ශුද්ධ වූ ජපමාලයේ ඉතිහාසය

ශුද්ධ වූ ජපමාලයේ ඉතිහාසය
Photo by Thérèse Westby / Unsplash

මෙම ලිපිය ලිවීමේ අරමුණ නම් කතෝලික සහෝදරයන්ට සහ කතෝලික නොවන සහෝදරයන්ටද ජපමාලය පිළිබඳව ඇති වැරදි වැටහීම් දුරු කිරීමටය.

බොහොමයක්‌ කතෝලික නොවන සහෝදරයන් ජපමාලය යන්න වචනාර්ථයෙන්  වැරදිව අර්ථකථනය  කරන අතර  මෙම යැදුම් සම්ප්‍රදාය මිත්‍යා ඇදහිලි තුළින් බිහිවූවක් යැයි සිතයි. බොහෝවිට ජපමාලයේ භෞතික ස්වරූපය දකින විට එලෙස සිතුනද මෙවන් ආකාරයේ ඵලදනාවක් වැනි දෑ යාම යැදුම් ක්‍රමවේදය පහසු කරලීම සඳහා පළවෙනි සියවසේ සිට හා ආරණ්‍යවාසි ඊජිප්තුවේ අන්තෝනි තුමාගේ කාලයේ සිට ම භාවිතා කර ඇත. එකල තාපසයන් ගීතාවලියේ යැදුම් 150 ක්‌ ලතින් භාෂාවෙන් උච්චාරණය කර ඇත. මෙහි යැඳුම් ගණන මතක තබා ගැනීමේ පහසුව සඳහා මොවුන් "pater noster cord" වශයෙන් ජපමාලිය ස්වරූපයක් ඇති පලඳනා ආකාර වස්තුන් භාවිතා කර ඇත( මේ සඳහා ගල් ද භාවිතා කර ඇත ). නමුත් ගීතාවලියේ ඇති යාඥාවේ දිගුව සහ ලතින් භාෂාව කරුණු කොට ගෙන තාපසයන්ටද මෙම යැදුම භාවිතය තරමක් අපහසු විය. එහෙයින් ඔවුන් පසුකාලීනව දෙවිදානන්ගේ යැඳුම(Lord's prayer)150 වතාවක් උච්චාරණය කරන්නට පටන් ගත්හ. එහෙයින් ඈත අතීතයේ සිටම ජපමාලයේ ස්වරූපැති උපකරණ භාවිත කර හෙයින් මෙය මිථ්‍යා ඇදහිලි මත පදනම් වූවක් බව කීම පදනම් විරහිතය.

එමෙන්ම මෙහි ඇති කොන්ත පන්තිය තුළ ඇති ඇට සංඛ්‍යාව 59 ය. මෙම ජපමාලය තුළ ඇති කොන්ත පන්තින් හැදින්වීමට භාවිතා කරන ඉංග්‍රීසි වචනය නම් "beads"ය.මෙම වචනය බිදී එන්නේ " bede" යන වචනයෙනි මෙහි අර්ථය නම් "යාච්ඤාව" යන්නයි. එනිසා මෙය මන්ත්‍ර ජප කිරීමක් හා සමාන කළ නොහැක. ජපමාලය යනු යාඥා සංකලනයකි.

දොමිනිකානු සම්ප්‍රදාය පරිදි ජපමාලය වශයෙන් යැදුම් සම්ප්‍රදාය බිහිවීමට මුල්වී ඇත්තේ මරිය මාතාවන් දොමිනික් ගුස්මාන් තුමන්ට දර්ශනය වීමත් සමගය. මෙතුමා ඉතා සාර්ථක දේශකයකු වන අතර ප්‍රංශයේ  දකුණු දිශාභාගයෙහි පැතිරෙමින් තිබූ  ඇල්බිජෙන්සියන්වාදයට(albigensianism) විරුද්ධව හඩනැගූ පියතුමෙකි. මෙම ඉගැන්වීම අවධාරණය කරනුයේ සියලු ආත්මයන් යහපත් බවත්, සියලු වස්තූන් හා පදාර්ථයන් අයහපත් බවය. එම නිසා සිය දිවි නසා ගැනීමද මෙම ප්‍රදේශයන්හි සාමාන්‍ය විය.මෙතුමන් නිවැරදි ඉගැන්වීම් ප්‍රචාරය කිරීමට ප්‍රයත්නයන් දැරුවද ඒවා අසාර්ථක වූ හෙයින් ස්වර්ගයේ මැදහත්කම පතා  මෙතුමන් කදුමුදුනක් අසලට ගොස් නිරාහාරශීලය රකිමින් දින තුනක් ගතකළ අතර මෙසේ සිදු කිරීමේදී එතුමන් ක්‌ලාන්ත වූ බවද  ඒ මොහොතෙදී මරියමාතාවන් දර්ශනය වූ බවද පවසයි. මෙය සිදුවුයේ 1208 දී බව සැලකේ. මරියමාතාවන් හා දොමිනික්‌ ගුස්මාන් තුමන් අතර මේ ආකාරයේ සංවාදයක් සිදුවිය.

මරිය තුමිය :- දයාබර වූ දොමිනික්,මෙම ලෝකය ( පෘථිවිය )ප්‍රතිසංස්කරණය සඳහා ශුද්ධ වූ ත්‍රිත්වය භාවිතා කරනුයේ කිනම් ආයුධයක්ද යන්න ඔබ දන්නෙහිද?

දොමිනික් තුමා :- ඔබතුමී ක්‍රිස්තුස් වහන්සේට පසෙකින් සිටින බැවින් හා ඔබතුමී අපගේ ගැලවීමේ ප්‍රධාන මෙවලම බැවින්; ඔබතුමී එය මට වඩා හොඳින් දනී...

මරිය තුමිය :- මා හට ඔබට දැන ගැන්වීමට අවශ්‍ය නම් මෙවන් ආකාරයේ යුද්ධයක් ජය ගැනීම සඳහා අවැසි දෙය නම් නව ගිවිසුමේ මුල්ගල බදු වන දේවදූත ගීතාවලියයි. (දේවදූත ආචාරය අර්ථවත් කරයි -Angelic Psalter) ඔබට දැඩි වූ ආත්මයන් දෙවිඳුන් වෙත දිනා දීමට අවැසිනම් මාගේ ගීතාවලිය ( ආචාරය )දේශනා කරන්න.

මෙම සංවාදය හරහා ගම්‍ය වනුයේ ජපමාලය යනු හුදෙක් නමෝ මරිය හා ස්වර්ගයේ වැඩ සිටින වචන තුළින් පමණක් " ජප කිරීමක් " නොව ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය මෙනෙහි කිරීම හා නව ගිවිසුම යැදුමක් කොට දෙවිඳුන් හට පුද කිරීමකි.

සම්ප්‍රදාය පවසන පරිදි මරිය තුමිය මෙම යැදුම කරන ක්‍රමවේදය පිළිබඳව එතුමන්ට කියා දුන් අතර මීට මූලික වූ අභිරහස්ද මෙතුමන් හට දේශනා කිරීමට කියා දුන් බව සඳහන්ය.මෙය මුලාරම්භයේදී හදුන්වා ඇත්තේ
"කන්‍යා මරියාවන්ගේ ගීතාවලිය "යනුවෙනි.

පසුකාලිනව 12 වන ශතවර්ෂයේ දී "ජපමාලය"ලෙස මෙම යාච්ඤාව ආරම්භ වූයේ කන්‍ය මරිය තුමියට රෝස මල් ඔටුන්නක් කැප කිරීමේ සම්ප්‍රදායක්‌ ආරම්භ කළ සිස්ටර්ශියන්වරුන්ගෙන් බව පැවසේ.ඔවුන් විසින් මෙලෙස ජපමාලය ලෙස හැඳින්වූ යාච්ඤාව, අපගේ ආර්යාව වෙත පුද කරනා අභිරහස්මය රෝස ඔටුන්නකට සමාන කර ඇත.

කෙසේ වෙතත් ජපමාලය යන වචනය බිඳී එන්නේ " රොසාරියුම්" යන ලතින් වචනයෙනි. එහි අර්ථය නම්  " රෝස මල් උයන" හෝ " රෝස මල් දම" යන්නයි.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්