ශ්‍රී ලංකාවට වැඩම කළ ජේසුගේම ග්‍රාවකයා

ක්‍රිස්තුන් වහන්සේගේ ම ශ්‍රාවකයෙක් පළමුවරට ලංකාවේ කිතු දහම හඳුන්වා දී ඇතැයි කිවහොත් බොහෝ දෙනා පුදුම වනු ඇත. එහෙත් එය ඓතිහාසික සත්‍යයකි. මෙසේ ශ්‍රී ලංකාවට වැඩම කොට ඇත්තේ ශු. තෝමස් අපෝස්තුළුවරයාණන් ය.

ශු. තෝමස් අපෝස්තුළුවරයා ජුදයාවේ ගලීල දේශයේ උපන් ජුදයෙකි. එතුමාණන් උතුරු ඉන්දියාව, පර්සියාව සහ දකුණු ඉන්දියාව යන ප්‍රදේශයන්හි දහම් දුත මෙහෙවර ඉටුකැර ඇත. දකුණු ඉන්දියාවේ හෙවත් මයිලපුර්හි සිටි කාලය තුළ ලංකාවේ කොළඹ වරාය අසලත් දහම් දෙසු බවට ආදියේ සිටම ජන මතයක් විය. පෘතුගීසින් මෙහි පැමිණි කාලයේදි එවැනි පිළිගැනීමක් තිබුණ බව පෘතුගීසි ඉතිහාසඥ කුවෙරෝස් පළ කර ඇත. පෘතුගීසින් මෙහි පැමිණෙන කල ශු. තෝමස් මුනිවරයාණන් විසින් නිර්මාණය කරන ලදැයි විශ්වාස කෙරෙන කුරුස දෙකක් ලංකාවේ තිබී සොයා ගන්නා ලදැයි ද ඉන් එකක් කොළඹ මුවදොර (මෝදර) තිබී හමුවී ඇතැයිද හේ සඳහන් කරයි.

මේ පැරණි විශ්වාස අනුව පිළිගැනිම වුයේ එතුමන් (ශු. තෝමස් මුනිවරයාණන්) උතුරු කොළඹ අද ජීන්තුපිටිය නමින් හැඳින්වෙන කඳුබිමේ දහම් දෙසු බවයි. මෙසේ අද ජීන්තුපිටිය බවට පෙරළි ඇත්තේ හෙවත් පරිනාම වී ඇත්තේ සන්තුපිටිය හෙවත් "සන් තෝම් පිටිය" යන පැරැණි නාමය බව වියතුන්ගේ පිළිගැනිමයි. අදත් ජීන්තුපිටි උස් බිමෙහි පිහිටා ඇති දෙව් මැඳුරකි. එය ලංකා සභාවේ (ඇන්ගලිකන්) දෙව් මැඳුරක් වුවත් නම් කැර ඇත්තේ ශු. තෝමස් මුනිවරයාණන්ගේ දෙව් මැඳුර වශයෙනි. මෙයින් ද ඒ පැරැණි විශ්වාසය තහවුරු වේ.

දිගු කලක් තුළ අප අතර පැවති මෙම පුරාවෘත්තය පැහැදිලි ව සනාථ කෙරෙන ලේඛනයක් මෑතකදි හමු වී තිබේ. එහි විස්තර මෙසේය. ග්‍රීක බසින් ලියන ලද කාණ්ඩ 18 කින් සමන්විත ඉතා වැදගත් ග්‍රන්ථයක් ටික කලකට පෙර හමු වී තිබේ. මෙහි විස්‍තර වන්නේ කිතු දහමේ ආරම්භයේ සිට ක්‍රි.ව. 610 දක්වා වු කාලයේ කිතුනු ඉතිහාසයයි. නිකේෆොරෝස් කලිස්ටෝස් සන්තුපොලොස් නමැති මෙම ඉතිහාසඥ ගත්කරු මිය ගොස් ඇත්තේ ක්‍රි.ව. 1328 ට් පෙරයි. පසු කාලීන බයිසැන්ටීන යුගයට අයත් මෙම ග්‍රන්ථ මාලාව කැප කර ඇත්තේ ක්‍රි.ව. 1317 දී රජ යුගය ආරම්භ කළ දෙවැනි අන්ඩ්‍රොනියෝකෝස් අධිරාජයාගේ ගෞරවය පිණිස යි.

මෙම ග්‍රන්ථ මාලාවේ ශු. තෝමස් අපෝස්තුළුවරයාණන් ලංකාවට වැඩම කළ බවත්, මෙහි දහම් දෙසු බවත් සටහන් කොට තිබේ. එම කාලයේ ලංකාව හඳුන්වනු ලැබුවේ තැප්රොබේන් කියාය. (Historia Ecolesiastica 2,40)

මෙහි ගත්කරු හෙවත් නිකේෆොරෝස් කලිස්ටෝස් සන්තුපොලොස් කොන්ස්තන්තිනෝපලයේ හජීයා සෝෆියා කණ්ඩායමට අයත් වු වියතකු වීම හේතුවෙන් මෙම සටහන ඉතා වැදගත් වන්නේය. මෙම කණ්ඩායම ක්‍රි.ව. 1453 දී තුර්කී ජාතිකයන් (මුස්ලීම්වරු) කොන්ස්ටැන්ටිනෝපලස් ආක්‍රමණය කොට එහි තිබු සුප්‍රසිද්ධ කතෝලික පුස්ථකාලය ගිනි තබා විනාශකර දමන්නට පෙර එය පරිහරණය කළ පිරිස වන්නේය. නිකෝෆොරෝස් එහි තිබු පුස්තකාලවලින් සහ ලේඛනාගාර වලින් ලබාගත් දත්ත රැසක් ඔහුගේ ග්‍රන්ථවලට ඇතුළත් කර තිබේ. (Ref. Oxford Dict. Of Byzantium 1991, 2207; F. Gentz - F- Winkelmann, Die Kirchengeshichte des Nicephorus Callistus X.und ihre Quellen , 1966)

ශු. තෝමස් අපෝස්තුළුවරයාණන්ගේ ජීවිත කතාව ඉතා රසවත් ය. ඩිඩිමස් හෙවත් නිවුන්නා යනුවෙන් නම්ලද එතුමන් කිතු සමිඳාණන් විසින් තම ගෝළයන් දොළොස් දෙනා අතරට බාර ගන්නා ලදි. (ලුක් 6:12-16) එඩිතර චරිතයකින් යුත් එතුමා ඒ ඔස්සේ උතුරු ඉන්දියාවට පැමිණියේ ය. ඉන් ඉක්බිති එතියෝපියාවට ගිය එතුමෝ වෙළෙද කණ්ඩායමක් සමඟ නෞකාවකින් පෙරළා දකුණු ඉන්දියාවට පැමිණ ඇත. මෙහිදි විශාල ජනකායක් උන්වහන්සේගෙන් කිතු දහම වැළඳගත් බව වාර්තා වී තිබේ. මෙලෙස කිතු දහම වැළඳගත් කණ්ඩායම් හතක් පිහිටුවා ඒවා සඳහා නායකයන් (රදගුරුවරුන්) සහ පුජකවරුන් පත් කළ බව වාර්තා වන්නේ ය. (සවියර් කූඩපුෂා - භාරත සභා චාරිත්‍රම් , 58 පිටුව)

උන්වහන්සේ මෙසේ කිතුනු සභා පිහිටවන ලද සෑම තැනකම ජූදා ගෝත්‍රිකයන් සිටි බව සඳහන් වන්නේය. මේ අනුව කේරලයේ පළමු ක්‍රිස්තු භක්තිකයන් සිරියාවෙන් හෝ පර්සියාවෙන් පැමිණ අය නොව එහි කලක් ජීවත් වී සිටි ජුදයින් යැයි වැඩි පිළිගැනිම වන්නේ ය. (විලියම් ලෝගත් - මලබාර් මැනුවල් 202 පිටුව) මෙවැනි ජූදා ගෝත්‍රිකයන් විශාල වශයෙන් භාරතයේ වාසය කිරිම තෝමස් අපෝස්තුළුවරයාණන් ට ඉමහත් පහසුවක් වු බව රහසක් නොවිය හැකිය. තමන්ගේ භාෂාවත් හැදියාවත් (ජුදා) ආගමික පසුබිමත් දැන සිටි පිරිසක් සමඟ සංවේදී වීම සෙතක්ම විය.
එකල ජූදා ගෝත්‍රිකයෝ දකුණු ආසියාවේ නොයෙකුත් ප්‍රදේශවල පැතිර සිටියෝ ය. අනුරාධපුර රාජධානිය තුළ ද ඔහුන් සිටි බවට වාර්තා වී ඇත. එම වාර්තාව අනුව එවකට රාජ්‍ය සභාවේ සාමාජීකයන් සොළොස් දෙනෙකු වු අතර ඉන් සිව් දෙනෙක් කිතුනුවන්ද, තවත් සිව් දෙනෙක් ජුදයින් ද වු බව සඳහන් වී තිබේ. තෝමස් අපෝස්තුළුවරයාණන් මෙහි වැඩම කළේ එවැනි ජූදා ගෝත්‍රිකයන්ද සිටි බව දැනගෙන දැයි ප්‍රශ්න කළ හැකිය.

භාරතයේ ආදී ඉතිහාසය පුරා කියැවෙන්නේ ආක්‍රමණික යුද සටන් පිළිබඳවයි. වෙසෙසින් ආසියාවේ වයඹ දෙසින් එල්ල වු යුද ප්‍රහාර බහුල විය. බොහෝ ජාතීහු පන්ජාබයේ වටිනා ස්වභාවික වස්තුන් අත්පත් කැර ගැනිම සඳහා සටන් වැදුනාහ. ක්‍රි.පූ. 323 මහා ඇලෙක්සැන්ඩර් රජුගේ වියෝවෙන් චන්ද්‍ර ගුප්ත මයුර බලය තහවුරු කැර ගෙන ක්‍රි.පූ. 232 අශෝක රජුගේ මරණය දක්වා මයුර පෙළපතේ රජවරු රජ කළෝය. ඉන් ඉක්බිති රාජධානිය කොටස් කොටස් කැඩී ගොස් ගොන්ඩපෝරස් නමැති රජතුමා බලවත්ම රජ බවට පත් විය. ක්‍රි.ව. 45 දී රජව සිටි මෙතුමා තෝමස් මුනිවරයාණන් ගෙන් කිතු දහම වැළඳගත්තේය. (රමසන්කර් ත්‍රිපති - "හිස්ට්‍රි ඔෆ් ඒක්ශන්ට් ඉන්ඩියා" 220 පිටුව)

ක්‍රි.පූ. 516 සිට ක්‍රි.ව. 220 දක්වා බටහිර රාජ්‍යයන් සමඟ ඉන්දියාව ඉතා කිට්ටු වෙළෙද සම්බන්ධකම් පවත්වා ඇත. ග්‍රීසීය, රෝමය වැනි රටවල් මේ අතර විය. (ඒ.එම්. මුන්ඩාඩන් හිස්ට්‍රි ඔෆ් ක්‍රිස්ටියැනිට් ඉන් ඉන්ඩියා - 1 වෙළුම 12 පිටුව). මේ හේතුව නිසා පළමුවර උතුරු ඉන්දියාවට වැඩම කළ තෝමස් මුනිවරයා පෙරළා එතියෝපියාවට ගොස් ආපසු ක්‍රි.ව. 52 දී දකුණු ඉන්දියාවට පැමිණියේ ය. එතුමන් ලංකාවට වැඩම කරන්නට ඇත්තේ මේ කාලයේ දී බව පිළිගත හැකිය.
තෝමස් අපෝස්තුළුවරයාණන් උතුරු ඉන්දියාවට පැමිණ කිතු දහමට හරවා ගත් ගොන්ඩපෝරස් රජ තුමන් ගැන ප්‍රබල සාක්ෂි දස නව වැනි සත වසරේ මැද කාලයේදි අනාවරණය වී තිබේ. ඊසාන ඉන්දීය ප්‍රදේශයේ තිබී හමුවී ඇති කාසි රැසකින් එම රජ යුගය ක්‍රි.ව. 19 දී ආරම්භ වී ක්‍රි.ව. 45 දී නිම වු බව සනාථ වී ඇත. (රමසන්කර් ත්‍රිපති ඉහත සඳහන් ග්‍රන්ථය - 220 පිටුව) මීට අමතරව දැන් පාකිස්තානයේ ලාහෝර්හි කෞතුකාගාරයේ තබා ඇති "තක්ටි-ඉ-බාහි" ලේඛනය ඉතා වැදගත් වන්නේය. (ජේ.ජී.ඩේවිස් - ද අර්ලි ක්‍රිස්ටියන් චර්ච් - 125 පිටුව).

ලංකාවද මේ යුගයේදී අන්තර් ජාතික වෙළෙඳ පොළක් බවට පත් වී තිබුණී. මාන්තොට හෙවත් මන්නාරම දස සත් වසරක් තුළ විදේශික වෙළඳුන් ගනුදෙනු කළ ස්ථානයක් බවට ප්‍රසිද්ධ වී තිබු බව පිළිගනු ලැබේ. ලංකාව තුළ තිබී රෝමානු කාසි දෙලක්ෂයකට වැඩි ප්‍රමාණයක් හමුවී තිබේ. මීට දෙවසරකට පෙරද එවැනි කාසි ස්වල්පයක් බෝලවත්තේ මහාමාර්ගය අසල වැලැලී තිබි හමුවිය.
මෙවන් ප්‍රසිද්ධියක් දැරූ තමන් සිටි තදාසන්නයේ වු ලංකාවට තෝමස් අපෝස්තුළුවරයාණන් පැමිණියේ යැයි කීම පුදුමයට හේතුවක් නොවන්නේමය.

සටහන - ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ

Read more