පියතුමන්ලා පාපොච්චාරණය රහස් රකිනවද❓

පියතුමන්ලා පාපොච්චාරණය රහස් රකිනවද❓
Photo by Josh Applegate / Unsplash

1960 ගණන්වල ඉන්දියාවේ බෙනඩික් ඕනම්කුලම් කියලා පියතුමෙන් ජීවත් වෙනවා. මෙතුමා ජීවත් වෙන කාලේ ඉන්දියාවේ කතෝලික බලකොටුවක් වෙච්ච කේරළ ප්‍රාන්තයේ අවධානයට ලක්වෙච්ච සිදුවීමක් වෙනවා. ඒ තමයි වයස අවුරුදු 43 වෙච්ච මරියකුට්ටි කියන දරුවන් පස් දෙනෙකුගේ අම්මා කෙනෙක් සහ වැන්දඹු කාන්තාවක් වෙච්ච ඇගේ මිනිය තේ වතු භූමියක තිබිලා හම්බෙනවා.

මරණ පරීක්ෂණයේදී තහවුරු වෙනවා මේ කාන්තාව දූෂණයට වගේම පිහි ඇනුමට ලක්වෙලා තියෙන බවට වගේම මිය යන විට ගැබ් අරගෙන ඉඳිය බවත්.

ඉතින් මේ නඩුවේ ප්‍රධාන සැකකරු වෙන්නේ වයස අවුරුදු 37 වෙන බෙනඩික් ඕනම්කුලම් කියන තරුණ පියතුමා. මොකද සාක්ෂි සහ කට උත්තර වගේ හැම සාධකයක්ම තිබුණේ මේ පියතුමාට විරුද්ධව යි.

සමහර කටඋත්තර වලදී මිනිස්සු කියල තියෙනවා ලෝගුවක් ඇඳගත්තු පියතුමෙක් එක්ක මේ කාන්තාව ගමන් කරනවා දැක්ක කියලා. අනික මේ මරියකුට්ටි කියන කාන්තාවත් නිතරම මේ පියතුමාව හම්බෙන්න ඇවිල්ලා තියෙනවා කියලත් . මේ කාන්තාවක් බෙනඩික් පියතුමාව නිතරම හම්බෙන්න හේතුව තමයි පාපොච්චාරණය වගේ සක්‍රමේන්තු සහ අධ්‍යාත්මික මගපෙන්වීම ලබාගන්න, මූල්‍යමය උපකාර ලබාගන්න වගේම මේ පියතුමා දුප්පතුන්ට තිරිඟු පිටි සහ කිරිපිටි ලබාදෙන නිසා ඒ වගේ සහනාධාරත් ලබාගන්න බලාපොරොත්තුවෙන්.

අනික මේ කාන්තාව පෙරදීත් විවාහ තුනක් කරගෙන ඉදිය නිසා පියතුමත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වන එක අරුමයක් නෙමෙයි කියල තමයි මිනිස්සු හැමෝම වගේ කතා වුණේ. ඉතින් මිනිස්සු කිව්වේ මේ පියතුමාට ඒ කාන්තාවත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවත් ඒ නිසා මරියාකුට්ටිට දරුවෙක් ලැබෙන්න ඉදිය නිසා සම්බන්දය අවසන් කිරීමේ චේතනාවෙන් මේ කාන්තාව ඝාතනය කලා කියලයි.

ඉතින් මේ වගේ සාක්ෂි මත පදනම්ව බෙනඩික් ඕනම්කුලම් පියතුමාව සිරභාරයට ගන්නවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දඬුවමටත් ලක්‌ කරනවා. එතකොට මේ පියතුමා ඉන්දියා ඉතිහාසය තුළ මරණ දඬුවමට ලක්වෙච්ච පළවෙනි පියතුමා විදිහට ඉතිහාසගත වෙනවා.

මේ පියතුමා සිරගතව ඉදිද්දී තමන්ගේ අම්මට ලියුම් ලියල තියෙනවා. ඒ ලියුම් වල කියලා තියෙන්නේ පියතුමා ඒ කාන්තාව ඝාතනය කල බවට විශ්වාස කරන්න එපා කියලා සහ මේ ලෝකේ තමන් සම්බන්දතාවයක් තිබ්බ ඒකම කාන්තාව ඔබ (පියතුමාගේ මව )බවත්ය.
ඒත් මේ නඩුවේ ගොඩක් ගැටළු තිබ්බා.ඒ තමයි,

• විත්තිකරුට මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට ප්‍රමාණවත් චේතනාවක් තිබූ බව පැමිණිල්ල විසින් තහවුරු කර තිබේද?
• අනන්‍යතාවය පිළිබඳ පැමිණිල්ලේ සාක්ෂි විශ්වාසදායකද?
• විත්තිකරුට චෝදනා එල්ල වන වස්තු සන්තකයේ තිබූ බවට පැමිණිල්ල සතුටුදායක ලෙස තහවුරු කර තිබේද?
• නඩුවේ විත්තිකරුගේ න්‍යාය පැමිණිල්ලේ න්‍යායට වඩා වැඩි සම්භාවිතාවක් තිබේද? වගේ ගැටළු.

ඉතින් අවසාන විශ්ලේෂණය වුණේ විත්තිකරු විදිහට මේ පියතුමාව තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත් කියන නිගමනයයි.ඒ නිසා කේරළ මහාධිකරණය 1967 දී සාක්ෂි නොමැතිකම නිසා ඔහුව නිදහස් කලා.

විමර්ශකයින් සැකකරුවන් හොයා ගන්න අපොහොසත් වේච්ච නිසා පල්ලියේ "මුදල් බලය" නිසා පූජකවරයා දඬුවම්වලින් බේරීලා ගියා කියලා තමයි හැමෝම වගේ විශ්වාස කලේ.

මේ නිසා පියතුමාට තිබිච්ච කළු පැල්ලම ඒ විදිහටම තිබුනා. ඒක නිසා අගරදගුරු පදවිය ඔනම්කුලම් පියතුමාට දුර බැහැර දූත මෙහෙවර සඳහා වැඩ පැවරුවලු. පස්සේ පියතුමා 70 ගණන්වලදී විශ්‍රාම ගන්නවා.

පසුකාලීනව පියතුමා මියයන්න ආසන්න කාලයෙදී (ජනවාරි 14 වැනිදා) 93 හැවිරිදි කාන්තාවක්, ඇගේ පුතුන් සහ මුණුබුරන් එක්ක පියතුමාව මුණගැහෙන්න එනවා. පස්සේ මේ කාන්තාව තමා අවට ඉන්න පිරිස සිටියදීම පියතුමා ළඟ හඩා වැටිලා මේ වගේ ප්‍රකාශයක්‌ කරනවා. "ගබ්සාවකදී එවකට 43 හැවිරිදි මරියකුට්ටි මියගිය බව පිළිගන්න අතර එය සිදු කර ඇත්තේ මහලු කාන්තාවගේ වෛද්‍යවරයෙක්ව සිටි ස්වාමිපුරුෂයා බව සහ එසේ කලේ මරියකුට්ටිව ගර්භනීභාවයට පත් කල වතු හිමියෙකුගේ බලකිරීම මතය." කියලා.

මෙම කාන්තාව ඝාතනය කරා කියලා පෙන්නන්න කිනිස්සකින් ඇන කාන්තාවගේ සිරුර පාර අයිනේ වළකට දැමූ බව පිළිගත් ඔවුන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී පූජකවරයා කොටු කර ගැනීමට බලපෑම් කලයි කියලත් පිලිගන්නවා.

මේ වෙනකොට මේ ඝාතනය කළ ඇගේ ස්වාමිපුරුෂයා සහ වතු හිමියා මිය ගිහින්. ඔනම්කුලම් පියතුමා තමාව කොටු කළ අයට බොහෝ කලක සිට සමාව දුන් බවත්, පවුලේ පැමිණීම මාස 10 කට ආසන්න කාලයක් රහසක් ලෙස තබා ගත් බවත්, නමුත් වෛද්‍යවරයාගේ බිරිඳ ඔක්තෝබර් 21 මිය ගිය පසු එය පොදු යහපත සඳහා පමණක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරාලු.( පියතුමා මේ සිද්ධිය ප්‍රසිද්ධියේ කියන්න කලිනුත් මේ කතාව ප්‍රසිද්ධ වුණා. මොකද පියතුමාට මේ සිද්ධිය ඒ පවුලේ පිරිස පාපෝච්චාරණය කලේ හැමෝම ඉස්සරහ)

🔴 නවදිල්ලියේ හෙද උපදේශකවරියක වන රොසම්මා ජෝස්, සිරෙන් නිදහස් වූ විගස ඔනම්කුලම් පියතුමා තම නිවස අසල පල්ලියට(මීසමට)ගිය සිද්ධිය සිහිපත් කරන ගමන් පියතුමා පොලිස් අත්අඩංගුවේ සිටියදී නියපොතු ගලවා තිබූ බවද පවසා තියෙනවා.

පාපොච්චාරණ රහසක් හෙළි කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට අනෙක ලෙස වධ හිංසා කළ බව ඔනම්කුලම් පියතුමා පැවසූ බව ඇයට සිහිපත් විය. ඉතින් පියතුමා නිර්දෝෂී බවට හේලිවෙන්නේ අවුරුදු 37 කට පස්සේ.

පියතුමා ළඟට ඇවිල්ලා මේ ඇත්ත සිද්ධිය ඒ පවුල හෙළි කරන්න ප්‍රධාන හේතුව වුණේ;කාලයත් එක්ක ඔවුන්ගේ ධනය අහිමි වී , විවිධ රෝගවලට ගොදුරු වූ පසු සහ දරුවන් ලෙඩ රෝග වලින් පේලිම නිසා අධ්‍යාත්මික උපකාර බලාපොරොත්තුවෙන් retreat මධ්‍යස්ථානයකට ගිය විටදී එහි සිටි පියතුමන් ඔවුන් වෙනුවෙන් යාඥා කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම පවුලේ අසාමාන්‍ය දුකවිදීමට හේතුව පූජකයෙක් හා සම්බන්ද කාරණාවක් කියාය.

නමුත් පියතුමා මේ මහළු කාන්තාව මේ සිද්ධිය ගැන කියන්න කලින් ඉඳලම ඇත්ත කතාව දැනං ඉඳලා තියෙනවා. ඒත් පියතුමා කොච්චර වද හිංසාවලට ලක්වුනත්. මරියකුට්ටි ඒක පාපොච්චාරණ රහසක් විදිහට කියපු නිසා පියතුමා කොයිම මොහොතකවත් ඒ කරුණ එළියට දාලා නෑ.

දින කිහිපයකට පසු, 2001 ජනවාරි 3 වන දින, බෙනඩික්ට් ඔනම්කුලම් පියතුමා ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා කැඳවනු ලැබුවා. පියතුමා බොහෝ දුක් විඳ ඇති අතර ඒ කාලේ එතුමගේ නම පල්ලියට සහ සියලුම පූජකයන්ට ශාපයක් හා සමානව තිබුනේ . එත් බෙනඩික් පියතුමා ඔහුගේ ශාන්ත ජීවිතය නිසා කිසිවකුට මැසිවිලි නැඟීමකින් තොරව ශාන්ත ජීවිතයක් ගත කලා.

ජනවාරි 4 වන දින, බෙනඩික් ඔනම්කුලම් පියතුමාගේ දේහය කේරළයේ කොට්ටායම් අසල අතිරම්පුසාහි ශාන්ත මරියා ෆෝරාන් දේවස්ථානයේ පිහිටි සුසාන භූමියේ තැන්පත් කරන ලදී.අගරදගුරු හිමිවරුන්, රදගුරුවරුන්, පූජකවරුන්, කන්‍යා සොහොයුරියන් සහ බැතිමතුන් ඇතුළු අතිවිශාල ජනතාවක් මෙම උත්සවයට සහභාගී වුණා.ඔවුන්ට අනුව, එය සාන්තුවරයෙකුගේ මරණ උත්සවයක් හා සමානයි.

මේ වන විට සොහොන ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ට යාඥා කිරීමට පහසුකම් සපයා දීලා තියෙනවා.එය ඇදහිලිවන්තයන් ආකර්ෂණය දිනාගත්තු තැනක් . සෑම දිනකම සිය ගණනක් මිනිස්සු ඇවිල්ලා යාච්ඥා කරනවා. ප්‍රාතිහාර්ය සිදුවීමුත් වාර්තා වන බවට මීසම් පාලක පියතුමා විසින් දන්වලාත් තියෙනවා.


නුදුරු අනාගතයේ දී මෙම මහා පූජකයා සාන්තුවරයා ලෙස ප්‍රකාශයට පත් කරනු ඇතැයි කතෝලික අපි අපේක්ෂා කරමු!

මේ පියතුමාට තිබ්බ තමාගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න ඇත්ත කියලා දාන්න. මේ ප්‍රශ්නය නිසා මේ පියතුමාට තමන්ගේ පූජකවර සේවය හරියට කරගන්නත් බැරි වෙනවා. එත් පාපෝච්චාරණ රහස රකින්න මේ පියතුමා තමන්ගේ ජිවිතේ හොදම කාලේ සිර අඩස්සියකත් ගත කරනවා. ඉතින් ඒක නිසා අපි කවමදාකවත් පාපොච්චාරණය කරන්න පියතුමෙකු ළඟට යන්න බයවෙන්න හෝ පැකිලෙන්න කිසිම හේතුවක් නැහැ. අනිත් පියතුමන්ලාත් බෙනඩික් පියතුමා වගේම තමයි. පාපොච්චාරණේදී මිනීමැරුවා කිව්වත් ඒ රහස එළියට දාන්නේ නැහැ වගේම අපිව විනිශ්චය කරන්නෙත් නෑ.ඒ වගේම පාපෝච්චාරනේදී අපේ විවෘත වෙන අදුරු පැතිකඩ කවමදාකවත් පියතුමෙකු හරහා නම් එළියට යන්නේ නෑ.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්

Read more