සමලිංගික ප්‍රජාවට හිරිහැර කළ තියෝඩෝසියස් අධිරාජ්‍යයාට ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමාගෙන් ලැබුණු දඬුවම

🌑 කවුද මේ තියෝඩෝසියස් අධිරාජ්‍යයා?

සමස්ථ රෝම අධිරාජ්‍යයම ( පෙර අපර දෙදිග ) පාලනය කළ අවසාන රෝම අධිරාජ්‍යයා වූයේ පළමුවන තියෝඩෝසියස් අධිරාජ්‍යයාය.තමාට වැළඳුණු රෝගාබාධයකින් පසුව තියෝඩෝසියස් බෞතීස්ම ස්නාපනය ලබා පශ්චාත් නිසියානු කතෝලික ආගම වැළඳ ගත්තේය. කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගෙන් පසුව කැපී පෙනුන ඉතාමත් දැඩි ක්‍රිස්තු භක්තික රෝම අධිරාජ්‍යයා වූයේ තියෝඩෝසියස්ය.ක්‍රි.ව.381 දී තියෝඩෝසියස් අධිරාජ්‍යයා විසින් කොන්ස්තන්තිනෝපලයේ කිතුනු මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට ශුද්ධෝත්තම පාප් වහන්සේගෙන් අවසර පතන ලදී.එම මන්ත්‍රණ සභාව යටතේ යාවත්කාලීන කර සම්මත කෙරුණු නිසියානු විශ්වාස ලක්ෂණය අදටත් අපි කතෝලික දිව්‍ය පූජාවේදී භාවිත කරයි.

🌑 තියෝඩෝසියස් අධිරාජ්‍යයාට ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමාව හම්බුනේ කොහොමද?

ක්‍රි.ව.391 දී තියෝඩෝසියස් අධිරාජ්‍යයා මිලාන්හි පදිංචියට ගිය අතර එහිදී ඔහුට මිලාන්හි රදගුරුතුමා වූ ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමාව හමුවිය.ඔවුන් සමකාලීනයන් සහ ඔවුන්ගේ තනතුරුවල කැපී පෙනෙන නායකයින් වූ අතර, එබැවින් ඔවුන් එකිනෙකා දැන හඳුනාගෙන මිතුරන් බවට පත්විය.

🌑 තියෝඩෝසියස් අධිරාජ්‍යයා සිදුකළ අපරාධය කුමක්ද?

ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමා නිසැකවම තියෝඩෝසියස් අධිරාජ්‍යයා දෙස අවධානයෙන් සිටි අතර, ඔහුව නිතරම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුකූලව තබා ගැනීමට උත්සාහ කළේය.එවැනි එක් කථාංගයක් වූයේ තියෝඩෝසියස්ගේ බව්තීස්මය සිදුවූ ස්ථානයේම සිදු වූ සිදුවීමකි ( ග්‍රීසියේ තෙසලෝනික ප්‍රදේශයේ ).ඉතිහාසයේ මෙම කාල පරිච්ජේදය තුළ, අශ්වාරෝහකයින් හා සම්බන්ධ ක්‍රීඩා එකල ප්‍රධාන ක්‍රීඩාව විය.ක්‍රි.ව.390 අප්‍රේල් මාසයේදී පමණ, ජනප්‍රිය අශ්වාරෝහකයෙකුව සමලිංගිකයෙකු බවට චෝදනා කරමින් බෝතොරික් නම් රෝමානු අණ දෙන නිලධාරියෙකු විසින් සිරගත කරන ලදී.කතාවට අනුව මෙම අශ්වාරෝහකයා හා බොතෝරික්ගේ පිරිමි වහලෙකු සමඟ ආදර සබඳතාවක් තිබීම ඇත.පුරාතන ග්‍රීසියේ තෙසලෝනික ප්‍රදේශයේ සමලිංගික සබඳතා ඔවුන්ගේ සංස්කෘතියේම අංගයක් වී තිබුණි.ග්‍රීසිය තවමත් ක්‍රිස්තියානි චින්තනයට අනුවර්තනය වීමට පොරබදමින් සිටි මෙම යුගයේදී මෝසස්ගේ නීතිය යොදා ගනිමින් අධිරාජ්‍යයේ සමලිංගිකත්වය නීති විරෝධී කිරීමට තියෝඩෝසියස් අධිරාජ්‍යයාට කිසිදු බාධාවක් ඇති නොවීය.කිසිදු සමලිංගිකයෙකුට මෘදු බවක් නොදක්වන බව පවසමින් ඔහු සමලිංගිකයන්ව ප්‍රසිද්ධියේ ගින්නෙන් පුලුස්සා මරා දැමීමට නියෝග කළේය.මේ අතරතුර තෙසලෝනික ප්‍රදේශයේ ජනයා බෝතොරික්ට පහරදී සමලිංගික අශ්වාරෝහකයාව නිදහස් කර ගත්තේය.මෙයින් අධික කෝපයට පත් තියඩෝසියස් අධිරාජ්‍යයා හමුදා භට කණ්ඩායමක් යවා තෙසලෝනික ප්‍රදේශයේ සිවිල් වැසියන් 7000 ක් පමණ සමූල ඝාතනය කරන ලදී.රෝමානු හමුදාව ඉතා කාර්යක්ෂම සහ ම්ලේච්ඡ වූ අතර, ඔවුන් නියෝගය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර හරියටම පැය තුනකින් නියෝගය සම්පූර්ණ කරන ලදී.

🌑 ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමා විසින් තියෝඩෝසියස් අධිරාජ්‍යයාට දුන් දඬුවම කුමක්ද?

ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමා අධිරාජ්‍යයේ අන් සියල්ලක් ගැන මෙන්ම මෙම ම්ලේච්ඡ ජන සංහාරය ගැනද දැනගත් අතර තියෝඩෝසියස් අධිරාජ්‍යයාට ලිපියක් ලිවීය.එහිදී ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමා තියෝඩෝසියස් අධිරාජ්‍යයාගේ ක්‍රියාවන් ක්‍රිස්තියානි ධර්මයට නොගැලපෙන බව ඔහුට දන්වා, ප්‍රසිද්ධියේ පසුතැවිලි විය යුතු බව ප්‍රකාශ කළ අතර, එතෙක් දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීමේ අයිතිය ඔහුට තහනම් කළේය.එලෙසම ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමා විසින් තියෝඩෝසියස් අධිරාජ්‍යයාව කතෝලික සභාවෙන් නෙරපා දමන ලදී.

එම ලිපියේ ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමාගේ තියෝඩෝසියස් අධිරාජ්‍යයාට කළ මෙම ආමන්ත්‍රණය වඩාත් සිත්ගන්නා සුළුය;

"පූජකයෙකු පව්කාරයෙකු සමඟ කතා නොකරන විට, පව්කාරයා ඔහුගේ පාපයෙන් මිය යනු ඇත, පූජකයා ඔහුව නිවැරදි කිරීමට අපොහොසත් වූ නිසා පූජකයාද වැරදිකරු වනු ඇත".

දිව්‍ය සත්ප්‍රසාදය වහන්සේව ලබා නොගෙන ජිවත් වීම තවදුරටත් දරාගත නොහැකිවූ තියෝඩෝසියස් අධිරාජ්‍යයා තම රාජකීය වස්ත්‍ර ගළවා දමා ගෝනි රෙදි ඇඳගෙන ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමා වෙතට ගොස් බිම වැටී හඬමින් සමාව අයැද සිටියේය.ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමා අවසානයේ නත්තල් දිනයේදී තියෝඩෝසියස් අධිරාජ්‍යයාට ශුද්ධ දිව්‍ය පූජාවට සහභාගි වීමට අවස්ථාව ලබාදී කමාව දානය කළේය.

🌑 මෙයින් අපට ලබාදෙන පණිවිඩ කුමක්ද?

කතෝලික සභාව සමලිංගික සේවනය හා සමලිංගික විවාහයන් ප්‍රතික්ෂේප කළත් සමලිංගිකයන්ව ප්‍රතික්ෂේප නොකරයි.යමෙකු ලිංගික දිශානතිය මත පදනම්ව තවත් අයෙකුව තලා පෙළා දැමීම බරපතල පාපයකි.සාමාන්‍යය පුද්ගලයන්ට වඩා විශාල කුරුසියක් දෙවියන් වහන්සේ තුළ ජීවත් වන සමලිංගික ප්‍රජාව ඔසවති.ඔහුන් අපට වඩා බොහෝ දේ ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් කැප කරති.අප ඔහුන්ව තළා පෙළන විට ඔහුන් තවත් සභාවෙන් ඈතට ගොස් විනාශ වෙයි.ජේසුස් වහන්සේ සෑම විටම ගත්තේ පීඩිතයාගේ පැත්ත මිස පීඩකයාගේ පැත්ත නොවේ.උන්වහන්සේ පාපය ප්‍රතික්ෂේප කළද පව්කරුවාව වැළඳ ගත්තේය.අපිද සමලිංගික විවාහ හා සමලිංගික සේවනය (ලිංගික හැසිරීම්) ප්‍රතික්ෂේප කළද සමලිංගිකයාව ප්‍රතික්ෂේප නොකළ යුතුය.

උපුටාගැනීම Ceylon Catholic answers පිටුවෙන්

Read more