ආසියාව තුළ කිතු දහමේ පසුබැස්ම
ආසියාව තුළ විශාල කතෝලික සංඛාවක් සිටින බව අද බොහෝ දෙනා නොදන්නා කරුණකි. එහෙත් එය සත්‍යයක්මය. අද ලෝකය පුරා ව්‍යාප්ත ව සිටින කතෝලික ජනගහණය 1.166 බිලියනය ඉක්මවා ගොස් ලෝක ජනගහනයෙන් සියයට 17.4 දක්වා නැඟ ඇත. එසේම කතෝලික රටවල් ලෙස වඩාත් සැලකෙන්නේ යුරෝපා සහ දකුණු ඇමරිකාන රටවල් ය. අද තත්ත්වය මෙසේ වුවත් පළමු සහස්‍ර වර්ෂය තුළ කිතු දහම වඩාත් ම ව්‍යාප්ත වී තිබුණේ ආසියාවේය. අද කතෝලික - කිතුනුවනට තමන්ගේම මූලාරම්භය අමතක වී තිබිම, ඔහුන්ගේ ඉතිහාසය නොදැන් සිටිම විශාල ඛේදවාචකයෙකි.
කිතු සමිඳුන්ගේ ගෝළ පිරිස ලොවේ සිව් දිග බලා ගිය අතර නායක පේදුරු තුමා එවකට රෝම අධිරාජ්‍යයේ අගනුවර වු රෝමය බලා ගියේ ය.
ජුදා ගෝත්‍රයට අයත් නොවන මිත්‍යා දෘෂ්ටීන් ලෙස සලකන ලද සෙසු පිරිස සොයා ගිය පාවුළු තුමන්ද මැද පෙරදිග හරහා ගොස් රෝමයට ම වැදුනි. මේ හේතුවෙන් රෝමය කේන්ද්‍රස්ථානය කොටගෙන සංවිධානය වු රෝමානු කතෝලික සභාව අද ලෝකයේ විශාලතම කිතු සබය ලෙස පවතින්නේය.
මේ අනුව ක්‍රි.ව. සොළොස් වැනි මෙන්ම දසනව වැනි සත වසරයන් තුළ දකුණු යුරෝපයේද විශේෂකොට ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ද යටත් විජීත ආකල්පයන් සමඟ මිශ්‍රව දකුණු ඇමෙරිකාව සහ ඇතැම් ආසියානු රටවල කිතු දහම ව්‍යාප්ත වී ගිය බව කිව යුතුයි.
ඒ එසේ වුවත් කතෝලික දහම ආසියාව තුළ වඩාත් පැරණී ය. ආසියාවේම උපත ලැබු කිතු දහම මෙහි ව්‍යාප්ත වුයේ පළමු සත වසරේ සිටයි. ශු. පාවුලු තුමා මෙන්ම සෙසු අපෝස්තුළුවරුන් ද ඉතා සාර්ථක ලෙස දහම රෝපණය කළ රටවල් තුළ අද කිතු දහම අහෝසි වී ගොස් තිබේ. අප රටට පවා පැමිණ දහම ව්‍යාප්ත කළ පර්සියානු, සිරියානු කිතුනුවෝ අද එම රටවල නැත්තාහ. මේ රටවල් අද ඉරාණය, ඉරාකය නමින් ඉස්ලාමීය රටවල් බවට පත් වී තිබේ. සත්වැනි සත වසරේ ඉස්ලාම් දහම බිහිවන තුරු කතෝලිකයන් බහුලව සිටි මේ රටවල් අද මුස්ලිම් රටවල් බවට පමණක් නොව ඉස්ලාමීය කේන්ද්‍රස්ථානය බවට පත් වී තිබේ.
බටහිර රෝමය කේන්ද්‍රස්ථානය කොටගත් කතෝලික සභාව අද ලෝකයේ ම විශාල සභාව සැටියට මුල් තැන දිනා සිටියත් එදා "පෙරදිග සභාව" ලෙස පර්සියාව, ඉන්දියාව, ලංකාව මෙන්ම චීනයේ පවා පැතිර ගිය කතෝලික සභා ශාඛාව වඩාත් විශාල විය.
මෙතරම් ව්‍යාප්ත ව තිබු "පෙරදිග කතෝලික සභාවේ පසුබැස්ම ආරම්භ වුයේ ලෝක ව්‍යාප්ත හෙවත් ගෝලීය කිතු දහමට උතුරු අප්‍රිකාන පළාත් අහිමි විමේනුයි. අද මග්ග්‍රෙබි යනුවෙන් හැඳින්වෙන මේ පළාත් එකල ටර්ටූලියන්, ශු. ඔගස්ටීන් , ශු. සිප්ප්‍රියන් නමැති කතෝලික වියතුන් බිහිකළ ප්‍රදේශයන් විය. මේ සියල්ල මුස්ලීම්වරුන් අතට පත්විය.
පසු කාලයේ හෙවත් දස සතර වැනි සියවසරේ ඇති වු මෝගුල් ආක්‍රමණයන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කිරිමට හේතු විය. මෝගුල්වරුන්ගේ පැමිණිම තමනට සෙතක්, සැනසුමක් විය හැකි යැයි විශ්වාස කළ ඉතිරි වී සිටි කිතුනුවෝ, ඔහුනට තම සහයෝගය දැක්වුහ. එහෙත් මෝගුල්වරු පරාජ වුහ. මේ හේතුවෙන් කිතුනුවන් වෙත මුස්ලීම්වරුනගේ වෛරය දෙගුණ තෙගුණ විය. ඔහුන් ද්‍රෝහියන් ලෙස සලකා පීඩනය කොට සහමුලින් අතුගා දැමුහ. මෙයින් කතෝලික සහ කිතුනු පිතෘ මුලික (Patriarchate) කේන්ද්‍රස්ථාන බවට පස්වැනි සහ හයවැනි සතවසරවල පත්ව තිබුණු ජෙරුසලම, ඇලෙක්සැන්ඩ්‍රියාව, සහ ඇන්ටියෝකිය ගෞරවවාචී නාම මාත්‍ර තනතුරු බවට සැහැල්ලු විය. අවසානකොට ක්‍රි.ව. 1453 දී පෙරදිග කතෝලික සභාවේ කේන්ද්‍රස්ථානය වු
කොන්ස්ටැන්ටිනෝපලය ද, තුර්කීන් අතට පත්විය. මෙතැන් සිට "හජීයා සෝෆියා" යනුවෙන් හඳුන්වනු ලැබු, පළමු සහස්‍ර වර්ෂය හෙවත් දහස් වසරේ කීර්තිමත් දෙව්මැඳුර වෙනුවට ඒ සියලු දෙනාට ඉස්ටැන්බුල් හී ෆානාර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා දෙව් මැඳුරක ලැඟුම් ගන්නට සිදුවිය. (Philip Jenkins - The Lost History Of Christianity, pp.106,119,254) මෙයින් සිදුවුයේ දිගට වැඩී ගිය වැලක මුල කපා දැමීම වැනි දෙයකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය ආදි රටවල රෝපණය වී සශ්‍රීක වෙමින් පැවති වැලට පල දරණ අවදියේම පෝර සහ දියර සපයන මුල් කැපී යාමයි. එකල ලක්දිව කිතුනු සංඝය පිරිහී ගියේද මේ නිසාම යැයි කිව හැකිය.
ලංකාවට පෘතුගීසින් පැමිණි 16 වැනි සිය වසරේ ද අරාබී ජාතිකයින් (මුස්ලිම්වරු) සහ ඔහුන් අතර මෙම පැරණී අරගලය පැවතුණී. ආගම් භේදය මෙන්ම ඊටත් ප්‍රබලව වෙළෙද ගැටුම් ඔහුන් අතර පැවති බව නොරහසකි. පෘතුගීසිනට පෙර මෙහි පැමිණ වෙළෙද ඒකාධිකාරයක් ගෙන ගිය අරාබී වෙළෙඳුන් මොවුනට් විරුද්ධව පොදු ජනතාව කුපිත කළ නමුත් කිහිප වතාවක්ම අප රජවරුන් පෘතුගීසින්ගේ සහාය පැතුවේ අරාබී ව්‍යසනයෙන් ගැලවීමටයි. මේ අනුව දිවයින අවට මුහුදේ පෘතුගීසින් හා මුස්ලීම්වරුන් අතර යුද ගැටුම් ගණනාවක් සිදු වී ඇත. (S.G. Perera "A History of Ceylon - Pg 1314)
ඉහත සඳහන් ඉස්තාන්බුල්හි හජීයා සොෆියා (අර්ථය - ශුද්ධ ප්‍රඥාව) දෙව්මැඳුර ලෝකයේ අනර්ඝතම ගෘහ නිර්මාණ ශිල්පයෙන් අධිරාජ්‍යාණන් විසින් කරවන ලද මෙම දෙව්මැඳුර ක්‍රි.ව. 1453 දී තුර්කී මුස්ලීම්වරු පැහැරගෙන ඔහුන්ගේ පල්ලියක් බවට පත් කළෝය. අද එය පවතින්නේ කෞතුකාගාරයක් වශයෙනි. (The Catholic Encyclopedia For School And Home - Vol 5, p.62)
මෙහි ආසියාවේ කිතු දහම පිළිබඳ ලේඛන රැසක් තිබුණු බවත් ඒ අතර ශ්‍රී ලංකාව පිළිබඳවද සටහන් තිණුණ බවත් කියැවේ. මෙය මුස්ලීම්වරුන් අතට පත්වීමට පෙර දත්ත ලබාගෙන, ක්‍රි.ව. 1 සිට 610 දක්වා ග්‍රීක බසින් කාණ්ඩ 18 ක ආසියාවේ කිතුනු ඉතිහාසය ලියා ඇති නිකේෆොරෝස් කලිස්ටෝස් සන්තුපොලොස් වෙනත් කරුණු අතර ශු.තෝමස් අපෝස්තුළුවරයාණන් ශ්‍රී ලංකාවට වැඩම කොට මෙහි ධර්ම දේශනා පැවැත්වු වග සටහන් කර තිබේ. මෙම ගත්කරු මියගොස් ඇත්තේ ක්‍රි.ව. 1328 ට පෙරය. (Historia Ecclesiastica 2,40)
මෙම දත්ත අනුව පැහැදිලි වන්නේ ලංකාවේ අප ද පෙරදිග කතෝලික සභාවේ සමාජීක කිතුනුවන් වශයෙන් පළමු දහස් වසර තුළම කිතු දහමට පංගුකාර වු වගයි. (Oxford Dict Of Byzantium 1991, 2207, G.Gentz - F. Winkelmann, Die Kre - hengeshichte des Nicephorus Callistus x und ihre Quellen, 1996) අපටද එම දහමේ ප්‍රබල පසුබැස්මක් ඇතිවීමට හේතු වුයේ කුමක් නිසාදැයි මෙයින් මොනවට පැහැදිලි වේ. ලංකාවේ කිතුනු ඉතිහාසය පිළිබඳ තවත් කරුණු රැසක් මෙහි තිබුණාට සැකයක් නැත. එහෙත් මෙහි ඉහත සඳහන් ආක්‍රමණයන් මෙන්ම පුස්ථකාල සහ ලේඛනාගාර ගිනි බත් කිරීමෙන් ඒ වටිනා දත්ත සදහටම අපට අහිමි වී ගිය බවට සැකයක් නැත.
සටහන - ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ