනෙකුත් ශාස්තෘවරුන් ඔවුන් සොයා ගත් මග අන් අයටද පිය මැනීමට අවවාද කරයි. නමුත් අප ආදහන්නා දෙවිදුන් අපට යාමට මග පෙන්වා අප හැර දමා නොගොස් අප සමගම ගමන් කරයි.

නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමග සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.
යෙසායා 43:2

අප උදෙසා උන්වහන්සේ සියල්ල අත්හැරිය සේක.

කිතුනු දහම තුළ විදහාපානුයේ මනුෂ්‍යයන් වන අප උන්වහන්සේ සෙවීමට දරනා ප්‍රයත්නයක් නොව; උන්වහන්සේ අප සෙවීමට දරනා ප්‍රයත්නයකි.

එහෙත් දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬගසමින් " නුඹ කොහේදැ"යි ඇසු සේක.
උප්පත්ති 3:9
එසේම මේ බාලයන් එක් කෙනෙකු වත් විනාශ වීම ස්වර්ගයෙහි වැඩ වසන ඔබගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නොවේ.
ශු. මතෙව් 18:14

එතුමාණෝ තම තේජශ්‍රීය අතහැර අප උදෙසා ජීවමාන යාගයක් වී පව්‍කාර අප මිදීමට මනුෂ්‍ය කයක් ගත් සේක. උන්වහන්සේ තුළ වූ අසීමිත ආදරය අප හට නිරූපණය කරළුයේ කුරුස ගසේදීය.එමෙන්ම එතුමාණෝ සෑම දිව්‍ය යාගයකදීම සත්ප්‍රසාද වහන්සේ ආකාරයෙන් නීතිපතා තම යාගය එලෙසින්ම සිදු කරනු ලබයි.

මනුෂ්‍යාකාරයෙන් සිටිමින් උන්වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා පහත් වී කීකරු වූ සේක.
පිලිප්පි 2:8

උන්වහන්සේ හා අප අතර සමීප සබඳතාවයක් ඇති අතර උන්වහන්සේට අප සඳහා වූ සැලසුමක් ඇත.

උන්වහන්සේ අප කැඳවා ඇත්තේ වහල් භාවයට නොව  පුත්‍රභාවයටය.

මන්ද ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වයක් නොව,  "අබ්බා පියාණෙනි"යි අමතා යාඥා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි.
රෝම 8:15

එනිසා පියකුට තම පුත්‍රයා හෝ දියණිය කෙරෙහි තිරසර අනාගතයක බලාපොරොත්තුවක් ඇති සේ උන්වහන්සේ තුළද  අප සිතනවාට වඩා යහපත් වූ සැලැස්මක් ඇත.

ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක.
ශු. මතෙව් 6:8
මා නුඹ කුසෙහි පිළිසිඳ ගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි.
ජෙරමියා 1:5

උන්වහන්සේ අප මෙන් මනුෂ්‍යයෙක්ව සිට අපට බලාපොරොත්තුවක් දුන් සේක.

උන්වහන්සේ අප මෙන්ම දිළිඳුකම තුළ මාංශගතවෙමින් අප ද මූහුණදෙනවා හා සමාන සියලු ආකාරයේ පරීක්ෂාවන්ට මනුෂ්‍යයකු ලෙස මුහුණ දුනි.

මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින්ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි.
හෙබ්‍රෙව් 4:15

එනමුත් උන්වහන්සේගේ මනුෂ්‍යත්වය තුළ සැඟව තිබූ දේවත්වය අනාවරණය කරමින් උන්වහන්සේ අදහා ගන්නා සියල්ලන් පාපයේ ප්‍රතිඵලය වූ මරණය තුළින්  දිවි ගමන අවසාන නොකරනා බවත් ; මරණින් මතුව දී දේව සබදතාවයේ පරිපුර්ණත්ව තුළ උන්වහන්සේ හා ඒකත්වයක් ගොඩනගාලිය හැකි බව පෙන්වා දෙයි.

පුනර්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහා ගන්නා  මැරුණත් ජීවත්වන්නේය; ජීවත්ව සිටින, මා අදහාගන්නා කිසිවෙක් කිසි කලෙක නොමැරෙන්නේ ය.
ශු. ජොහන් 11:25-26

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්