යාච්ඤා වර්ගීකරණය -1 කොටස

යාච්ඤා වර්ගීකරණය -1 කොටස
Photo by Ruben Hutabarat / Unsplash

කතෝලික සභා ධර්මෝපදේශයට අනුව යාච්ඤාව කොටස් තුනකට වර්ගීකරණය කළ හැක. ඒවා නම්,

⭐ vocal (වාචික)
⭐ meditation( භාවනාව)
⭐ contemplation (ධ්‍යානයට සම වැදීම )

💠 ඔබගේ යාච්ඤාව බයිබලය හා කතෝලික සභා සම්ප්‍රදාය හෝ ඔබගේ පුද්ගලික ආකල්ප  මත නිර්මිත  යැදුමක් විය හැක.

බොහෝ දෙනා යාච්ඤා කරන විටදී පරමණ්ඩල යාඥාව( ස්වර්ගයේ වැඩ සිටින)  හා නමෝ මරිය යැදුම භාවිත කරන අතර  සමහරෙකු තම හදවතට නැගෙන ප්‍රශංසාව, ඉල්ලීම්, ගැටළු හා වේදනාවන් වැනි සිතුවිලි වචන වලට පෙරළා එය යැදුමක් කොට ගනිමින් දෙවිඳුන් වෙත පුදකර යි.

💠 එය සාංඝික හෝ පෞද්ගලික යැදුමක් විය හැක.

බොහෝ දෙනා දිව්‍ය පූජාව, ජපමාල බැතිය වශයෙන්  සාංඝික ලෙස එක්රැස්වෙමින් බොහෝවිට සභාවේ නිල යැදුම් භාවිතා කරමින් දෙවිඳුන් හට එක්සිත්ව තම ප්‍රශංසාව, ගෞරවය හා ආදරය පුදකරන  අතර තම ඉල්ලීම් ද සාංඝික වශයෙන් දෙවිදුන් හට පුද කරයි. එසේම තවකෙකු පොදු හෝ පෞද්ගලික ස්ථානයක සිටියද පුද්ගලයින් වශයෙන් එක් රැස් නොවුණද තම යැදුම පුද්ගලිකව දෙවිඳුන් හට පුද කරයි.

💠 ඔබගේ යැඳුම දෙවිඳුන් හට හදවතින් හෝ මුවින් ප්‍රකාශ කරයි.

බොහෝවිට අපගේ පුද්ගලික ඉල්ලීම් අප අයදිනුයේ නිශ්ශබ්දතාවය තුළය. ඒ හා සමානව යම් අවස්ථාවන්හිදී  අප ජපමාලය හා දිව්‍ය පූජාව වැනි යැදුම් අවස්ථාවලදී අපගේ අවශ්‍යතාවයන් හා ඉල්ලීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර දෙවිඳුන් හට ඔප්පු කරයි.

⭐ වාචික - වචන යොදා ගනිමින් හෝ සිතින් දෙවිදුන් හට පුද කරනා යැදුම වේ.

අපගේ යාච්ඤාවලට ඇහුම්කම් දුන්නාද,නැද්ද යන්න තීරණය වන්නේ අප මුමුණන වචන ප්‍රමාණය අනුව නොව, අපගේ ආත්මවල ඇති බලවත් වූ ලැදිකම මතය. වාචික යාච්ඤාව කිතුනු ජීවිතයේ ඉතා වැදගත් අංශයක් වේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ  තම ශ්‍රාවකයන්ට "පරමණ්ඩල" ( ස්වර්ගයේ වැඩ සිටින) නමැති වාචික යාඥාව ඉගැන්වූ සේක. වාචික යැදුම් කණ්ඩායම් වලට ඉතා පහසුවෙන්ම භාවිත කළ හැකි යාඥා ක්‍රමයක් වේ.
[ක.ස.ධ 2700-2704]

මේ අනුව වාචික ගණයට පරමණ්ඩලය යාඥාව හා නමෝ මරිය යාච්ඤාව ගත හැක. නමුත් බොහෝ කිතුනුවන් භාවිතා නොකරන බලවත්ම යැදුම් පොත නම් ගීතාවලියයි. ජේසුස් වහන්සේ වුවද කුරුස ගසේ සිටියදී ගීතාවලිය 22 ගායනා කළේය.

මාගේ දෙවියනි, මාගේ දෙවියනි,ඔබ මා අත්හැරියේ මන්ද?
[ ගීතාවලිය 22:1]

ගීතාවලිය තුළ අපගේ සෑම සිතුවිල්ලකටම, අවස්ථාවකටම හා සෑම චර්යාවකටම ගැලපෙන පරිදි ගීතමය යැදුම් සකසා ඇත. ජුදයන්ද මෙම යැඳුම් පොත භාවිතා කරන බැවින් හා යාම යැඳුම්හි දී කතෝලික සභාවේ පූජකවරුන් හා කන්‍යා සොයුරියන් ද ස්වල්ප කොට ගිහියන්ද ගීතාවලිය භාවිතා කරන බැවින්, මෙම ගීතාවලිය යැදුම් පොත හරහා අපව ශුද්ධ වූ සභාව හා පුරාණයේ මුල්ම කොට උන්වහන්සේ තෝරාගත් ජනතාව හා එකමුතු කරනු ලබයි.

අනෙක් බලගතු ම යාඥාව නම් පරමණ්ඩල යැදුම හෙවත් ස්වර්ගයේ වැඩ සිටින යාඥාවයි. එය බලගතු වීමට මූලිකම හේතුව නම් එය ක්‍රිස්තුස් වහන්සේ විසින් අපට ඉගැන්වූ යාඥාව බැවිනි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු වෙනත් ලිපියකින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

ඔබගේ වාචික යැදුම් වඩා ඵලදායී කිරීම සඳහා  "ACTS" වශයෙන් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත මෙහි අන්තර්ගතය වනුයේ,

✳️ Adoration
✳️ Contrition
✳️ Thanksgiving
✳️ Supplication යන කොටස්ය.

✳️ Adoration - දෙවියන් වහන්සේට පමණක් හිමිවූ ගෞරවය ප්‍රශංසාව උන්වහන්සේ වෙත ප්‍රේමයෙන් හා ගෞරවාන්විත භයභක්තිය කින් යුතුව  පුද කිරීම මෙහිදී අර්ථවත් කරයි. මෙහිදී මූලික කොට ඔබ උන්වහන්සේගේ මැවිල්ල බවද උන්වහන්සේ ඔබගේ පමණක් නොව මුළු මැවිල්ලේම මැවුම්කාරයාණන් බව ප්‍රශංසාත්මකව ඉස්මතු විය යුතුය. යාච්ඤාවේදී  අප උන්වහන්සේ  සමග මිත්‍රශීලී ස්වරූපයෙන් සංවාදයකට එළඹුනද ප්‍රථමකොට උන්වහන්සේ අපගේ දෙවියන් වන බව හා එහෙයින් උන්වහන්සේට ගෞරවය හිමි විය යුතු බව මෙමඟින් නිරූපණය කරලයි. උන්වහන්සේ අපගේ මිත්‍රයා වීමට පෙර අපගේ දෙවිදාණන් ය.

✳️ Contrition - තමා අතින් සිදුවූ වැරදි පිළිබඳව මනස්ථාපනය වී සමාව අයැදීම මෙහි අර්ථය වේ. මනුෂ්‍ය ස්වභාවය තුළ අප අතින් සුළු හා බරපතල වැරදි බොහොමයක් සිදුවේ. එනමුදු  උන්වහන්සේගේ පැවැත්ම අත්දැකීමට හා උන්වහන්සේ තුළින් නික්මෙන කරුණාවෙහි හිමිකාරිත්වය ලබා ගැනීමට අපට මනස්ථාපනය අවැසිමය. මෙහිදී තමා පිළිබඳව ආත්ම සෝදිසියක නියැලෙන හෙයින් තමා පිළිබඳ මනා අවබෝධයක් ද ලබා ගත හැක.

✳️ Thanksgiving - උන්වහන්සේගේ අප වෙත දක්වන කරුණාව හා සැලකිල්ල හේතුවෙන් අපට ලබා දුන් හා නොදුන් සෑම දෙයක් උදෙසා ම උන්වහන්සේට ස්තූතිවන්ත වීම මෙමගින් අර්ථවත් වේ. බොහෝවිට පුද්ගලයන් වශයෙන් අපගේ  සතුටේදී උන්වහන්සේ ප්‍රශංසා කිරීම ඉතා පහසු කාර්යයක් වුවද ගැටලුකාරී අවස්ථාවලදී එය සිදු කිරීම මඳක් දුෂ්කරය. නමුත් මෙම ක්‍රමවේදය හරහා අපට ආරාධනා කරනුයේ සියලු දුක්‌බර  අවස්ථාවන්හිදී වුවද එහි  තුළ වූ දේව සැලැස්ම අවබෝධ කර ගනිමින් ද තමා ගන්නා හුස්මක් පාසා සිදුවූ සෑම සුළු දෙයකටම පවා උන්වහන්සේට ස්තූතිවන්ත වීමයි.

✳️ Supplication - තමා වෙනුවෙන් හා අන් අය වෙනුවෙන් මැදිහත්වී දෙවිඳුන් ඉදිරියේ  යාඥා කිරීම මෙමගින් අර්ථවත් කෙරේ. මෙය හරහා තමාට මෙන්ම අන් අයටද සියලු පාපයන්ගෙන් මිදී උන්වහන්සේගේ දේව කරුණාව හා දිව්‍ය සංරක්ෂණය තුළ පාපී ස්වභාවයෙන් ඈත් වී  දිවි ගෙවීමට අවැසි බලය උන්වහන්සේගේ මැදිහත්වීම තුළ තමාට ද හා අන් අයටද ලැබෙන මෙන් අයදින අතර තමාගේ හෝ අනෙකෙකුගේ දුෂ්කර අවස්ථාවන් සිහිපත් කරමින් ඊට නිසි මග පෙන්වීම ලබාදෙන ලෙසද ඉල්ලීම් ප්‍රකාරව ඔප්පු කරයි. මෙහිදී මැදිහත්වීම පතා මරිය මාතාවන්, සාන්තුවරුන්   සිහිපත් කිරීම වඩා ඵලදායීය.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්