කැටලෝනියාව හා බැදුන ශු. ජෝර්ජ් පුරාවෘත්තය

පුරාවෘත්තයට අනුව, බොහෝ කලකට පෙර, ලිබියාවේ සිලේන් නම් නගරයක්, එහි වැව් තෙර ජීවත් වූ භයංකර මකරෙකුගේ ග්‍රහණයට නතුව පැවතිණ. මේ මකරා නගරයට ජලය ලබා ගැනීම අවහිර කළ අතර, දිනපතා බිලි පූජාවක් ලෙස තරුණියක ඉල්ලා සිටියේය. නගරවාසීහු භීතියෙන් මුසපත් වූ අතර, දිනපතා දාදු දමා අවාසනාවන්ත තරුණිය තෝරා මකරාට බිලි දුන්හ. අවසානයේ දාදුව ඇදුනේ අන් කිසිවෙකුටවත් නොව, ඒ රටේ රජුගේ එකම දියණියටය. රජු ශෝකයෙන් වැළපුණ ද, තම දියණිය බිලි දීමට අකමැති වුව ද, නගරවාසීන්ගේ බලකිරීම හමුවේ ඔහුට එයට එකඟ වීමට සිදු විය.

රාජ කුමරිය, මරණය අභිමුව වෙව්ලමින් මකරා එනතුරු බලා සිටින මොහොතේ, අශ්වයෙකු පිට නැගී, දෙවිඳුන් කෙරෙහි වූ අචල විශ්වාසයෙන් සන්නද්ධ වූ අභීත නයිට්වරයෙකු ඒ දේශයට සැපත් විය. ඒ, කපඩෝසියාවේ සිට පැමිණි රෝමානු සොල්දාදුවෙකු වූ ජෝර්ජ් තුමාය. කුමරියගේ දුක්ඛිත කතාව අසා, ඇයගේ නිර්භීතකම සහ ඉරණමට මුහුණ දීමේ සූදානම දුටු ජෝර්ජ් තුමාගේ හදවත අනුකම්පාවෙන් පිරී ගියේය. ඔහු, තම ජීවිතය පරදුවට තබා, ඒ අසරණ කුමරිය සහ මුළු නගරයම මකරාගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට අධිෂ්ඨාන කර ගත්තේය.

මකරා ගොරවමින්, විෂ දුමින් වටපිටාව පුරවමින් ඉදිරියට එන විට, ශුද්ධ වූ ජෝර්ජ් තුමා කුරුසියේ ලකුණ සලකුණු කරමින්, නිර්භීතව මකරාට පහර දුන්නේය. දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් එල්ල කළ හෙල්ල පහරින් මකරා බිම හෙළීමට එතුමන් සමත් විය. එහෙත්, එතුමා මකරා එම ස්ථානයේ දීම මරා නොදැමීය. ඒ වෙනුවට, කුමරියගේ ඉණ පටියෙන් මකරාගේ ගෙල වටා බැඳ, යටහත් පහත් සුරතලෙකු මෙන් මකරා නගරය වෙත ඇදගෙන යන ලෙස ඇයට පැවසීය. මකරා කීකරු ලෙස කුමරිය පසුපස ගමන් කළේය.

මේ ආශ්චර්යමත් දර්ශනය දුටු රජු සහ නගරවාසීහු විස්මයෙන් සහ ප්‍රීතියෙන් ඉපිල ගියහ. ශුද්ධ වූ ජෝර්ජ් තුමා ඔවුන් අමතා, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ලෙසත්, බව්තීස්ම වන ලෙසත් ඉල්ලා සිටියේය. එසේ කළහොත්, තමා මකරා සම්පූර්ණයෙන් විනාශ කරන බවට පොරොන්දු විය. රජු සහ නගරවාසීන් දහස් ගණනින් ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් අතර, අනතුරුව ශුද්ධ වූ ජෝර්ජ් තුමා තම අසිපතින් මකරාගේ හිස ගසා දැමීය. පුරාවෘත්තයේ ඇතැම් ප්‍රභේදවලට අනුව, මකරාගේ ලෙයින් තෙත් වූ පොළවෙන් රතු රෝස පඳුරක් හටගත් අතර, ජෝර්ජ් තුමා ඉන් රෝස මලක් නෙළා රාජ කුමරියට තිළිණ කළේය.

කැටලෝනියාවේ ආරක්ෂක සාන්තුවරයා වීම

ශුද්ධ වූ ජෝර්ජ් තුමාගේ මෙම පුරාවෘත්තය කැටලෝනියාවේ ඉතිහාසය හා ගැඹුරින් බද්ධ වන්නේ මධ්‍යතන යුගයේදීය. විශේෂයෙන්ම, 'රීකොන්කීස්තා' (Reconquista) සමයේ, එනම් අයිබීරියානු අර්ධද්වීපය මුස්ලිම්වරුන්ගෙ නැවත අත්පත් කර ගැනීමේ සටන් අතරතුරදීය. 1237 දී සිදු වූ Puig සටන මෙහිදී තීරණාත්මක විය. අරගොන්හි පළමුවන ජේම්ස් රජු (James I of Aragon), වැලෙන්සියාව මුස්ලිම්වරුන්ගෙ මුදා ගැනීමේ සටනේ නිරතව සිටියදී, තීරණාත්මක මොහොතකදී ශුද්ධ වූ ජෝර්ජ් තුමා සුදු අශ්වයෙකු පිට නැගී, දිදුලන සන්නාහයෙන් සැරසී, ක්‍රිස්තියානි හමුදාවන්ට උපකාර කිරීම සඳහා ආශ්චර්යමත් ලෙස දර්ශනය වූ බවට ප්‍රබල ජනප්‍රවාදයක් කැටලෝනියානු හමුදා අතර පැතිර ගියේය. මෙම දිව්‍යමය මැදිහත්වීම ජයග්‍රහණයට හේතු වූ බවත්, එතැන් පටන් ශුද්ධ වූ ජෝර්ජ් තුමා කැටලෝනියාවේ ආරක්ෂක සාන්තුවරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ. එතුමන්ගේ රතු කුරුසය සහිත සුදු කොඩිය කැටලෝනියානු අනන්‍යතාවයේ වැදගත් සංකේතයක් බවට පත් විය.

ශා. ජෝර්ජ් ධජය

"Sant Jordi" - පොත් සහ රෝස මල් දිනය

අදටත්, ශුද්ධ වූ ජෝර්ජ් තුමාගේ මංගල්‍ය දිනය වන අප්‍රේල් 23 වැනිදා, කැටලෝනියාවේ "Sant Jordi" දිනය ලෙස අති උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි. මෙය හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව, එය කැටලෝනියානු සංස්කෘතියේ, ප්‍රේමයේ සහ සාහිත්‍යයේ අසිරිමත් සැමරුමකි. මෙම දිනය බොහෝ විට "කැටලෝනියානු වැලන්ටයින් දිනය" ලෙස ද හඳුන්වනු ලබන අතර, එය "පොත් සහ රෝස මල් දිනය" (El dia del llibre i la rosa) ලෙස ප්‍රචලිතය.

සම්ප්‍රදායට අනුව, මෙම දිනයේදී පිරිමින් තමන් ආදරය කරන කාන්තාවන්ට (පෙම්වතිය, බිරිඳ, මව, සහෝදරිය, මිතුරිය) රතු රෝස මලක් තිළිණ කරයි. මෙය, පුරාවෘත්තයේ ශුද්ධ වූ ජෝර්ජ් තුමා කුමරියට රෝස මලක් පිරිනැමීම සිහිපත් කරන්නකි. රෝස මල බොහෝ විට බැඳ ඇත්තේ කැටලෝනියානු ධජයේ වර්ණ සහිත පටියකිනි.

ඊට පිළිතුරු ලෙස, කාන්තාවන් පිරිමින්ට පොතක් තිළිණ කරයි. මෙම සම්ප්‍රදාය 20 වන සියවසේදී ආරම්භ වූවක් වන අතර, අප්‍රේල් 23 ලෝක පොත් දිනය ලෙස ද නම් කර තිබීම (විලියම් ශේක්ස්පියර් සහ මිගෙල් ද සර්වාන්ටෙස් යන ශ්‍රේෂ්ඨ ලේඛකයන් දෙදෙනාම අනුස්මරණය කරමින්) මෙයට අමතර අරුතක් එක් කරයි.

"Sant Jordi" දිනයේදී, බාර්සිලෝනා වැනි නගරවල වීදි, විශේෂයෙන්ම ප්‍රසිද්ධ Las Ramblas මාවත, පොත් සහ රෝස මල් අලෙවි කරන කුටිවලින් පිරී ඉතිරී යයි. දහස් ගණන් ජනයා පොත් මිලදී ගැනීමටත්, රෝස මල් හුවමාරු කර ගැනීමටත්, ප්‍රීතිමත් උත්සවශ්‍රීයෙන් යුත් වාතාවරණය භුක්ති විඳීමටත් වීදිවලට රැස් වෙති. පොත් ප්‍රදර්ශන, ලේඛකයන් විසින් පොත් අත්සන් කිරීම්, සංගීත සංදර්ශන සහ වෙනත් සංස්කෘතික ක්‍රියාකාරකම් ද මෙම දිනය වර්ණවත් කරයි. කැටලෝනියානු ධජය සහ ශාන්ත ජෝර්ජ් කුරුසය සෑම තැනකම පාහේ ප්‍රදර්ශනය කෙරෙන අතර, එය ජාතික අභිමානය සහ සංස්කෘතික එකමුතුකම විදහා දක්වන අවස්ථාවක් ද වේ.

Read more

පාප් තුමන් වෙනුවෙන් දිවි පිදූ අභීත ස්විස් සෙබලුන්

දහසයවන සියවසේ යුරෝපය යනු දැඩි දේශපාලනික සහ ආගමික කැලඹීම්වලින් ගහන වූ යුගයකි. එක් පසෙකින්, යුරෝපයේ බලවත්ම රාජ්‍යයන් දෙක වූ ශුද්ධවූ රෝම අධිරාජ්‍යය සහ