ශු. හොසේමරියා තුමන්ගෙන් තම චරිතය වර්ධනයට ඔවදන්

web3-saint-st-josemaria-escriva-opus-dei-catholic-priest-opus-dei-communications-office-cc-by-nc-sa

ශු. හොසේමරියා එස්ක්‍රිවා තුමන් විසින් රචිත "The Way" ග්‍රන්ථයේ Character යන පරිච්ඡේදයේ සිංහල පරිවතනයකි


පෙරවදන

මෙම උපදෙස් සෙමෙන් කියවන්න. මොහොතක් නැවතී ඒවායේ අරුත මෙනෙහි කරන්න. මේවා මා ඔබේ කනට මිතුරෙකු මෙන්, සහෝදරයෙකු මෙන්, පියෙකු මෙන් කොඳුරන දේවල්ය. අපි හදවතින් කතා කරන්නෙමු; දෙවියන් වහන්සේ අපට සවන් දී සිටින සේක. මා ඔබට අලුත් කිසිවක් නොකියමි. මා කරන්නේ ඔබේ මතකය අවුස්සා, යම් සිතුවිල්ලක් පැන නැගී ඔබට ගැඹුරින් දැනෙන පිණිසය. එවිට ඔබේ ජීවිතය යහපත් වනු ඇත, තවද ඔබ යාච්ඤාවේ සහ ප්‍රේමයේ මාවතේ ගමන් කරනු ඇත. අවසානයේදී ඔබ උතුම් ආත්මයක් බවට පත්වනු ඇත.

ඔබගේ ජීවිතය නිසරු වන්නට ඉඩ නොදෙන්න. ප්‍රයෝජනවත් වන්න. ඔබ ගැන දැනෙන්නට සලස්වන්න. ඔබගේ ඇදහිල්ලේ සහ ප්‍රේමයේ පන්දමෙන් බැබළෙන්න.

ඔබගේ අපෝස්තලික ජීවිතයෙන්, වෛරයේ දූෂිත බීජ වපුරන්නන් විසින් ඉතිරි කරන ලද අපිරිසිදු, නින්දිත මාවත අතුගා දමන්න. තවද, ඔබ හදවතෙහි දරා සිටින ක්‍රිස්තුස් වහන්සේගේ ගින්නෙන් පොළොවේ සියලු මාවත් දල්වන්න.

ඔබ හැසිරෙන ආකාරය සහ ඔබ කතාබහ කරන විලාසය කෙතරම් උතුම් වේද යත්, ඔබව දකින හෝ ඔබට සවන් දෙන අය මෙසේ පවසනු දැකීමට මම කොතරම් කැමැත්තෙම්ද: "මොහු නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය කියවයි."

පරිණතභාවය. බොළඳ ළමයෙකු මෙන් හැසිරීම නවත්වන්න; මෝඩ කෙළිලොල් තරුණියකට පමණක් ගැළපෙන එම බොරු අඟපෑම් අත්හරින්න. ඔබේ බාහිර හැසිරීම තුළින් ඔබේ ආත්මයේ සාමය සහ පිළිවෙළ පිළිබිඹු වේවා.

"මම හැදිලා තියෙන්නේ ඔහොමයි... ඒ මගේ හැටි" කියා නොකියන්න. ඒ ඔබේ දුර්වලකමයි. පිරිමියෙක් වෙන්න.

"නැහැ" කීමට පුරුදු වන්න.

"ඇයි මගේ ජීවිතය මෙච්චර අමාරු?" යැයි පරික්ශාවට පොළබොවන්නා ඔබේ කනට කොඳුරන විට ඔහුට පිටුපාන්න.

'ග්‍රාමීය' පටු දැක්මෙන් මිදෙන්න. ඔබේ හදවත විශ්වීය, 'කතෝලික' වන තෙක් එය පුළුල් කරන්න.

සන්සුන්කම. කෝප වීමෙන් ඔබ දෙවියන්වහන්සේට අගෞරව කරනවා නම්, අන් අයව කෝපයට පත් කරනවා නම්, ඔබටම පීඩා විඳීමට සිදු වෙනවා නම්... අවසානයේදී නැවත සන්සුන් වීමට සිදු වෙනවා නම්, ඇයි ඔබ කෝප වන්නේ?

ඔබ මේ කියූ දේම, වෙනත් ස්වරයකින්, කෝපයෙන් තොරව කියන්න, එවිට ඔබේ තර්කයට වැඩි ශක්තියක් ලැබෙනු ඇත, සියල්ලටමත් වඩා, ඔබ දෙවියන් වහන්සේට අගෞරව නොකරනු ඇත.

වරදක් සිදු වූ විගස, කෝපය තිබියදීම කිසිවිටෙකත් කිසිවෙකු නිවැරදි නොකරන්න. ඊළඟ දවස තෙක්, එසේත් නැතිනම් ඊටත් වඩා කාලයක් ඉවසන්න. ඉන්පසු, සන්සුන්ව, පිරිසිදු චේතනාවෙන් යුතුව, ඔබේ අවවාදය කරන්න. පැය තුනක රණ්ඩුවකට වඩා, එක මිත්‍රශීලී වචනයකින් ඔබ වැඩි යමක් අත්කර ගනු ඇත. ඔබේ කෝපය පාලනය කරගන්න.

අධිෂ්ඨාන ශක්තිය. ජවය. ආදර්ශය. අනවශ්‍ය පසුතැවීම් වලින්, දෙගිඩියාවකින් තොරව කළ යුතු දේ, කළ යුතුමය...

එසේ නොවුණි නම්, අවිලාවේ තෙරේසා මුනිවරිය ශාන්ත තෙරේසා නොවන්නී ය: ලොයෝලාවේ ඉග්නේශස්, ශාන්ත ඉග්නේෂස් නොවන්නෙහිය.

දෙවියන් වහන්සේ සහ නිර්භීතකම තුළ! 'ක්‍රිස්තුන් වහන්සේ රජකම් කරනු දැකීමට අපට අවශ්‍යයි!'

බාධකයන්ම ඔබට ශක්තියක් වේවා. දෙවි සමිඳුන්ගේ කරුණාවෙන් ඔබට අඩුවක් වන්නේ නැත: 'Inter medium montium pertransibunt aquae! ඔබ බාධක කඳු මැදින් යන්නෙහිය!

දැනට ඔබේ ක්‍රියාකාරකම් සීමා කිරීමට සිදු වුවත්, පසුව, වසා තැබූ උල්පතක් මෙන්, ඔබ කිසිදා නොපැතූ අයුරින්, අසමසම ලෙස වඩාත් දුරකට ළඟා වන්නේ නම්, එය ගැටලුවක්ද?

කිසි ප්‍රයෝජනයක් නැති, අඩුම තරමින් කාලය කා දැමීමක් පමණක් වන, එම නිස්සාර සිතුවිලි දුරු කර දමන්න.

ඔබේ ගමනේදී ඔබට බුරන බල්ලන්ට ගල් ගසමින්, දෙවියන් වහන්සේට අයිති ඔබේ කාලය සහ ශක්තිය වැය නොකරන්න. උන්ව නොසලකා හරින්න.

ඔබේ වැඩ හෙටට කල් නොදමන්න.

ඔබ අරමුණක් නැතිව යන කෙනෙක්ද? කට්ටිය අතරේ තවත් කෙනෙක් විතරද? නෑ. ඔබ, නායකයෙකු වීමට උපන් කෙනෙක්!

අප අතර ඇල්මැරුනු අයට ඉඩක් නැත. යටහත් පහත් වන්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ප්‍රේමයේ ගින්නෙන් ඔබව නැවතත් දල්වනු ඇත.

සෑම දෙයකම චපල බව, ක්‍රියාවේ හා වදනේ අඥානකම, හිස පුරා විසිරුණු අදහස්, සරලවම කිවහොත් මතුපිටින් පමණක් සැලකීම වැනි රෝග ලක්ෂණ ඇති තම චරිතය ලෙඩ කරන දේවලට ගොදුරු නොවන්න.

හොඳින් මතක තබා ගන්න: නියමිත වේලාවට, එනම් හෙට නොව, දැන්ම!, ප්‍රතිචාර නොදැක්වුවහොත්, දිනපතා හිස් සැලසුම් ( 'හිස් බවින් සපිරි' සැලසුම්) තැනීමට ඔබ පොළඹවන එම මතුපිට ගති පැවතුම්, ඔබගේ ජීවිතය අක්‍රීය, නිසරු රූකඩයක් බවට පත් කරනු ඇත.

ඔබ දිගටම ලෞකික, මතුපිටින් පමණක් දකින, අඥාන ලෙස හැසිරෙන්නෙහිය, මක්නිසාද ඔබ බියගුල්ලෙකි. තමාටම මුහුණ දීමට අකමැති වීම බියගුලුකම මිස වෙන කුමක්ද?

අධිෂ්ඨාන ශක්තිය. අතිශය වැදගත් ගුණයක්. කුඩා දේ අවතක්සේරු නොකරන්න. මක්නිසාද යත්, කිසිවිටෙකත් නිසරු හෝ සුළුපටු නොවූ එවන් දේ තුළ, දෙවි සමිඳුන්ගේ අනුග්‍රහයෙන් නිරන්තරවම තමාව ප්‍රතික්ෂේප කිරීමේ අභ්‍යාසය තුළින්, ඔබගේ චරිතය දැඩි හා ශක්තිමත් වනු ඇත. එමගින්, ඔබ ප්‍රථමයෙන් තමාගේම ස්වාමියා බවට පත්වනු ඇත. අනතුරුව, මගපෙන්වන්නෙක්, නායකයෙක් බවට පත්වනු ඇත: ඒ ඔබගේ වදනින්, ආදර්ශයෙන්, දැනුමෙන් හා ඔබ සතු බලයෙන් අන්‍යයන් මෙහෙයවීමට, පොළඹවාලීමට හා දිරිගන්වනු වස්.

අන් අය ඔබ සමඟ ගැටීම නොවැළැක්විය හැකි දෙයකි. මන්ද අවසානයේ, ඔබ සෑම කෙනෙකුම කැමති රන් කාසියක් නොවේ.

එපමණක් නොව, අන් අය සමඟ ඇසුරු කිරීමෙන් ඇතිවන එම ගැටීම් නොමැතිව, ඔබේ චරිතයේ එම කොන්, දාර සහ නෙරා ඇති දේ - අසම්පූර්ණකම් සහ අඩුපාඩු - නැති කර, සිනිඳු සහ නිත්‍ය නිමාවක්, ප්‍රේමයේ, පරිපූර්ණත්වයේ ස්ථිර නම්‍යතාවය ඔබ ලබා ගන්නේ කෙසේද?

ඔබේ චරිතයත්, ඔබ සමඟ ජීවත් වන්නන්ගේ චරිතත්, ස්පොන්ජ් කේක් මෙන් මෘදු හා මිහිරි වූයේ නම්, ඔබ කිසිදා ශාන්තුවරයෙකු නොවනු ඇත.

නිදහසට කරුණු. ඔබේ වගකීම් පැහැර හැරීමට අවශ්‍ය නම් ඔබට ඕනෑ තරම් ඒවා සොයාගත හැකිය. මනාව සිතා බලා ඉදිරිපත් කළ, කුමන තරම් විකාර තොගයක්ද!

ඒවා ගැන සලකා බැලීමට නතර නොවන්න. ඒවා බැහැර කර ඔබේ යුතුකම ඉටු කරන්න.

නොසැලෙනසුලු කෙනෙකු වන්න. පුරුෂ ගති ඇති මිනිසෙකු වන්න. පසුව... ශුද්ධවන්තයෙකු වන්න.

ඔබට මීට වඩා දෙයක් කළ නොහැකි බව ඔබ පවසනවාද? සමහරවිට... ඔබට මීට අඩුවෙන් කළ නොහැකි නිසා නොවේද?

ඔබ දැනුම සඳහා, නායකත්වය සඳහා, මහා ව්‍යාපාර සඳහා අභිලාෂකාමී ය.

හොඳයි. ඉතා හොඳයි. නමුත් එය ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන්, ප්‍රේමය වෙනුවෙන් වීමට ඉඩ හරින්න.

වාද නොකරන්න. වාද කිරීම කලාතුරකින් ආලෝකය ගෙන දෙන්නේය, මක්නිසාද ආලෝකය ආශාවෙන් යටපත් වන බැවිනි.

විවාහය යනු ශුද්ධ වූ සක්‍රමේන්තුවකි. එය ලබා ගැනීමට ඔබට කාලය පැමිණි විට, සුදුසු ග්‍රන්ථයක් යෝජනා කරන මෙන් ඔබේ ආධ්‍යාත්මික උපදේශකගෙන් හෝ ඔබේ පාපොච්චාරක පියතුමාගෙන් ඉල්ලා සිටින්න. එවිට ඔබ නිවසේ බර දැරීමට වඩාත් සුදුසු ලෙස සූදානමක් ලැබෙනු ඇත

ඔබට 'විවාහ ජීවිතය සඳහා කැඳවීමක්' ඇතැයි මා පැවසූ විට ඔබ සිනාසෙන්නේද? මැනවින්, එය එසේමය: ඔබට ඇත්තේ කැඳවීමකි.

අග්‍ර දේවදූත රෆායෙල් තුමන් හට ඔබ භාර වන්න, එවිට එතුමා ටෝබියස් රැක බලා ගත්තාක් මෙන්, ගමන් මගේ අවසානය දක්වා ඔබ පිරිසිදුව තබා ගනු ඇත.

විවාහය ක්‍රිස්තුස් වහන්සේගේ හමුදාවේ සෙබළුන් සඳහා මිස, එහි උසස් නායකයන් සඳහා පමණැක් නොවේ. මක්නිසාද යත්, එක් එක් පුද්ගලයාට ආහාර අත්‍යාවශ්‍ය වුවත්, දරු උපත අත්‍යාවශ්‍ය වන්නේ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට මිස, එක් එක් පුද්ගලයාට නොවේ.

දරුවන් ලැබීමට ආශාවෙන් සිටින්නෙහිද? මාංසික ආත්මාර්ථකාමිත්වය කැප කිරීමෙන්, දරුවන්, බොහෝ දරුවන්, සහ නොනිමෙන ආලෝක ධාරාවක් අපෙන් පසුව ඉතිරි වනු ඇත

යතාර්ථයෙන් පිට තම එක්ටැම් කුළුන තුළට වී හුදෙකලා වන්නාවූ ආත්මාර්ථකාමියාගේ සීමිත වූ, කාලකණ්ණි සතුට මේ ලෝකය තුළ අත්පත් කරගැනීම අපහසු නැත. එනමුත් ආත්මාර්ථකාමියාගේ එම සතුට තිර නොවේ.

මෙම බොළඳ දෙය උදෙසා, ඔබ අත හළෙහිද නිමක් නොමැති ස්වර්ගීය සදාතන සැනසුම?

ඔබ ඕනවට වඩා කල්පනා කරනවා. ඔබ තරුණයි කියා මට බොරු කියන්න එපා. තරුණයි තමන්ට පුළුවන් සියල්ල දෙනවා: කිසි අඩුවක් නැතුව තමන්වම පූජා කරනවා.

හරි ආත්මාර්ථකාමී! නිතරම තමන්ගේ වාසියම හොයනවා. ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරත්වයේ හැඟීමක් ඔබට නැති පාටයි. වටේ ඉන්න මිනිස්සුන්ව සහෝදරයෝ විදිහට නෙවෙයි පෑගෙන ගල් විදිහටයි දකින්නේ.

ඔබේ සම්පූර්ණ වැටීම මට පේනවා. ඒ වගේම, ඔබ වැටිලා ඉන්න වෙලාවට, ඔබ අනිත් අයට නොපෙන්නපු ඒ දයානුකම්පාව අනිත් අයගෙන් ලැබෙයි කියලා ඔබ බලාපොරොත්තු වේවි.

ඔබ අන් අයව දකින්නේ ඉස්සරහට යන්න තියෙන පඩි ගල් විදිහට නම්, ඔබට කවදාවත් නායකයෙක් වෙන්න බැහැ. ඔබ නායකයෙක් වේවි, සියලු මනුෂ්‍ය වර්ගයාගේ ගැළවීම ගැන ඔබ අභිලාෂකාමී නම්.

ඔබට බැහැ ඔබේ සහෝදර මනුෂ්‍යයන්ට පිටුපාන්න: ඔබ ඔවුන්ව සතුටු කරන්න උනන්දු වෙන්න ඕන.

ඔබට අවශ්‍ය නෑ කාරණයක නියම ස්වභාවය තේරුම් ගන්න. සමහර විට, ආචාරශීලීත්වය නිසා. තවත් විටෙක, බොහෝ විට, තමන්ටම රිදවා ගැනීමට ඇති බිය නිසා. තවත් විටෙක, අන්‍යන්ට රිදවීමට ඇති බිය නිසා. හැම විටම, බිය නිසා!

ඔබ සත්‍යයට ඔය තරම් බිය තාක් කල්, ඔබට කිසිදාක නිවැරදි විනිශ්චයක් ඇති, වටිනා මිනිසෙකු වීමට නොහැකි වනු ඇත.

සත්‍යයට බිය වෙන්න එපා, ඒ සත්‍යය නිසා ඔබට මැරෙන්න සිදු වුණත්.

බියගුලුකමට විචක්ෂණභාවය කියා සුරතල් නාමයෙන් කතා කරන ඔබේ පුරුද්දට මම කැමති නැහැ.

මක්නිසාද යත්, එහි ප්‍රතිඵලයක් ලෙස, අදහස්වලින් හිස් වූ මනස් ඇති දෙවියන්ගේ සතුරන්, ඔබේ 'විචක්ෂණභාවයෙන්' ප්‍රයෝජන ගෙන උගත්කම නමැති නාමය ලබාගෙන කිසිදා නොලැබිය යුතු තනතුරු කරා ළඟා වෙනවා.

ඔව්, ඒ අනිසි භාවිත නැති කරලා දාන්න පුළුවන්. බලාපොරොත්තුවක් නැති, කිසිම පිළියමක් නැති දෙයක් විදිහට දිගටම තියෙන්න අරින එක, චරිතවත් කමේ මදිකමක්.

ඔබේ යුතුකම මගහරින්න එපා. අනිත් අය එයාලගේ යුතුකම් පැහැර හැරියත්, ඔබ ඔබේ යුතුකම හෘදසාක්ෂියට එකඟව ඉෂ්ට කරන්න.

ඔබට හොඳට කතා කරලා අනිත් අයව නම්මගන්න පුළුවන්. ඒත් කොච්චර කතා කළත්, 'දෛවෝපගතයි' කියලා කියලා කිසිම සාධාරණීකරණයක් නැති දේ සාධාරණීකරණය කරන්න ඔබට බැහැ.

ඇත්තටම ඒක එහෙම වෙන්න පුළුවන්ද — නෑ, නෑ, මට ඒක විශ්වාස කරන්න බැහැ — මේ ලෝකේ ඉන්නේ මිනිස්සු නෙවෙයි බඩවල් විතරයි කියලා?

"පහසු දෙයින් පමණක් සෑහීමට පත් නොවන්න, යාච්ඤා කරන්න." මම යාච්ඤා කළා. දැන් ඒ උතුම් අධිෂ්ඨානය ක්‍රියාවට නැංවීම ඔබට භාරයි.

විශ්වාසය, ප්‍රමුදිත බව, සුබවාදී බව. නමුත් යථාර්ථයට ඇස් වසා ගැනීමේ මෝඩකම නොවේ.

ලෞකික ජීවිතයේ ඉහළට ගියත්, හිස තුළ හෝ හදවත තුළ කිසිවක් නොමැති හිස් මෝඩකම් වලින් පිරුණු ජීවිතයක් ගත කිරීම, කියන තරම් 'සාර්ථකද'?

ඔය නොහික්මුණු ගතිය කුමටද? කවදාද ඔබ ඔබේ අධිෂ්ඨානය ස්ථිර දෙයකට යොදවන්නේ? හැම දෙයක්ම පටන්ගන්න ඇති ඔය ලොල් බව අත්හරින්න. අඩුම තරමේ එක කාර්යයක් හෝ නිමවා එහි අවසානය දකින්න.

මෙතරම් කලබලකාරී නොවන්න. සුළු දේට පවා ඔබ අමනාප වේ. ඉතාම සාමාන්‍ය කරුණක් ගැන වුව ද ඔබ සමඟ කතා කිරීමට පෙර වචන හොඳින් කිරා මැන බැලිය යුතු වේ.

මා ඔබට පැවසුවොත් ඔබ... නොඉවසිය හැකි කෙනෙක් බව, අමනාප නොවන්න. ඔබ වෙනස් නොවන්නේ නම්, ඔබ කිසිදාක ප්‍රයෝජනවත් පුද්ගලයෙක් නොවනු ඇත.

ක්‍රිස්තියානි දයාව සහ සමාජ සිරිත් විරිත් අනුව ක්‍රියා කරන්න. අනතුරුව... ඔබේ ගමන්මගේ යෙදෙන්න! ශුද්ධ වූ එඩිතර කමකින් යුතුව, යුතුකමේ මුදුනත දක්වා නොනැවතී ඉදිරියට ඇදෙන්න.

අනුන් ඔබ ගැන කියන දේට ඇයි ඔබ මෙතරම් තැවෙන්නේ? දෙවියන් වහන්සේ ඔබෙන් දුරස් වුවහොත් ඔබ කොතරම් පිරිහීමට පත් වේවිද? යහපතෙහි නිරත වෙමින් නොසැලී ඉදිරියට යන්න, ඒවා ගණනකට නොගන්න.

සමානාත්මතාවය, ඇතැමුන් වටහාගෙන ඇති පරිදි, අයුක්තියට සමාන වචනයක් බව ඔබ සිතන්නේ නැතිද?

ඔය ඉරියව්ව සහ තමා ගැනම උදම් අනන ස්වභාවය ඔබට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒවා කෘත්‍රිම බව කාටත් පැහැදිලියි. අඩුම ගානේ, දෙවියන් වහන්සේ ඉදිරියේ හෝ, ඔබේ ආධ්‍යාත්මික උපදේශකයා ඉදිරියේ හෝ, ඔබේ සහෝදර සහෝදරියන් ඉදිරියේ හෝ එසේ හැසිරීමෙන් වළකින්න. එවිට ඔවුන් සහ ඔබ අතර අඩු ගානේ එක් බාධකයක් හෝ ඉවත් වනු ඇත.

ඔබට ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ. හැම දේටම ඇඟිලි ගහන්නේ ඇයි? ඔබ හැම හොද්දෙම ලුණු වෙන්න හදනවා. මම කෙලින් කිව්වට තරහ වෙන්න එපා - ලුණු වෙන්න ඔයාට කිසි දක්ෂතාවයක් නැහැ. විශේෂයෙන්ම ලුණු වගේ දියවෙලා අනිත් අය අතරේ නොපෙනී ඉන්න ඔයාට බැහැ.

ඔයා ගාව කැපකිරීම් වල අඩුවකුයි, ඕපාදූප හොයන්නයි, ෂෝ ඔෆ් කරන්නයි ලොකු වැඩි බවකුයි තියෙන්නේ.

ඔබේ දිව පාලනය කරගන්න! ළදරුවෙකු මෙන් බොළඳ නොවන්න. කේලාම් කියමින්, නපුරුකම් කරමින්, රහසේ ක්‍රියාකරන කුඩා ළමයෙකු මෙන් හැසිරෙන්න එපා. ඔබගේ ඕපාදූප සහ කයි කතන්දර මගින් ඔබ අනුන් තුළ වූ දානමය ගුණයෙහි උණුසුම නැති කර දමා ඇත. ඔබ විසින් සිදුකර ඇති හානිය මින් ඔබ්බට තවත් වැඩි කල නොහැක. යම් හෙයකින් ඔබගේ ඔය දඟලන දිව අනුන්ගේ අධිෂ්ඨානය නමැති පවුර සෙලවූයේ නම්, ඔබගේම අධිෂ්ඨානය තවදුරටත් දේව වරප්‍රසාදයක් නොව, සතුරාගේ ද්‍රෝහී උපකරණයක් බවට පත් වේ.

ඔබ ඕනෑවට වඩා කුතුහලයෙන් පිරුණු, අනුන්ගේ පෞද්ගලික දේ ගැන හොයන, ඕපාදූප සොයන කෙනෙකි. ඔබේ දුර්වලකම් තුළදී පවා ඔබ නිසි පුරුෂයෙකු ලෙස කටයුතු නොකරන බව ගැන ඔබට ලැජ්ජාවක් නැද්ද? පුරුෂයෙකු වන්න. අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගසනවා වෙනුවට, තමා ගැන සැබෑ අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරන්න.

සරල සහ අවංක ගති පැවතුම් ඇති පිරිමි ඔබ, කිසිදාක හවුල් වීමට අකමැති වූ ඕපාදූප සහ කේලම් කතාවකට පැටලුනු විට, ඔබව මානසිකව පීඩාවට පත් කරයි. එවැනි කතා නිසා ඇතිවන නින්දාව විඳ දරාගෙන, එයින් පාඩමක් ඉගෙනගෙන වඩාත් නුවණැතිව ඉදිරියේදී ක්‍රියා කරන්න.

අනුන්ව විනිශ්චය කරන විට, ඇයි ඔබ ඔබේම අසාර්ථකත්වයන් වල තිත්තකම ඔබේ විවේචනයට එකතු කරන්නේ?

ඔය විවේචන එල්ල කරන ගතිය - ඒ පිටිපස්සේ නරක අදහස් නැති බව මම දන්නවා - ඒත් ඒක ඔයාගේ දේව සේවයටවත්, ඔයාගේ සහෝදර සහෝදරියන්ටවත් හරියන්නේ නැහැ. මම කෙලින්ම කියන්නම්: ඔය විවේචන එල්ල කරන එක ඔයාලා හැමෝම එකතු වෙලා කරන උතුම් වැඩේට ලොකු බාධාවක්. මොකද, අනුන් කරන දේවල් විමර්ශනය කරද්දී - හොඳම අදහසින් වුණත්, එහෙම කරන්න ඔයාට කිසිම අයිතියක් නැති වෙලාවට, ඔයා කිසිම හොඳ දෙයක් කරන්නේ නැහැ. අනික, ඔය නෙගටිව් විදිහට හිතන එකෙන් ඔයා අනිත් අයගේ දියුණුවත් නවත්තනවා.

'ඉතින්', ඔයා බයෙන් වගේ අහනවා, 'මගේ චරිතේ මුල ඉඳන්ම තියෙන ඔය විවේචන ගතිය...?'

අහන්නකෝ, මම ඔයාගේ හිත නිදහස් කරන්නම්. පෑනකුයි කොළේකුයි ගන්න. ඔයාට හිතට වද දෙන දේ සරලව, ඇත්ත ඇති සැටියෙන් - ආ! ඒ වගේම කොටහෙන් - ලියන්න. ලියලා ඒක වගකිවයුතු කෙනාට දීලා, ආයේ ඒ ගැන හිතන්න එපා. එයාට එයාගේ තනතුරට අදාළ වරප්‍රසාද තියෙනවා. එයා ඒක ෆයිල් කරයි, නැත්නම් කුණු කූඩෙට දායි. ඔයාගේ විවේචන වල අරමුණු නරක නැති නිසා, ඒවා හොඳම ඒවා නිසා, ඔයාට ඒකෙන් කමක් නෑ.

'සම්මුතියකට එළඹිය යුතුයි' ! සම්මුතිය කියන වචනය තියෙන්නේ සටන් කිරීමට කැමැත්තක් නැති අයගේ වචන මාලාවේ විතරයි - කම්මැලියන්ගේ, කපටියන්ගේ, බියගුල්ලන්ගේ - මන්ද ඔවුන් සටන පටන් ගන්නත් කලින්ම තමන් පරාජිතයන් ලෙස සලකන නිසා.

මගේ ආදරණීය පුත්‍රය: ඔබට ඔබ ගැන දැනෙන්නේ හරියට පොඩි ළමයෙක් වගේ වුණත්, දෙවියන් ඉදිරියේ ඔබ එසේ වුණත්, අමුත්තන් ඉදිරියේ ඔබේ සහෝදරයාව අපහසුතාවයට පත් කරන තරමට බොළඳ නොවන්න.

Read more

2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ ලේඛනයේ සිංහල පරිවර්තනය

2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ ලේඛනයේ සිංහල පරිවර්තනය

මෙය 2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ Spes Non Confundit(බලාපොරොත්තුව අපව අත්නොහරියි) යන ලේඛනයේ සිංහල පරිවර්තනයක් වන අතර නිළ නොවන පරිවර්තනයක්