යාච්ඤාවට අත්වැලක්

යාච්ඤාවට අත්වැලක්
Photo by Priscilla Du Preez 🇨🇦 / Unsplash

යාච්ඤාව යනු අනෙකුත් භක්තිය අභ්‍යාසයන්ගෙන් ඔබ්බට යන්නාවූ ක්‍රියාකාරකමකි. එය දෙවියන් වහන්සේට දක්වන ආදරණීය ප්‍රතිචාරයකි. අප අපගේ විනෝදස්වාදය සඳහා හෝ වැය කළ හැකි කාලය උන්වහන්සේ උදෙසා කැප කිරීම උන්වහන්සේට ඉතා ප්‍රසන්නය. යාච්ඤාව හරහා විදහා පානුයේ ඔබට දෙවියන් වහන්සේගේ වැඩසිටීම, අවදානය හා ප්‍රේමය තවමත් අවැසි බව හා ඔබ ඒ මත යැපෙනා බවයි.

යාච්ඥාව සඳහා අවැසි ගුණාංගයන් මොනවාද❓

කතෝලික සභා ධර්මෝපදේශයට අනුව යාඥා කිරීමට ප්‍රඥාව හෝ සාන්තුවරභාවය අවැසි නොවේ මන්ද එය පව්කාරයන් සහ අඥානයන්ටය යන්නයි. ඒ හෙයින් යාඥාව සඳහා අවැසි වනුයේ ඔබගේ ආශාව සහ කැපවීම ය. විශේෂ කොට අවැසි ගුණාංගයන් වනුයේ ප්‍රේමය, ඇදහිල්ල, බලාපොරොත්තුව හා මානුෂීයත්වයයි.

🎗️ මානුෂීයත්වය

මානුෂියත්වය යනු තමා ගැන අවතක්සේරු කොට සිතීම නොව තමා ගැන සිතීමට වඩා අනුන් ගැන සිතීමය. ස්වාමීන් වහන්සේ මේ හරහා අපට ආරාධනා කරනුයේ නිහතමානී වීම හා අවංකභාවය තුල අප හදවත් ආත්මයාණන්ගෙන් පිරෙනු පිණිස හිස්කරලීම යි. සේල්ස් හි ශු. ෆ්‍රෑන්සිස් මුනිදුන්ට අනුව විශාල ගණයේ පාපයන් කළ බොහෝ ආත්මයන් ස්වර්ගයෙහි සිටින අතර එක් ආත්මයක් උඩඟුකමේ ගුණාංගය හේතුවෙන් නිරයෙහි වෙසෙයි. මින් අර්ථවත් වනුයේ සියලු යහධර්මයන්හි මූලාරම්භය සදහා මානුෂියත්වය බලපාන බවයි.

"දේවදුතයන් යක්ෂයන් බවට වෙනස් කරනු ලැබුවේ උඩගුකමයි;මනුෂ්‍යයන් දේවදුතයන් මෙන් නිර්මාණය කරනුයේ මනුෂ්‍යත්වය යි."
[ශු. අගොස්තිනු මුනිතුමා]

🎗️ප්‍රේමය

බොහෝ විට යාච්ඥාව පැමිනෙනුයේ ඔබගේ හදවත තුළිනි. ප්‍රේමය උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් හා යටහත්පහත් ව සිටීමට අපට උගන්වයි. ප්‍රේමය වනාහි පරිත්‍යාගයකි. එය මමත්වයෙන් මිදීමට උන්වහන්සේ අපට ලබා දුන් උත්තරීතර හැඟීමකි. ප්‍රේම කිරීමෙහිදී අප බලාපොරොත්තු වනුයේ තම සාර්ථකත්වයට ප්‍රථම අනෙකාගේ සාර්ථකත්වය යි . උදාහරනකොට ඔබ යාච්ඤා කරන විට අනෙකෙකු සදහා මැදිහත් වන විට ඔබ ඔබගේ යාඥාවෙහි යම් කාලයක් විලංගු කරනු ලබයි නම් අරුත් ඔබ ඔබගේ වටිනාම වූ කාලය යම් ඝට්ටනයක සිටින පුද්ගලයෙකුට හෝ වේවා කැප කරනු ලබයි. එසේ ගත් කල ප්‍රේමය හරහා මානුෂියත්වය විදහාපානු ලබයි.

එක් තැනැත්තකුට ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වී මෙසේ පවසා ඇත " සක්‍රමේන්තු( දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ හා අනෙකුත් වත් පිළිවෙත් ද අර්ථවත් කරයි ) හරහා මා මුණ ගැසීමට පැමිනෙන්න. මන්ද මිතුදමෙහි වටිනාකම නම් කාලයයි.

හුදෙක් විශ්වාස කිරීමෙන් පමණක් ගැලවීම ලැබිය නොහැක. යක්ෂයා වුවද දෙවියන් වහන්සේ සිටින බව විශ්වාස කරන මුත් ඔහුට ස්වර්ග රාජ්‍යය කරා යා නොහැකිය. එනිසා ඔබගේ විශ්වාසය පදනම් විය යුත්තේ උන්වහන්සේට දක්වන ප්‍රේමය හා ඇදහිල්ල මතය.

🎗️ ඇදහිල්ල හා බලාපොරොත්තුව.

සියලුම දෑ අපට විද්‍යාත්මකව තහවුරු කළ නොහැක. නමුත් කිතුනු අපගේ සුවිශේෂීත්වය නම් අපගේ ඇදහිල්ල විද්‍යාව ද අභිමවා යන්නක්‌ වීමය . අප අපගේ ඇදහිල්ල කරුණු කොටගෙන බලාපොරොත්තු තනාගන්නෙමු. ක්‍රිස්තු අනුගාමිකයන් වන අපගේ උත්තරීතර ම බලාපොරොත්තුව විය යුත්තේ මෙලොවේදී ශුද්ධවන්තකම තුළ ගොඩනැගිම හරහා දෙවිඳුන්ට ප්‍රිය ප්‍රසන්න හා නොකැළැල් පරිත්‍යාගයක් වීම හා ස්වර්ගයෙහි වූ පරිපූර්ණ වූ ප්‍රේමය හා සාමය තුළ එක්සත් වීමයි.

"මන්ද අදහන සියල්ලන්ම දමිටු බවට පැමිණවීමෙන් ක්‍රිස්තුස් වහන්සේ ව්‍යවස්ථාවේ පරමාර්ථය සපුරාලූ සේක."
[රෝම 10:4]

යාච්ඤා කිරීමට මා නොදනී ❓

මෙම ගැටලුවට ඔබට සුදුසුම බයිබල් පාඨය මෙය බව මා හට සිතේ....

"එලෙසම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේදී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාඥා කළේ යුත්තේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේම වචන වලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයදින සේක. අප සිත් සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන් සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි."
[රෝම 8:26-27]

යාඥාව යනු සංවාදයකි.එය ඔබ තවත් පුද්ගලයකු සමඟ සංවාද කරනවා සේමය. බොහෝ දෙනා බලාපොරොත්තු විරහිත අවස්ථාවන්වලදී යාඥා කිරීමෙහිලා ගැටලු පැන නැගෙනු ඇත. මීට පිළිතුර නම් ශුද්ධාත්මයාණන් වහන්සේ ය. ඔබට නොතේරෙනා දේ උන්වහන්සේට පවසන කල්හි උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනු ඇත.

යාඥා කිරීමට සුදුසු කාලය සහ වේලාව කුමක්ද ❓

සැමවිටම, මුළු සිතින් යාඥාවේද අයැදීමේද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඥා කරන්න.

එපිස 6:18 අප අපට හැකි සෑම මොහොතක් පාසාම උන්වහන්සේ අයැදිය යුතුය. එය වචනාර්ථයෙන් නොවූවද ඔබගේ ක්‍රියාව තුළ සිදුකළ හැක. ඔබ ඔබ සිදු කරන සුළු ආකාරයේ හෝ ක්‍රියාවක් දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා හෝ මර්දන ක්‍රියාවක් සේ කැප කරන්නේ නම් ; උදාහරණයක් කොට ඔබ කය වෙහෙසවන්නා වූ ක්‍රීඩාවක නිරත වන අතරතුරදී එය උන්වහන්සේගේ දුප්ප්‍රාප්තිය සඳහා කැප කරන්නෙහි නම් ඔබ ව්‍යායාම සිදුකර ඇත්තේ ඔබගේ කයට පමණක් නොව ඔබගේ අධ්‍යාත්මයටත්ය.

යාඥා කළ යුත්තේ කවුරුන් උදෙසාද ❓

ඔබ යාඥාවේදී ඔබට කැමැති පුද්ගලයින් හා සංඝයන් සිහිපත් කල හැක. නමුත් විශේෂ කොට අප සිහිපත් කළ යුතු පිරිස් කොට්ඨාශයක් ඇත. බොහෝවිට මරියමාතාවන්ද තම දර්ශනයන්හිදී පහත දක්වන කොට්ඨාශයන් කිහිපයකට යාඥා කිරීමට ඉල්ලා සිටින බවද අවධාරණය කර සිටිමි.

🍂 ශුද්ධ වූ සභාව

කිතුනු අප මේ තාක් කාල පරිච්ඡේදයක් පුරාවට සාංඝිකව ජීවත්වීමට හැකි වූයේ ශුද්ධ වූ සභාව හා එහි සාමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වය මතය. ක්‍රිස්තුස් වහන්සේ මෙලොව තුළ සභාවක් ගොඩනගනු ලැබුවේ එක්සිත්ව ස්වර්ගය කරා පියමැනීමටය. එය දෙකඩ වෙන්වී යාම උන්වහන්සේගේ අභිමතය නොවේ. එහෙයින් අපොස්තුළුවරුන්ගේ සිට පැවත එන්නා වූ එකම වූ ද, ශුද්ධ වූ ද, කතෝලික සභාව කෙරෙහි විශ්වාස කිරීමට පමණක් නොව එය ඒකීයව පවත්වා ගෙන යාමට අපගේ බලවත් යැදුම් ද අවැසිමය. ශු. සභාව හැරදමා යන කල ඔබ නිරයේ ද්වාරය කරා පිවිසීමට ස්වකැමැත්තෙන් එකග වන්නා බව සිහියේ තබා ගන්න.

🍂 පූජක පැවිදි කන්‍යාසොහොයුරියන්

වත්මන් යුගය වන විට අප දේශයෙහි පමණක් නොව මුළු ලොවෙහිම ගත් කල්හි දේව කැදවීම් ඉතා විරලය. එපමණක් නොව දැනට සේවයෙහි නියුතු පූජක පැවිදි කන්‍යා සොයුරියන් පවා විවිධාකාරයේ පරීක්ෂාවන්ට සහ නොමඟයෑම් හේතු කොට ගෙන දැඩි අසීරුතාවයන්ට මුහුණ පාමින් සිටි. ගිහියන් පූජකවරුන් නොමැති කල සක්‍රමේන්තු ලබනුයේ කෙසේද? අපගේ අධ්‍යාත්මික ජීවිතය ගොඩනගාලීම සඳහා නිසි මග පෙන්වීම ලබාදෙනුයේ කවුරුන්ද?

"අදහා නොගත් කෙනෙකුට යැදුම් පුදන්නේ කෙසේද? නෑසූ කෙනෙකු අදහන්නේ කෙසේද? දේශකයෙකු නැතිව අසන්නේ කෙසේද? මේ පිළිබඳව ;සුභ අස්න ගෙන එන ධර්මදූතයන්ගේ පාද කෙතරම් මනහරද? "
[රෝම 10:14-15]

🍂 පව්කරුවන්

මින් පෙර සඳහන් කළ පරිදිම උන්වහන්සේගේ පරමාර්ථය නම් සියල්ලන්ම දමිටු බවට පැමිණවීමයි. සියල්ලන් තුළ ප්‍රසාද ස්ථාපනය තුළ ලබා ඇති දේවපුත්‍රභාවය පරිපූර්ණත්වය කරා රැගෙන යාම අප සමිදාණන් වහන්සේගේ මුඛ්‍ය පරමාර්ථය යි. නමුත් එයට බාධා කරනුයේ පාපය වේ. ඉන් අපව මෙන්ම අන් අයව ද මිදීමට යාඥා කිරීම විශේෂ කොට මරිය මාතාවන්ගේද ප්‍රමුඛ ඉල්ලීමයි.

🍂 දේශය සහ රට පාලකයින් උදෙසා

බොහෝ දෙනා තම දේශපාලන මතිමතාන්තර කරුණු කොට ගෙන තම රට පාලකයා තමා කැමති පක්ෂයක නොවේ නම් ඔහු උදෙසා යාච්ඥා කරනවා විනා දිව්‍ය පූජාවෙහි පොදු ඉල්ලීම් සිහිපත් කරන අවස්ථාවන්හි රට පාලකයින් උදෙසා යාඥා කරන විට ඊට දැඩි විරෝධයක්ද පල කරයි. ඔවුන්ගේ මතය නම් මෙම පුද්ගලයන් වෙනස් කළ නොහැකි බැවින් ඔවුන් උදෙසා යාඥා කිරීමෙන් ඇති ඵලය කුමක්ද යන්නයි?

කෙසේ වෙතත් ඔවුන් අප දේශය පාලනය කරන්නන් බව අපට අමතක කළ නොහැකිය. ඔවුන්ගේ යහපත් ජීවිත පැවැත්ම දේශයෙහි සෞභාග්‍ය කෙරෙහි බලපානු ඇත.

"දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිදාණන් වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේ පිළිතුරු දෙමින්, සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසත් ය "යි වදාළ සේක.
[2 සාමුවෙල් 21:1]

මෙහිදී මුළු දේශයෙහිම සාගතයක් ඇතිවී මුළු ජනතාවම පීඩා විඳීමට හේතුව වූයේ එක් රාජ්‍ය පාලකයකුගේ ද ඔහුගේ පවුලේ පිරිසකගේ වැනි ඉතා සුළුතරයක වැරදි කරුණු කොට ගෙනය. එහෙයින් පාලකයාගේ පසුතැවීම හා සිත් හැරීම දේශය කෙරෙහි දැඩිව බලපානු වෙත. මන්ද ඔහු දෙවියන් වහන්සේ විසින් තෝරා ගත් තැනැත්තකු බැවිනි. එනිසා ඔවුන් උදෙසා යාච්ඥා කිරීම අපගේ වගකීමකි.

මීට අමතරව ස්වාමීන් වහන්සේගේ දුක් ප්‍රාප්තියට සහභාගී වන්නා වූ රෝගීන්,ශුද්ධගිනිස්ථානයේ වෙසෙන බලාපොරොත්තුසහගත ආත්මයන්,සත්‍ය ධර්මය වටහා නොගත්තා වූ අන්‍යාගමිකයන්, අපගේ මිතුරන් මෙන්ම සතුරන් වැනි බොහෝ පිරිස් උදෙසා මූලික කොට යාඥා කළ හැක.

යාච්ඤා කිරීමට සූදානම් විය යුත්තේ කෙසේද ❓

⚜️ ආත්ම සෝදිසිය.

අප පාපොච්චාරණ සක්‍රමේන්තුවට පෙර අපගේ ආත්මය ගැන විමසීමකට ලක් කරන්නා සේ යාඥා කිරීමට පෙර ද ඔබ ආත්ම සෝදිසිය කළ යුතුය. මන්ද යාඥාව යනු පුරසාරම් දෙඩීමක් නොව ඔබ ඔබගේ වැරදි පිළිගනිමින් මනස්ථාපනය වීම හරහා දේව සබඳතාවය නැවත ගොඩනැගීම හා සමානය.

"තවද, යාඥා කිරීමේදී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැයි ඔවුහු සිතති. ඔවුන් හා සමාන නොවන්න.
[ශු. මතෙව් 6:7-8 ]

⚜️ සමාව දීම.

එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව යම් කිසි අමනාපයක් ඇතිව සිටින බව එහිදී සිහි වී නම්, පඬුර පූජාසන ඉදිරියේ තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඩුර පුදන්න.
[ශු. මතෙව් 5:23-24 ]

මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි.
[හොසියා 6:6]

සමිදාණන් වහන්සේට වඩා ප්‍රසන්න වනුයේ තමා හට පුදන පඬුරට වඩා අන් අය කෙරෙහි උන් වහන්සේගේ ප්‍රේමය විදහා දැක්වීම බව මෙම බයිබල් පාඨයෙන් අපට පෙන්වා දෙයි.

යාච්ඥාවේදී මා අයැදිය යුත්තේ මොනවාද❓

🌿යාඥා කරන විට ඔබ ඔබගේ අවශ්‍යතා හා ඉල්ලීම් සඳහා වැඩි අවධානයක්‌ යොමු කිරීම අවශ්‍යම නැත. නමුත් එහි අර්ථය නම් ඔබගේ අවශ්‍යතා ගැන සඳහන් නොකළ යුතු බවම නොවේ.ඔබ ඔබගේ ඉල්ලීම් හා අවශ්‍යතා සඳහන් කරන අතරම එය පියාණන් වහන්සේගේ කැමැත්ත පරිදි සිදු විය යුතු බවද සිහිපත් කළ යුතුය.

"පියාණෙනි, ඔබ කැමැති සේක් නම්, මේ කුසලාන මගෙන් පහකළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා "යි වදාළ සේක.
[ශු. ලූක් 22:42]

🌿 බොහෝ විට අප ආගම දහමට ලැදි වුවද අපට අපගේ කිතුනු ඇදහිල්ලද තේරුම් ගත නොහැකි අවස්ථා පැන නගිනු ඇත. බොහෝ දෙනා දේවස්ථාන කරා පැමිණියද ඔවුන්ගේ ආත්මය තුළ දේව වචනය ගැබ්ව නැත. මීට හේතුව නම් ඔබ ඔබගේ හදවත විවර නොකිරීමයි. ඔබගේ සැඟවුණු හදවත විවෘත කළ හැක්කේ දෙවි පියාණන් වහන්සේට පමණි.

"සබත් දවසේදී, නුවර වාසලෙන් පිට යාච්ඥා ස්ථානයක් ඇතැයි අපට සිතුනු බැවින්, අප පිටත්ව ගං තෙරකට ගොස් එහි රැස්ව සිටි ස්ත්‍රීනට කතා කලෙමු. ඔවුන් අතර ලිඳියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියාය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණු වෙළෙන්දියකි ; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුළු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක."
[ක්‍රියා 16:13-14]

ඔබ ඔබගේ වැටීම්, දුර්වලකම්, සත්‍යය හා ඇතුලාන්ත අරගලයන් හා එහි මූලාරම්භය වටහා ගනුයේ උන්වහන්සේ ඉදිරියෙහි ඔබ විවෘත වන්නා තරමටය. එනිසා ඔබ යදිනා විට උන්වහන්සේට ඔබගේ හදවත විවෘත කරන මෙන් ඉල්ලා කන්නලව් කරන්න.

🌿 අපගේ මුලික අරමුණ විය යුත්තේ ශුද්ධවන්තභාවයයි. මන්දයත් අපගේ මැවුම්කාරයාණන් වන අප පියාණන් වහන්සේව සතුටූ කළ හැක්කේ අපට හැකි පමණින් උන්වහන්සේගේ දයා කරුණාව මත යැපෙමින් ඇතිවන ආත්ම පවිත්‍රභාවය හරහාය. ඒ හෙයින් සියලු පරීක්ෂාවන්ගෙන් මිදී සියල්ලෙහි අවසන් ජයග්‍රහණය උන්වහන්සේට හිමිවන පරිදි අපගේ ශරීරය මෙන්ම ආත්මයද පවිත්‍ර කරනා ලෙස උන්වහන්සේගෙන් අයැදීම ඉතා වැදගත්ය.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්

Read more