තිස්ස බාලසූරිය පියතුමන්

ශ්‍රී ලාංකික කතෝලික සභාවේ මෙන්ම විශ්ව සභාවේ ද නූතන ඉතිහාසය තුළ ආන්දෝලනාත්මක චරිතයක් වූ, නිර්මල මරිය නිකායික තිස්ස බාලසූරිය පියතුමා එවක සභාවේ ප්‍රමුඛ දේවධර්මාචාර්‍ය වරයෙකි. 1990 දී ප්‍රකාශයට පත් වූ එතුමාගේ Mary and Human Liberation නම් කෘතිය මුල් කරගෙන ඇරඹුණු දේවධර්මීය සංවාදය, අවසානයේ 1997 දී එතුමාව සභාවෙන් නෙරපා හැරීමට හේතු වූ අතර, ඉන් වසරකට පසුව, 1998 ජනවාරි මාසයේදී, එම තත්ත්වය ඉවත් කර නැවත සභාව සමඟ පූර්ණ සංහිඳියාවකට පැමිණීමට මඟ පෑදීය.
යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ තිස්ස බාලසූරිය පියතුමා, පූජකවරය ලැබීමෙන් අනතුරුව දේවධර්මය මෙන්ම සමාජ විද්‍යාවන් පිළිබඳව ද ගැඹුරු අධ්‍යයනයක නිරත විය. ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලන යථාර්ථයන්, විශේෂයෙන් දිළිඳුකම, අසමානතාවය සහ යුක්තිය සඳහා වූ අරගලයන් පිළිබඳව එතුමා තුළ වූයේ දැඩි සංවේදීතාවයකි. මෙම පසුබිම තුළ, 1971 දී එතුමා විසින් කොළඹ Centre for Society and Religion ආරම්භ කරන ලද්දේ, සභාවේ සමාජ ඉගැන්වීම් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින්, සමාජ සාධාරණත්වය සහ මානව විමුක්තිය උදෙසා කටයුතු කිරීමේ අරමුණෙනි. ඉන් සිව් වසරකට පසුව, 1975 දී, "තුන්වන ලෝකයේ දේවධර්මාචාර්යවරුන්ගේ කිතුනු සංගමය" (Ecumenical Association of Third World Theologians - EATWOT) ආරම්භ කිරීමට ද එතුමා පුරෝගාමී විය. බාලසූරිය පියතුමාගේ දේවධර්මීය ප්‍රවේශය, ආසියානු, විශේෂයෙන්ම දකුණු ආසියානු, බහු ආගමික සහ බහු සංස්කෘතික සන්දර්භය තුළ ක්‍රිස්තියානි පණිවිඩය මුල් බැසගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේය. යුරෝකේන්ද්‍රීය දේවධර්මීය ආකෘතිවලින් ඔබ්බට යමින්, දේශීය ජනතාවගේ අත්දැකීම්, සංස්කෘතීන් සහ ආගමික සම්ප්‍රදායන් සමඟ සංවාදශීලීව ඇදහිල්ල තේරුම් ගැනීමට සහ ප්‍රකාශ කිරීමට එතුමා උත්සාහ දැරීය.
මතභේදයට තුඩු දුන් කෘතිය සහ දේශීය විමර්ශනය
1990 දී ප්‍රකාශයට පත් කරන ලද "මරියාවන් සහ මානව විමුක්තිය" නම් කෘතිය, බාලසූරිය පියතුමාගේ දේවධර්මීය ගමනේ මෙන්ම, සභාව සමඟ එතුමාගේ සබඳතාවේ ද හැරවුම් ලක්ෂ්‍යයක් විය. කතෝලික භක්තියේ කේන්ද්‍රීය චරිතයක් වන දේව මාතාවන් වන මරිය තුමිය, ආසියානු සන්දර්භය තුළ, විශේෂයෙන් පීඩිත ජනතාවගේ සහ කාන්තාවන්ගේ විමුක්තියේ සංකේතයක් ලෙස ප්‍රති-අර්ථකථනය කිරීමට මෙමගින් උත්සාහ දරා තිබිණි. කෙසේ වෙතත්, මෙම කෘතිය ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව, එහි අඩංගු ඇතැම් දේවධර්මීය අර්ථකථන පිළිබඳව බරපතල ගැටලු මතු විය. 1994 දී ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින්, මෙම ග්‍රන්ථයේ කතෝලික ඇදහිල්ලට පටහැනි (heretical) අන්තර්ගතයන් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී. විශේෂයෙන්ම, ග්‍රන්ථය මගින් ජන්ම පාපය පිළිබඳ ඉගැන්වීම වැරදි ලෙස නිරූපණය කර ඇති බවටත්, ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය පිළිබඳව ගැටලුකාරී අදහස් මතු කරන බවටත් චෝදනා එල්ල විය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් මෙම ග්‍රන්ථය පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදී. අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් මෙම කමිටුවේ ප්‍රධානත්වය දැරූවේය. මෙම දේශීය කමිටුවේ සොයා ගැනීම් සහ මතු වූ දේවධර්මීය ගැටලුවල බරපතලකම හේතුවෙන්, වැඩිදුර විමර්ශනය සඳහා කාරණය වතිකානුවේ විශ්වාසය පිළිබඳවූ කමිටුවට(Congregation for the Doctrine of the Faith - CDF) යොමු කරන ලදී.
වතිකානු විමර්ශනය
CDF කමිටුව යනු කතෝලික සභාවේ ඇදහිල්ල සහ සදාචාරය පිළිබඳ ඉගැන්වීම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වගකීම දරන ප්‍රධානතම ව්‍යුහයයි. ඔවුන් විසින් බාලසූරිය පියතුමාගේ ග්‍රන්ථය සහ අදහස් ගැඹුරින් විමර්ශනය කරන ලදී. මෙම චෝදනාවලට ප්‍රතිචාර වශයෙන්, බාලසූරිය පියතුමා සිය දේවධර්මීය ස්ථාවරය පැහැදිලි කරමින් පිටු 55 ක දීර්ඝ ලිපියක් CDF ආයතනයට ඉදිරිපත් කළ නමුත්, එම පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප විය. CDF කමිටුවේ නිගමනය වූයේ, ග්‍රන්ථයේ අඩංගු ඇතැම් ප්‍රකාශන, සභාවේ ඉගැන්වීම් සමඟ නොගැලපෙන බවත්, ඒවා ඇදහිල්ලට අහිතකර ව්‍යාකූලත්වයක් ඇති කළ හැකි බවත්ය.
මෙම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස, 1996 මැයි මාසයේදී, බාලසූරිය පියතුමාට විශේෂයෙන් සකස් කරන ලද ඇදහිල්ල ප්‍රකාශ කිරීමේ ලියවිල්ලකට අත්සන් තබන ලෙස CDF කමිටුව විසින් දන්වන ලදී. මෙම ලියවිල්ල මගින්, රෝමයේ ශුද්ධෝත්තම පියතුමාගේ ඉගැන්වීම්වලට, ඒවා නිශ්චිතවම නොවරදින සුළු ලෙස ප්‍රකාශ කර නොමැති විට පවා, එකඟ වන බවට ප්‍රතිඥාවක් ඉල්ලා සිටියේය.
බාලසූරිය පියතුමා, CDF ආයතනය විසින් සකස් කරන ලද එම නිශ්චිත ලියවිල්ලට අත්සන් තැබීම වෙනුවට, හයවන පාවුළු ශුද්ධෝත්තම පියතුමා විසින් සම්පාදනය කරන ලද වෙනත් ඇදහිලි ප්‍රකාශයකට අත්සන් තැබීය. එහෙත්, එසේ අත්සන් තැබීමේදී, ඔහු විසින් වැදගත් කොන්දේසියක් එක් කරන ලදී. එනම්, තමා එම ඇදහිලි ප්‍රකාශයට අත්සන් තබන්නේ දෙවන වතිකානු සභාවෙන් පසුව සිදු වූ දේවධර්මීය සංවර්ධනයේ සහ සභා පිළිවෙත්වල සන්දර්භය තුළත්, කැනන් නීතිය යටතේ කිතුනුවන්ට සහ දේවධර්මීය ගවේෂකයන්ට ඇති නිදහස සහ වගකීම තුළත් බවයි. මෙම කොන්දේසිය සහිත අත්සන් කිරීම, එකල CDF කමිටුව භාරව සිටි කාදිනල් ජෝසෆ් රැට්සිංගර් (පසුව දහසයවන බෙනඩික්ට් පාප් වහන්සේ) විසින් "දෝෂ සහිත" එකක් ලෙස සලකන ලදී. මන්ද යත්, එම කොන්දේසිය මගින්, සභාවේ ඉගැන්වීම් බලධාරීත්වයට අවශ්‍ය වන පූර්ණ අවනත භාවය සහ එකඟතාවය ප්‍රශ්න කරන බවක් හෝ සීමා කරන බවක් පෙනී ගිය බැවිනි.
සභාවෙන් නෙරපා හැරීම (1997 ජනවාරි)
ඇදහිල්ල ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඇති වූ මෙම එකඟතාවය බිඳ වැටීමත්, නියමිත ඇදහිලි ප්‍රකාශය කොන්දේසි විරහිතව සිදු නොකිරීමත් හේතුවෙන්, කැනන් නීතියට අනුව බරපතල තත්ත්වයක් උද්ගත විය. සභාවේ නීත්‍යානුකූල අධිකාරීත්වය විසින් ඉදිරිපත් කරන ලද ඇදහිල්ල ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය නිසි පරිදි ඉටු නොකිරීම, සභාව සමඟ පවතින පූර්ණ සහ දෘශ්‍යමාන සම්බන්ධතාවය බිඳ දැමීමක් ලෙස අර්ථ දැක්විණි. එහි ප්‍රතිඵලය වූයේ, 1997 ජනවාරි 2 වන දින, ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අනුමැතිය ඇතිව, තිස්ස බාලසූරිය පියතුමාව ස්වයංක්‍රීයව බලපැවැත්වෙන පරිදි සභාවෙන් නෙරපා හරින ලද බව (excommunication latae sententiae) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමයි. මෙම "නෙරපා හැරීම" යනු කැනොනිකල් දඬුවමක් වන අතර, එමගින් සභාවේ පූර්ණ සාමාජිකත්වයට අදාළ ඇතැම් අයිතිවාසිකම්, විශේෂයෙන් පූජා ප්‍රසාද නිධාන (sacraments) ලැබීම සහ පරිපාලනය කිරීම අත්හිටුවනු ලැබේ. එය දඬුවමක් මෙන්ම, පසුතැවිලි වී නැවත සභාව සමඟ පූර්ණ සංහිඳියාවකට පැමිණීම සඳහා දෙනු ලබන අවස්ථාවකි. බාලසූරිය පියතුමා මෙම තීරණයට එරෙහිව වතිකානුවේ උත්තරීතර විනිශ්චය සභාව වන Apostolic Signatura වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද, ඔහුගේ නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බව වතිකානුවෙන් දන්වන ලදී.
නැවත සභාවට පැමිණීම (1998 ජනවාරි)
මෙම අසීරු තත්ත්වය මධ්‍යයේ වුව ද, සංහිඳියාව සඳහා වූ දොරටු විවෘතව පැවතුණි. ජාත්‍යන්තර වශයෙන් මෙම සිදුවීම පිළිබඳව ඇති වූ දැඩි අවධානය සහ විවිධ පාර්ශ්වයන්ගේ මැදිහත් වීම්, විශේෂයෙන් බාලසූරිය පියතුමා අයත් වූ නිර්මල මරිය නිකායේ නායක අතිගරු මාර්සෙලෝ සාගෝ පියතුමාගේ (Rev. Fr Marcello Zago) උත්සාහයන් ද සමඟ, නව සාකච්ඡා වටයක් ආරම්භ විය. දින හයක තීව්‍ර සාකච්ඡාවලින් අනතුරුව, එකඟතාවකට පැමිණීමට හැකි විය. මෙම එකඟතාවයේ ප්‍රධාන අංගයක් වූයේ, බාලසූරිය පියතුමා විසින් තම ඇදහිලි ප්‍රකාශයට එක් කර තිබූ මතභේදාත්මක කොන්දේසිය ඉවත් කිරීමට එකඟ වීමයි. මෙම පියවර, සභාවේ ඉගැන්වීම් බලධාරීත්වය කොන්දේසි විරහිතව පිළිගැනීමට එතුමා සූදානම් බව පෙන්වීමක් ලෙස සලකන ලදී.
1998 ජනවාරි 15 වන දින, කොළඹ අගරදගුරු අතිඋතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපානන්, ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති අතිඋතුම් ඔස්වල්ඩෝ පඩිල්ලා හිමිපානන් සහ නිර්මල මරිය නිකායේ නායක අතිගරු මාර්සෙලෝ සාගෝ පියතුමා ඉදිරියේ, බාලසූරිය පියතුමා සහ සභාවට නැවත පැමිණීම සිදු විය. මෙම අවස්ථාවේදී, බාලසූරිය පියතුමා විසින් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදී. එහිදී එතුමා තම ජීවිතයේ කැපවීම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකු ලෙස සභාවට සේවය කිරීම බවත්, ආසියාවේ ඇදහිල්ල සංස්කෘතික අනූදේශනය කිරීමේ අරමුණින් දේවධර්මය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ බවත් තහවුරු කළේය. "මරියාවන් සහ මානව විමුක්තිය" ග්‍රන්ථය එම දෘෂ්ටිකෝණයෙන් රචනා කිරීමට අදහස් කළ බව ද එතුමා සඳහන් කළේය.
වැදගත් ලෙසම, තම ලේඛනවල අපැහැදිලිතාවන් සහ දේවධර්මීය දෝෂයන් දක්නට ලැබුණු බව තමා අවබෝධ කර ගන්නා බවත්, එමගින් අන්‍ය පාර්ශ්වයන්ගෙන් ඍනාත්මක ප්‍රතිචාර ඇති වූ බවත්, සභාවට බලපෑම් එල්ල වූ බවත්, සභා ප්‍රජාව තුළ අවාසනාවන්ත ලෙස භේද ඇති වූ බවත් එතුමා පිළිගත්තේය. මෙමගින් සිදු වූ හානිය පිළිබඳව තමා සැබවින්ම කනගාටු වන බව ද එතුමා සිය ප්‍රකාශයේ සඳහන් කළේය. තවද, එතුමා හයවන පාවුළු පාප් වහන්සේගේ ඇදහිලි ප්‍රකාශය අනුව ප්‍රසිද්ධියේ ඇදහිල්ල ප්‍රකාශ කළ බවත්, එය CDF කමිටුව විසින් සකස් කළ ලියවිල්ලට වඩා වචනවලින් වෙනස් වුව ද, දෙකෙන්ම ප්‍රකාශ වන්නේ සභාවේ එකම ඇදහිල්ල බව තමා හඳුනා ගන්නා බවත් පැවසීය.
මෙම ප්‍රකාශය තුළ, එතුමා නිශ්චිත කතෝලික මූලධර්ම රැසක් තහවුරු කළේය. දේවධර්මීය ඉගැන්වීම්වල සත්‍යතාව සහ අචලතාව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව්වේ ස්වභාවය, ශුද්ධ ලියවිල්ල දේව වචනය වීම, ක්‍රිස්තුස් වහන්සේ දේව පුත්‍රයා සහ විශ්ව ගැලවුම්කරු වීම, උන්වහන්සේ සභාවේ නිර්මාතෘ වීම සහ එය ගැලවීමේ සලකුණ වීම, ජන්ම පාපයේ මූලධර්මය සහ එකම බව්තීස්මය පිළිබඳ සභා ඉගැන්වීම්, මරිය තුමියගේ දේව මාතෘත්වය, නිර්මල පිළිසිඳීම, කන්‍යාභාවය සහ ස්වර්ගාරෝපණය පිළිබඳ විශ්වාසය, ශුද්ධෝත්තම පියතුමාගේ සහ රදගුරු මණ්ඩලයේ ඉගැන්වීම් බලධාරීත්වය (Magisterium) පිළිගැනීම ඒ අතර විය. තවද, සභාව සහ එහි එඬේරුන් සමඟ තම සහභාගිකම අගය කරන බවත්, රදගුරුවරුන්ට තම එඬේරික මෙහෙවර ක්‍රියාත්මක කිරීමට සහ දේවධර්මීය ලේඛන පිළිබඳව මඟ පෙන්වීමට ඇති අයිතිවාසිකම් සහ යුතුකම් තමා හඳුනා ගන්නා බවත් එතුමා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, කොළඹ අගරදගුරු අතිඋතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් විසින් නිල නියෝගයක් නිකුත් කරමින්, බාලසූරිය පියතුමා විසින් ඇදහිල්ල ප්‍රකාශ කළ බවත්, ප්‍රකාශය මගින් අවශ්‍ය කරුණු පිළිගෙන ඇති බවත් තහවුරු කළේය. අනාගතයේදී, ඇදහිල්ල සහ සදාචාරය පිළිබඳව තමා ලියන ලේඛන, අදාළ රදගුරු පදවියේ සහ තම නිකායේ සාමාන්‍ය බලධාරීන්ගේ අනුමැතිය (imprimatur) සඳහා ඉදිරිපත් කිරීමට බාලසූරිය පියතුමා එකඟ වූ බවත්, මෙම ඉගැන්වීම්වලට පටහැනි ප්‍රකාශවලින් වැළකී සිටීමට පොරොන්දු වූ බවත් එම නියෝගයේ සඳහන් විය. සංහිඳියාව සඳහා CDF කමිටුව විසින් දක්වා තිබූ සියලුම කොන්දේසි දැන් ඉටු වී ඇති බැවින්, එහි අවසරය ඇතිව, 1997 ජනවාරි 2 වන දින පැනවූ සභාවෙන් නෙරපා හැරීමේ තත්ත්වය ඉවත් කරන බව අගරදගුරුතුමන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
මෙයත් සමඟ, තිස්ස බාලසූරිය පියතුමා නැවතත් කතෝලික සභාව සමඟ පූර්ණ සහභාගිකමකට පැමිණි අතර, එතුමා 2013 දී අභාවප්‍රාප්ත වන තුරුම තම පූජක මෙහෙවර සහ සමාජ ක්‍රියාකාරීත්වය යම් මට්ටමකින් හෝ පවත්වාගෙන ගියේය. මෙම සමස්ත සිදුවීම, කතෝලික සභාව තුළ, විශේෂයෙන් ආසියානු කලාපය තුළ, දිගු කාලීන බලපෑම් ඇති කළේය. දේශීය සංස්කෘතීන් තුළ ඇදහිල්ල ප්‍රකාශ කිරීමේ වැදගත්කම මෙමගින් යළි අවධාරණය වූ අතරම, එසේ කිරීමේදී විශ්ව සභාවේ ඇදහිල්ලේ අඛණ්ඩතාවය සහ ඉගැන්වීම් බලධාරීත්වයේ මඟ පෙන්වීම අත්‍යවශ්‍ය බව ද පසක් විය. දේවධර්මීය ගවේෂණයට නිදහසක් ඇති නමුත්, එය සැමවිටම සභාවේ ඉගැන්වීම් රාමුව තුළ සිදු විය යුතු බව මෙම සිදුවීම පෙන්වා දුන්නේය.