ශුද්ධවූ බාර්බරා මුනිවරිය

ශුද්ධවූ බාර්බරා මුනිතුමිය ක්‍රි.ව. තෙවනි සියවසේ මැදභාගයේ එනම් ක්‍රි.ව.273දී පමණ නිකොමඩියාවේ උපන් ග්‍රීක කන්‍යා ප්‍රාණපරිත්‍යාගි සුදුවරියකි. මෙතුමියගේ පියා ඩියොස්කොරස් නම් මිත්‍යාදෘශ්ටිකයෙකි.

ජනප්‍රවාදයට අනුව සුරූපී බාර්බරාවන් බාහිර ලෝකයෙන් සගවා ආරක්ශාකිරීමට ඇගේ පියා ඇයව උස් කුළුණක සිර කරන ලදී. රහසින් කිතුදහම වැළඳගත් ඈ කුළුන මත පවා යාච්ඥා කරමින් දැහැමිව ජීවත්වූ අතර, ඇගේ පියා ඇය කිතු දහම වැළඳගත් බව දැනගෙන ඇයට කිතුදහම අතහැරීමට බලකලද, ඇය සත්‍යාගම අත්හැරීම ප්‍රතික්ශේප කල බැවින් දැඩිලෙස කෝපවී ඇයව පලාත් ආණ්ඩුකරුවෙත ඇදගෙන ගොස් ඇත.

එහිදී බාර්බරාවන්ට දැඩිලෙස වදවේදනා පමුණුවා ඇත. ඇයව කොතරම් තුවාල කලද පසුදින උදෑසනවනවිට ඇගේ තුවාල සියල්ල ප්‍රාතිහාර්යාත්මක ලෙස සුව විය.. දැඩි ලෙස කෝපාවිෂ්ටවූ ආණ්ඩුකරු ඇයව හිසගසා මරාදැමීමට අණ කල අතර, සුරූපී බාර්බරා කන්‍යාව ඇගේ පියාගේ අතින්ම මරණයට පත්වූයේ කන්‍යාවක් ලෙස තමන්ගේ නිර්මල ආත්මයම ජේසුසමිඳුන්ට පුදකරමින්‍ ය. මෙසේ බාර්බරාවන් ප්‍රාණපරිත්‍යාගි කිරීටය දිනාගනුලැබුවේ ක්‍රි.ව.306 දෙසැම්බර් 04වන දිනය.

මුඛපරම්පරාගත කතාවන්ට අනුව ඇයව මරාදමා නිවසට යන ඇගේ පියාවූ ඩියොස්කොරස්ට අකුණුසැර වැදී, පිලිස්සී මියගිය බව කියවේ.. තවත් කතාවකට අනුව ඈ කුළුණ මතදී ඩියොස්කොරස් හට වැදුණු අකුණුසැරයකින් ඔහුව මුදාගත් බව කියවේ..

ශුද්ධවූ බාර්බරා කන්‍යාව අකුණු අනතුරුවලින් ආරක්ශා කිරීමේ, ගිණි නිවන භටයන්ගේ, කාලතුවක්කුකරුවන්ගේ, ගිණිකෙළි සාදන්නන්ගේ, ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ, පතල් කම්කරුවන්ගේ, උමං මාර්ග ඉදිකරන්නන්ගේ, සිරකරුවන්ගේ නාමසාන්තුවරිය ලෙස ගෞරවාදරයට පත්ව ඇත. කතෝලික ප්‍රතිමා ශිල්පක්‍රමයට අනුව ඇයව නිරූපණය කිරීමේදී කුළුණ, දම්වැල්, අකුණ, පාත්‍රය, තල් අත්ත, ප්‍රාණපරිත්‍යාගි ඔටුන්න වැනි දෑ යොදා ගනී.

ශුද්ධවූ බාර්බරා කන්‍යාව ශුද්ධවූ කතෝලික සභාවේ, පෙරදිග ඕතඩොක්ස් සභාවන්හි, ඇන්ග්ලිකානු සභාවේ සාන්තුවරියක් ලෙස පිලිගනු ලබයි.

වර්ෂ 1969දී ශුද්ධවූ සවෙනි පාවුලු ශුද්ධෝත්තම පියාණන් විසින් රෝම මංගල්‍ය ලිත හෙවත් කැලැන්ඩරය සංශෝධනය කල අතර, ඓතිහාසික සාක්ශි නොමැති බැවින් බාර්බරාවන්ගේ නාමය මංගල්‍ය ලිතෙන් ඉවත්කරම ලදී.. එලෙස ශුද්ධවූ ක්‍රිස්ටෝපර්, ශුද්ධවූ ඇලෙක්සැන්ද්‍රියාවේ කැතරිනා ඇතුලු ඓතිහාසික සාක්ෂි වැඩිවශයෙන් සොයාගැනීමට නොහැකිවූ සාන්තුවර නාම රැසක් ඉවත් කරන ලදී.. මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ බාර්බරාවන් ඇතුලු එම ශුද්ධවර චරිතයන් සාන්තුවර බවින් ඉවත්වී නොමැති බවත්, ඔවුන්ගේ නාමයන් සාම්ප්‍රදායික රෝම මංගල්‍ය දිනදසුනෙන් ඉවත්වීම පමණක් සිදූබවත්‍ ය. අද පවත්වන දිව්‍යපූජා යාගයන්හි මෙතුමියගේ නාමය සිහිනොකලද, ඇගේ මංගල්‍ය පෞද්ගලිකව හා ඇයට කැපකල දේවස්තානයන්හි සැමරීමට අවසර ඇත..

අතීතයේ පටන් ගිගුරුම් අවස්ථාවන්හිදි, අපේ මුතුන්මිත්තන් ශුද්ධවූ බාර්බරා කන්‍යාවට යාච්ඥා කල අතර ඇයට කැපකළ අලංකෘත දේවස්තානයක් මීගමුවේ තලාහේන ග්‍රාමයේ ස්ථාපිතව ඇත..

ශුද්ධ වූ බාර්බරා කන්‍යාවෙනි, අප නිසා යාච්ඤා කළ මැනව.🙏✝️
සටහන - සන්දුක කාශ්මිර

Read more

ශු. හොසේමරියා තුමන්ගෙන් තම චරිතය වර්ධනයට ඔවදන්

ශු. හොසේමරියා එස්ක්‍රිවා තුමන් විසින් රචිත "The Way" ග්‍රන්ථයේ Character යන පරිච්ඡේදයේ සිංහල පරිවතනයකි පෙරවදන මෙම උපදෙස් සෙමෙන් කියවන්න. මොහොතක් නැවතී

2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ ලේඛනයේ සිංහල පරිවර්තනය

2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ ලේඛනයේ සිංහල පරිවර්තනය

මෙය 2025 ජුබිලි වසර වෙනුවෙන් පාප් තුමන් නිකුත් කළ Spes Non Confundit(බලාපොරොත්තුව අපව අත්නොහරියි) යන ලේඛනයේ සිංහල පරිවර්තනයක් වන අතර නිළ නොවන පරිවර්තනයක්