ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ උරුමය

පේදුරු තුමන්ගේ 266 වන අනුප්‍රාප්තිකයාණන් වූ, ලොව පුරා කතෝලිකයන්ගේ මෙන්ම අන්‍යයන්ගේ ද ගෞරවාදරයට පත් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ අභාවය පිළිබඳ ශෝකී පුවත, නූතන කතෝලික සභා ඉතිහාසයේ වඩාත්ම පරිවර්තනීය පාප් පදවි කාලයක නිමාව සනිටුහන් කලේය. එතුමන් හුදෙක් ප්‍රථම ජේසු නිකායික, ප්‍රථම ලතින් ඇමරිකානු සහ ගෝලීය දකුණෙන් පත් වූ ප්‍රථම සුදොතුම් පියාණන් වීම නිසාම පමණක් නොව, එතුමන්ගේ මුළු පදවි කාලය පුරාම, වෙහෙස නොබලා, බොහෝ විට සම්ප්‍රදායේ සීමාවන් අභියෝගයට ලක් කරමින් නැගූ හඬ නිසා ද ඉතිහාසයට එක්වනු ඇත.
ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් 2013 වසරේදී සුදොතුම් පිය පදවියට පත් වූ දා සිටම, එතුමන් ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ දයාව යනු ජේසුස් වහන්සේගේ ශුභාරංචියේ හරය මෙන්ම, සභාව සඳහා එතුමන් සතු දැක්මෙහි ද පදනම බවයි. එය එතුමන්ගේ පදවි කාලය නිර්වචනය කළ ප්‍රධාන තේමාව විය. එතුමන් තම පාප් නාමය ලෙස "ෆ්‍රැන්සිස්" යන්න තෝරාගැනීම, මෙම දැක්මේ ප්‍රබල සංකේතයක් විය. දිළිඳුකමට, සොබාදහමට සහ සාමයට ලැදිවූ, අසීසියේ ශාන්ත ෆ්‍රැන්සිස් මුනිඳුන්ගේ ආදර්ශය, එතුමන්ගේ සේවාවට නිරන්තර ආලෝකයක් සැපයීය. "දුප්පතුන් සඳහා වූ දුප්පත් සභාවක්" ගොඩනැගීමේ එතුමන්ගේ අපේක්ෂාව, හුදු සටන් පාඨයක් නොවීය. එය එතුමන්ගේ ජීවන රටාවෙන් සහ ගත් තීරණවලින් ප්‍රායෝගිකව විදහා දැක්විණි. වතිකානුවේ සුඛෝපභෝගී අපෝස්තලික මන්දිරය ප්‍රතික්ෂේප කරමින්, සාමාන්‍ය අමුත්තන් නවාතැන් ගන්නා සාන්තා මාර්තා නේවාසිකාගාරයේ ලැගුම් ගැනීම, තමන්ගේ ගමන් බිමන් සඳහා සරල මෝටර් රථයක් භාවිත කිරීම, වසර ගණනාවක් පැරණි පාවහන්ම දිගටම පැළඳීම වැනි ක්‍රියා, එතුමන්ගේ පෞද්ගලික නිහතමානීත්වය සහ ෆ්‍රැන්සිස්කානු ආත්මය ලොවට කියා පෑවේය.
දයාව පිළිබඳ එතුමන්ගේ කේන්ද්‍රීය අවධාරණය ලොවට වඩාත් ප්‍රබල ලෙස සන්නිවේදනය වූයේ 2015 වසරේදී එතුමන් විසින් දයාවේ අති විශේෂ ජුබිලි වසර ප්‍රකාශයට පත් කිරීමත් සමගය. එය, වසරක් පුරා දිව ගිය, දෙවියන්වහන්සේගේ අපරිමිත දයාව කෙරෙහි සභාවේ සහ ලෝකයේ අවධානය යොමු කරවීමේ ගෝලීය වැඩපිළිවෙළක් විය. එය හුදෙක් චාරිත්‍ර වාරිත්‍රවලට සීමා නොවී, දයාවේ දොරටු වචනාර්ථයෙන් මෙන්ම සංකේතාත්මකව ද විවෘත කිරීමක් විය. ලොව පුරා දෙව්මැදුරුවල "දයාවේ ශුද්ධ දොරටු" විවෘත කෙරුණු අතර, පාපොච්චාරණය නම් වූ සමාදානයේ සක්‍රමේන්තුව වෙත යළි යොමුවීමට මිලියන සංඛ්‍යාත ජනතාවක් උනන්දු කරවීය. විශේෂයෙන්ම, සාමාන්‍යයෙන් ශුද්ධාසනයට පමණක් වෙන් වූ ඇතැම් බරපතල පව් සමාකිරීමේ බලය ලත් "දයාවේ ධර්මදූතයන්" ලෙස පූජකවරුන් පිරිසක් නම් කර, ඔවුන්ව ලොව පුරා, විශේෂයෙන්ම මිනිසුන් ශාරීරිකව හා ආධ්‍යාත්මිකව පීඩාවට පත් ප්‍රදේශවලට යැවීම, දයාව අවශ්‍යතා ඇති තැනටම ගෙන යාමේ එතුමන්ගේ අභිලාෂය පෙන්නුම් කළේය. ජුබිලි වසර ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ‘Misericordiae Vultus’ (දයාවේ මුහුණත) නම් ලියවිල්ලේ එතුමන් ලියා තැබූ වදන්, එතුමන්ගේ දේවධර්මයේ හරය කියාපායි:
"ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්ගේ දයාවේ මුහුණයි"
මෙම දේවධර්මීය පදනම, එතුමන්ගේ සමස්ත එඬේර මෙහෙවර පුරා විහිදී ගිය අතර, එය වඩාත් ප්‍රකට වූයේ සමාජයේ සහ ඇතැම් විට සභාව තුළ පවා කොන් කරනු ලැබූවන් වෙත එතුමන් දැක්වූ සුවිශේෂී, පෞද්ගලික අවධානය තුළිනි. දික්කසාද වී සිවිල් නීතිය යටතේ නැවත විවාහ වූවන් හට සත්ප්‍රසාද නිධාන ලැබීම පිළිබඳ සංවාදය විවෘත කිරීම, සමලිංගික සබඳතා සහිත පුද්ගලයන් කෙරෙහි පසුතැවිලි වීමට මඟක් පාදා දුන් වඩාත් දයාන්විත සහ පිළිගැනීමේ ආකල්පයක් ප්‍රවර්ධනය කිරීම, සිරකරුවන් හමුවීමට නිරන්තරයෙන් යාම, බ්‍රහස්පතින්දා දිනයේ ඔවුන්ගේ පාද සේදීම, සංක්‍රමණිකයන් සහ සරණාගතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භයව කතා කිරීම එතුමන්ගේ දයාවේ ප්‍රායෝගික විදහා දැක්වීම් විය. එතුමන් ඔවුන් දෙස බැලුවේ ජේසුස් වහන්සේගේ අනන්ත ප්‍රේමයට සහ දයාවට උරුමකම් කියන, දෙවියන් වහන්සේගේම ස්වරූපය දරන මිනිසුන් ලෙසය. සභාවේ ඉගැන්වීම් හෝ නීති වෙනස් නොකළද, එම නීති අදාළ කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව, එනම් දයාව, කරුණාව සහ පුද්ගලයාගේ හෘද සාක්ෂියට ගරු කිරීම පෙරදැරි කරගත් එඬේර ප්‍රවේශයක් එතුමන් අවධාරණය කළේය.
දයාව පිළිබඳ මෙම කේන්ද්‍රීය තේමාව, එතුමන්ගේ එඬේර මෙහෙවරේ අනෙක් අත්‍යවශ්‍ය කුළුණ වූ ප්‍රීතියෙන් හා මුදු මොළොක් බවින් යුතුව ශුභාරංචිය ප්‍රකාශ කිරීම සමග සහසම්බන්ධ විය. එතුමන්ගේ පදවි කාලයේ ආරම්භයේදීම, 2013 දී නිකුත් කළ ‘Evangelii Gaudium’ (සුභාරංචියේ ප්‍රීතිය) නම් අපෝස්තලික අනුශාසනාව, එතුමන්ගේ සමස්ත පාප් පදවි කාලය සඳහා වූ මඟ පෙන්වන ප්‍රඥප්තිය ලෙස සැලකේ. එය ශාස්ත්‍රීය ලියවිල්ලකට වඩා, සජීවී, උද්යෝගිමත්, පුද්ගලික ස්වරයකින් ලියැවුණු, සභාවේ සෑම සාමාජිකයෙකුටම ක්‍රියාත්මක වීමට කරන ලද ඇරයුමකි. එහිදී එතුමන්, ශුභාරංචියේ ප්‍රීතියෙන් ඉපිළී යන, දොරටු වසා නොගෙන පිටතට විවෘත වූ, ලෝකය සමග සංවාදයේ යෙදෙන, අන්‍යයන්ගේ, විශේෂයෙන්ම දිළිඳුන්ගේ සහ පීඩිතයන්ගේ වේදනාවන්ට සංවේදී, ක්‍රියාශීලී ධර්මදූතික සභාවක් සඳහා සිය දැක්ම ගෙනහැර පෑවේය.
එම ලියවිල්ලේදී, එතුමන් සභාව තුළ පැවති ඇතැම් ගැඹුරු ගැටළු නිර්භයව හඳුනාගෙන විවේචනය කළේය. ගිහියන්ව පහත් කොට සලකමින්, පූජකවරුන් සහ ධූරාවලිය පමණක් බලය සහ අධිකාරිය හිමි පිරිසක් ලෙස උත්කර්ෂයට නංවන පූජක ප‍්‍රමුඛවාදය (clericalism), ආත්මයක් නැති, හදවතක් නැති නීති රීති සහ ව්‍යුහයන්ට වහල් වී මිනිසා සහ දයාව අමතක කරන නීතිගරුකවාදය (legalism), සහ ලෝකයෙන් වෙන්වී, තමන්ගේම සුරක්ෂිත කුටීරය තුළ පමණක් රැඳී සිටිමින්, අභ්‍යන්තර ගැටළු ගැන පමණක් සිතන ආත්ම-කේන්ද්‍රීය සංවෘත භාවය එතුමන්ගේ දැඩි විවේචනයට ලක් විය. සභාව යනු දූවිලි බැඳුණු කෞතුක භාණ්ඩයක් හෝ සාමාජිකයන්ගේ පහසුව සඳහා පවතින සංවිධානයක් නොව, ලෝකයේ යුධ බිමේ පිහිටි ක්ෂේත්‍ර රෝහලක් මෙන්, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට, බලාපොරොත්තු සුන් වූවන්ට සැනසීම ගෙන ඒමට, අන්ධකාරයට ආලෝකය ගෙන යාමට නිර්භයව ඉදිරිපත් විය යුතු බව එතුමන්ගේ ස්ථාවරය විය. එතුමන්ගේ අමරණීය වදන් වන:
"වසාගත්, තමන්ගේම සුරක්ෂිතභාවය ගැන පමණක් සිතන සභාවකට වඩා, මම කැමති පාරට බැසීම නිසා තැළී, පෑගී, අපිරිසිදු වූ සභාවකටයි..."
මෙම වදන් පෙළ, එතුමන්ගේ දැක්ම මනාව සාරාංශ කරයි. එය, සුවපහසුවෙන් මිදී, අවදානම් ගැනීමට, සමාජයේ අප්‍රසන්න යථාර්ථයන්ට මුහුණ දීමට, වැරදීම්වලට පවා ඉඩ ඇති නමුත්, ජේසුස් වහන්සේ මෙන් මිනිසුන් අතරට ගොස් ඔවුන් සමග ජීවත් වීමට සූදානම් ක්‍රියාශීලී සභාවක් පිළිබඳ චිත්‍රයක් මවයි. එතුමන්ගේ මෙම එඬේර කැඳවීම, ඇදහිලිවන්තයන්ට හුදෙක් අතීතය දෙස බලා සිටීමට හෝ සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට පමණක් නොව, ධෛර්යයෙන්, නොසිඳෙන ප්‍රීතියකින් සහ සියල්ලටම වඩා මුදු මොළොක්, දයාබර හදවතකින් යුතුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය සහ දයාව ක්‍රියාවෙන් සහ වචනයෙන් ලොවට ප්‍රකාශ කිරීමට අභියෝග කළේය.
මෙම විවෘතභාවය, සංවාදය සහ ඒකාබද්ධ ගමන ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා, ෆ්‍රැන්සිස් සුදොතුම් පියාණන් විසින් පුරාණ සභා සම්ප්‍රදායක් වූ "සිනොඩලීයතාව" (Synodality) හෙවත් "සංගමනශීලී සහාව" නැවත පණ ගන්වා, එය සභා ජීවිතයේ නව යුගයකට මග පෑදීය. සිනොඩලීයතාව යනු හුදෙක් ව්‍යුහයක් හෝ ක්‍රමවේදයක් නොව, සභාවේ ජීවන විලාසයකි; "එකට ගමන් කිරීම" එහි හරයයි. ශුද්ධාත්මයාණන්ට සවන් දෙමින්, සභාවේ සියලුම සාමාජිකයන් බිශොප්වරුන්, පූජකවරුන් සහ විශේෂයෙන්ම ගිහි ජනතාව එකිනෙකාට ගෞරවයෙන් සවන් දෙමින්, වගකීමෙන් යුතුව ක්‍රියා කරමින්, පොදු මෙහෙවරක් සඳහා එකට ගමන් කිරීම එයින් අදහස් කෙරේ.
පවුල පිළිබඳ සිනොඩය (2014, 2015), තරුණයන් පිළිබඳ සිනොඩය (2018) සහ එතුමන්ගේ අභාවයට ආසන්නව පැවති, සමස්ත සභාවම සම්බන්ධ කරගත් සිනොඩලීයතාව පිළිබඳ සිනොඩුව (2021-2024), මෙම "එකට ගමන් කිරීමේ" සංස්කෘතිය සභාව තුළ වර්ධනය කිරීමට ගත් වැදගත් උත්සාහයන් විය. මෙම ක්‍රියාවලිය, ඉහළින් ලැබෙන නියෝග පමණක් ක්‍රියාත්මක කරනවා වෙනුවට, සභාවේ බිම් මට්ටමේ සිටින සාමාජිකයන්ගේ හඬට, අත්දැකීම්වලට සහ ප්‍රඥාවට සැබෑ වටිනාකමක් ලබා දෙන, වඩාත් සහභාගීත්ව සහ සංවාදාත්මක සභාවක් ගොඩනැගීමට දායක විය. ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් මෙසේ ආරම්භ කරන ලද සංගමනශීලී සභාව, එතුමන්ගේ වියෝවෙන් පසුව ද සභාවට ඉදිරියට යාමට මග පෙන්වන ප්‍රධාන උරුමයක් ලෙස පවතිනු ඇත.
ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ මෙලොව සේවාවේ පළමු අදියර දයාවේ උණුසුමෙන් සහ ශුභාරංචියේ නොනිමි ප්‍රීතියෙන් සභා ජීවිතය නැහැවූවා සේම, එතුමන්ගේ උරුමයේ දෙවන සහ තෙවන කුළුණු, ලෝකය සහ සභාව මුහුණ දෙන වඩාත් සංකීර්ණ, දැවෙන ප්‍රශ්න වෙත අපගේ අවධානය යොමු කරවයි. එතුමන්ගේ වියෝවෙන් ශෝකයට පත් ලෝකය එතුමන්ගේ සේවාව දෙස ආපසු හැරී බලන විට, දයාව සහ ප්‍රීතිය මත ගොඩනැගුණු තවත් ප්‍රධාන අංශ තුනක් පැහැදිලිව මතු වී පෙනේ: අපගේ පොදු නිවහන වන පෘථිවිය රැකබලා ගැනීම සඳහා වූ එතුමන්ගේ අසමසම කැපවීම, භූගෝලීය මෙන්ම පැවැත්මේ සීමා මායිම් කරා යාමට සභාවට කළ අභියෝගය, සහ සභාවේ අභ්‍යන්තර ව්‍යුහයන් සහ සංස්කෘතිය ඇතුළතින් ප්‍රතිසංස්කරණය කිරීමට ගත් නිර්භීත උත්සාහයන්. මෙම අංශ තුන, එතුමන්ගේ එඬේර මෙහෙවරේ ගැඹුර සහ පළල මනාව විදහා දක්වයි.
අපගේ පොදු නිවහන රැකබලා ගැනීම
සමහර විට ෆ්‍රැන්සිස් සුදොතුම් පියාණන්ව කතෝලික සභාවෙන් පිටත ලෝකය තුළ වඩාත් ප්‍රකට කළ, එතුමන්ගේ පදවි කාලයේ සුවිශේෂීම ලක්ෂණයක් වූයේ පරිසරය සුරැකීම පිළිබඳව එතුමන් දැක්වූ දැඩි උනන්දුව සහ සදාචාරාත්මක නායකත්වයයි. 2015 දී එතුමන් විසින් නිකුත් කරන ලද ‘Laudato Si’ (ඔබ වහන්සේට ප්‍රශංසා වේවා) නම් විශ්ව ලේඛනය, හුදෙක් තවත් එක් පාප් ලියවිල්ලක් නොවීය. එය, පරිසර විද්‍යාව දේවධර්මීය, සදාචාරාත්මක සහ ආධ්‍යාත්මික අර්බුදයක් ලෙස ප්‍රතිනිර්වචනය කළ, සන්ධිස්ථානීය ලේඛනයක් විය. අසීසියේ ශාන්ත ෆ්‍රැන්සිස් මුනිඳුන්ගේ මැවිල්ලේ ගීතිකාවෙන් උපුටා ගත් එහි මාතෘකාවෙන්ම, මැවිල්ල කෙරෙහි තිබිය යුතු ගෞරවය සහ ආදරය සිහිපත් කළේය.
‘Laudato Si’ හි හරය වූයේ "සමස්ථ පාරිසරික දැක්ම" (integral ecology) නම් සංකල්පයයි. එනම්, පෘථිවියේ හඬ (පරිසර විනාශය) සහ දිළිඳුන්ගේ හඬ (සමාජ අසාධාරණය) එකිනෙකින් වෙන් කළ නොහැකි, එකම අර්බුදයක පැතිකඩ දෙකක් බව එතුමන් පෙන්වා දුන්නේය. පරිසර විනාශයෙන් වඩාත්ම පීඩාවට පත්වන්නේ දිළිඳු සහ අසරණ ප්‍රජාවන් බවත්, පාරිසරික යුක්තිය සහ සමාජ යුක්තිය එකිනෙකට බැඳී ඇති බවත් එතුමන් තර්ක කළේය.
"පොළොවේ හඬ සහ දිළිඳුන්ගේ හඬ තවදුරටත් නොඇසී සිටිය නොහැක."
මෙම විශ්ව ලේඛනය සුවිශේෂී වූයේ එය හුදෙක් කතෝලිකයන්ට පමණක් නොව, "පෘථිවි ග්‍රහයා නම් අපගේ පොදු නිවහනේ අනාගතය පිළිබඳව සංවාදයකට එළඹෙන ලෙස සියලු මිනිසුන්ට" කරන ලද ආරාධනයක් වීමයි. එය විද්‍යාත්මක දත්ත, දේවධර්මීය තර්ක, ආධ්‍යාත්මික මෙනෙහි කිරීම් සහ සමාජ විග්‍රහයන්ගෙන් සමන්විත වූ අතර, පාරිසරික අර්බුදයේ මානව මූලයන් - විශේෂයෙන්ම තාක්ෂණික කේන්ද්‍රීය චින්තනය, පාරිභෝගිකවාදය සහ "ඉවතලෑමේ සංස්කෘතිය" (throwaway culture) - නිර්භයව විවේචනය කළේය. එතුමන් "පාරිසරික පාපය" (ecological sin) පිළිබඳව කතා කරමින්, හෘද සාක්ෂි පරීක්ෂාවක් සහ "පාරිසරික හැරීමක්" (ecological conversion) සඳහා සියල්ලන්ට ඇරයුම් කළේය.
‘Laudato Si’ ලොව පුරා විශාල බලපෑමක් ඇති කළේය. එය දේශපාලන, ආගමික සහ විද්‍යාත්මක ක්ෂේත්‍ර හරහා සංවාද උත්ප්‍රේරණය කළේය, ජාත්‍යන්තර දේශගුණික සාකච්ඡාවලට (COP සමුළු වැනි) සදාචාරාත්මක මානයක් එක් කළේය, සහ ෆ්‍රැන්සිස් සුදොතුම් පියාණන්ව ගෝලීය දේශගුණික ව්‍යාපාරයේ ප්‍රබල හඬක් ලෙස ස්ථාපිත කළේය. එතුමන්ගේ මෙම මැදිහත්වීම, ඇතැමුන් අපේක්ෂා නොකළ දෙයක් වුවද, එය එතුමන්ගේ ෆ්‍රැන්සිස්කානු නාමයට සහ දෙවියන් කෙරෙහි වූ විශ්වාසයට ගැඹුරින් මුල් බැස තිබුණි.
2023 දී, එතුමන් ‘Laudate Deum’ (දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා) නමින් තවත් අපෝස්තලික අනුශාසනාවක් නිකුත් කරමින්, ‘Laudato Si’ හි පණිවිඩය යළිත් තහවුරු කළේය. මෙවර එතුමන්ගේ ස්වරය වඩාත් තියුණු සහ ලෝක නායකයන්ගේ අක්‍රියාශීලීත්වය පිළිබඳව කෙළින්ම විවේචනය කරන්නක් විය. දේශගුණික විපර්යාස යනු හුදු පාරිසරික ප්‍රශ්නයක් නොව, මානව වර්ගයාගේ පැවැත්මට එල්ල වූ තර්ජනයක් බවත්, ඒ සඳහා කඩිනම් සහ සාමූහික ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවත් එතුමන් අවධාරණය කළේය.
සීමා මායිම් කරා ගිය සභාවක්
ෆ්‍රැන්සිස් සුදොතුම් පියාණන්ගේ පාප් පදවි කාලය පුරාම නිරන්තරයෙන් දෝංකාර දුන් තවත් ප්‍රධාන තේමාවක් වූයේ සභාව "සීමා මායිම්" (peripheries) කරා යා යුතු බවයි. මෙම සීමා මායිම් භූගෝලීය වශයෙන් දුරස්ථ, දිළිඳු, යුද්ධයෙන් පීඩිත ප්‍රදේශ මෙන්ම, සමාජයෙන් කොන්කරනු ලැබූ, අධ්‍යාත්මිකව අසරණ වූ, පැවැත්මේ අර්බුදවලට මුහුණ දෙන මිනිසුන් වෙසෙන "පැවැත්මේ සීමා මායිම්" (existential peripheries) ද විය. එතුමන්ගේ දැක්ම වූයේ, සභාව ආරක්ෂිත පවුරු තුළ රැඳී නොසිට, මෙම සීමා මායිම් කරා ගොස්, එහි වෙසෙන ජනතාව හමුවී, ඔවුන්ගේ කතාවලට සවන් දී, ඔවුන් සමග සහයෝගීව ගමන් කළ යුතු බවයි.
මෙම දැක්ම වඩාත් ප්‍රකට වූයේ එතුමන්ගේ අපෝස්තලික ගමන් බිමන් තුළිනි. පෙර පාප්වරුන් බොහෝ විට සංචාරය කළ ප්‍රධාන කතෝලික මධ්‍යස්ථාන සහ දියුණු රටවලට අමතරව, ෆ්‍රැන්සිස් සුදොතුම් පියාණන් සිතාමතාම ලෝකයේ අවධානයෙන් ගිලිහුණු, ගැටුම්වලින් පීඩිත, දුෂ්කර කලාප තෝරා ගත්තේය. මියන්මාරය, ඉරාකය (යුද්ධයෙන් පසු පාප්වරයෙකු ගිය පළමු අවස්ථාව), දකුණු සුඩානය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, ඇල්බේනියාව, මොංගෝලියාව වැනි රටවලට එතුමන් කළ සංචාර, හුදු රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් නොවීය. ඒවා, එම ජනතාවට සැනසීම ගෙන ඒමේ, ඔවුන්ගේ දුක් වේදනා ලෝකයට කියා පෑමේ, ආගම් අතර සංවාදය සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීත්වයේ ගැඹුරු ක්‍රියා විය. විශේෂයෙන්ම, මධ්‍යධරණී මුහුදේ ගිලී මිය යන සංක්‍රමණිකයන් සිහි කරමින් එතුමන් ලම්පෙඩූසා දූපතට කළ මුල්ම සංචාරය සහ ලෙස්බොස් දූපතේ සරණාගත කඳවුරු වෙත ගොස් සිරියානු පවුල් තුනක් වතිකානුවට රැගෙන ඒම, එතුමන්ගේ හදවතේ වූ දයාව සහ "උදාසීනත්වයේ ගෝලීයකරණය" (globalization of indifference) ට එරෙහි එතුමන්ගේ ස්ථාවරය ලොවට කියා පෑවේය.
සීමා මායිම් වෙත යාම, එතුමන්ගේ කාදිනල්වරුන් පත්කිරීම් තුළින් ද පිළිබිඹු විය. සාම්ප්‍රදායිකව කාදිනල්වරුන් බිහි වූ යුරෝපීය සහ ඉතාලි මධ්‍යස්ථානවලට වඩා, ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ සහ ඕෂනියාවේ කුඩා, දුෂ්කර, බොහෝ විට නොසලකා හරින ලද රදගුරු පදවිවලින් එතුමන් කාදිනල්වරුන් පත් කළේය. ටොංගා, මියන්මාරය, බංග්ලාදේශය, ලාඕසය, හයිටි, මධ්‍යම අප්‍රිකානු ජනරජය වැනි රටවලින් ප්‍රථම වරට කාදිනල්වරුන් බිහිවීම, කාදිනල් මණ්ඩලයේ භූගෝලීය සහ සංස්කෘතික විවිධත්වය වැඩි කළා පමණක් නොව, රෝමයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට පෙර නොඇසුන හඬවල් සහ අත්දැකීම් දායක කර ගැනීමට මග පෑදීය.
තවද, සීමා මායිම්වල ජීවත් වෙමින්, දිළිඳුන් සහ පීඩිතයන් වෙනුවෙන් තම ජීවිත පූජා කළ ශුද්ධවන්තයන්ව ඔසවා තැබීමට ද එතුමන් ක්‍රියා කළේය. එල් සැල්වදෝරයේ අගරදගුරු ශාන්ත ඔස්කා රොමේරෝ, සහරා කාන්තාරයේ දිළිඳුන් අතර ජීවත් වූ ශාන්ත චාල්ස් ද ෆූකෝල්ඩ්, රොමේරෝ හිමිපාණන්ගේ සමීපතමයෙකු වූ සහ ඝාතනයට ලක්වූ භාග්‍යවත් රුතිලියෝ ග්‍රන්දේ පියතුමන් වැනි චරිත ශුද්ධවන්ත භාවයට එසවීම, යුක්තිය සහ දිළිඳුන් අතර සිටීම ශුද්ධවන්ත භාවයේ අත්‍යවශ්‍ය අංග බවට වූ පණිවිඩය යැවීය. මෙමගින්, ශුද්ධවන්තකම යනු ලෝකයෙන් වෙන්වී සිටීම නොව, ලෝකය තුළ, විශේෂයෙන්ම එහි වේදනාකාරී තැන්වල, ජේසුස් වහන්සේගේ දයාව සහ යුක්තිය සාක්ෂි දැරීම බව එතුමන් පෙන්වා දුන්නේය. මෙම පිටතට යොමු වූ දැක්ම, ඉතිහාසිකව යුරෝකේන්ද්‍රීය වූ සභාවකට අභියෝගයක් වූ අතර, සාම්ප්‍රදායික බල කේන්ද්‍රවලින් ඔබ්බට බැලීමේ නොමැකෙන උරුමයක් ඉතිරි කර ගියේය.
ඇතුළතින් ඇරඹි ප්‍රතිසංස්කරණ
ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ පාප් පදවි කාලය, සභාවේ අභ්‍යන්තර ව්‍යුහයන්, විශේෂයෙන්ම රෝම කියුරියාව (වතිකානු පරිපාලන ව්‍යුහය) ප්‍රතිසංස්කරණය කිරීමේ උත්සාහයන්ගෙන් ද සලකුණු විය. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සංකීර්ණ වූ අතර, එය ඇතැම් ප්‍රතිසංස්කරණවාදීන්ට අනුව ඉතා මන්දගාමී වූ අතර, ඇතැම් සම්ප්‍රදායිකවාදීන්ට අනුව ඉතා රැඩිකල් සහ අවදානම් සහගත විය. කෙසේ වෙතත්, එතුමන්ගේ මූලික අරමුණ වූයේ හුදෙක් ව්‍යුහයන් වෙනස් කිරීම පමණක් නොව, එම ව්‍යුහයන් තුළ සේවය කරන පුද්ගලයන්ගේ හදවත් සහ මානසිකත්වය තුළ "එඬේර හැරීමක්" (pastoral conversion) ඇති කිරීමයි. සභාවේ පරිපාලනය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, සහ සියල්ලටම වඩා, සභාවේ මූලික මෙහෙවර වන ශුභාරංචිය ප්‍රකාශ කිරීමට සහ දයාව පිරිනැමීමට සේවය කරන්නක් බවට පත් කිරීම එතුමන්ගේ ඉලක්කය විය.
මෙම ප්‍රතිසංස්කරණවල කූටප්‍රාප්තිය වූයේ 2022 දී ප්‍රකාශයට පත් කරන ලද ‘Praedicate Evangelium’ (ශුභාරංචිය දේශනා කරන්න) නම් අපෝස්තලික ව්‍යවස්ථාවයි. මෙමගින් රෝම කියුරියාව සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කරන ලදී. එහි ප්‍රධානතම වෙනස වූයේ සුභාරංචි ප්‍රකාශනය සඳහා වූ කාර්‍යංශය (Dicastery for Evangelization) කියුරියානු ව්‍යුහයේ ප්‍රමුඛතම ස්ථානයට පත් කිරීමයි. මෙය, සභාවේ මූලික මෙහෙවර පරිපාලන ව්‍යුහයේ හදවතටම ගෙන ඒමේ සංකේතාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාවක් විය. තවද, මෙම ව්‍යවස්ථාව මගින් ප්‍රථම වරට ගිහියන්ට වතිකානු ආයතනයන්හී(Dicastery) ප්‍රධානියා ලෙස පත් වීමට නීත්‍යානුකූලව ඉඩ සලසා දීම, පූජක ප්‍රමුඛවාදයට එරෙහි වැදගත් පියවරක් විය. එමෙන්ම, තීරණ ගැනීමේදී ප්‍රාදේශීය රදගුරු සම්මේලනවලට වැඩි බලයක් ලබා දෙමින්, යම් මට්ටමක විමධ්‍යගතකරණයක් ද එයින් අපේක්ෂා කෙරිණි.
මීට අමතරව, ෆ්‍රැන්සිස් සුදොතුම් පියාණන් වතිකානු මූල්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සැලකිය යුතු උත්සාහයක් දැරීය. වතිකානු බැංකුව සහ අනෙකුත් මූල්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම, මූල්‍ය අපචාර සහ දූෂණවලට එරෙහිව දැඩි පියවර ගැනීම, සහ නව ආර්ථික ලේකම් කාර්යාලයක් පිහිටුවීම ඒ අතර විය. මෙම ප්‍රතිසංස්කරණ අභ්‍යන්තර ප්‍රතිරෝධයන්ට මුහුණ දුන් අතර, ඒවායේ සම්පූර්ණ සාර්ථකත්වය පිළිබඳව විවාද පැවතියද, දිශානතිය පැහැදිලිවම විනිවිදභාවය සහ වගවීම දෙසට යොමු විය.
සභාව මුහුණ දෙන වේදනාකාරීම අභියෝගයක් වූ ළමා අපයෝජන අර්බුදය සම්බන්ධයෙන් ද එතුමන් වැදගත් පියවර ගණනාවක් ගත්තේය. අපයෝජනයන් වසන් කරන හෝ නොසලකා හරින බිෂොප්වරුන් සහ ආගමික නායකයන් වගවීමට ලක් කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන ලදී. අපයෝජනයට ලක්වූවන්ගේ හඬට සවන් දීමේ සහ ඔවුන්ව විශ්වාස කිරීමේ වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කෙරිණි. අපයෝජන නඩු සම්බන්ධයෙන් පැවති "පාප් රහස්‍යභාවය" (pontifical secret) ඉවත් කිරීම ද වැදගත් පියවරක් විය. කුඩා දරුවන්ගේ ආරක්ෂාව සඳහා වූ පාප් කොමිසම (Pontifical Commission for the Protection of Minors) පිහිටුවන ලද්දේ ද මෙම අර්බුදයට ප්‍රතිචාරයක් වශයෙනි. මෙම ක්ෂේත්‍රයේදී ද, ක්‍රියාත්මක කිරීමේ වේගය සහ ස්ථාවරත්වය පිළිබඳව විවේචන පැවතියද, වින්දිතයන් කේන්ද්‍ර කරගත්, වගවීම සහතික කරන දිශානතියක් ස්ථාපිත කිරීමට එතුමන් උත්සාහ කළේය.
පරස්පරතා දරාගත් ගැඹුරු මනුෂ්‍යත්වය
ෆ්‍රැන්සිස් සුදොතුම් පියාණන් බොහෝ විට ආතතිය සහ සමතුලිතතාවය එකට දරා සිටි චරිතයක් විය. එතුමන් එක් අතකින්, කතෝලික සභාවේ සාම්ප්‍රදායික ඉගැන්වීම්වල සහ භක්ති අභ්‍යාසවල ගැඹුරින් මුල් බැස සිටියේය. විශේෂයෙන්ම සක්‍රමේන්තු දේවධර්මය පිළිබඳ එතුමන්ගේ ස්ථාවරයත්, දේව මෑණියන් කෙරෙහි, විශේෂයෙන් "ගැට ලිහන දේව මාතාවන්" (Mary, Undoer of Knots) කෙරෙහි එතුමන් දැක්වූ ගැඹුරු, පෞද්ගලික භක්තියත් මෙයට නිදසුන්ය. එතුමන් කිසිවිටෙකත් සභාවේ මූලික විශ්වාසයන් හෝ සදාචාර ඉගැන්වීම් වෙනස් කිරීමට උත්සාහ කළේ නැත.
එහෙත්, අනෙක් අතට, එතුමන් එම ඉගැන්වීම් ප්‍රායෝගික ජීවිතයට අදාළ කිරීමේදී සහ මිනිසුන්ගේ සංකීර්ණ, බොහෝ විට අවිධිමත් තත්වයන්ට එඬේර ප්‍රවේශයකින් මුහුණ දීමේදී අතිශයින් නිර්භීත, දයාන්විත සහ ඇතැම් විට සාම්ප්‍රදායික රාමු බිඳ දමන්නෙක් විය. ‘Amoris Laetitia’ (ප්‍රේමයේ ප්‍රීතිය) නම් අපෝස්තලික අනුශාසනාවේදී, දික්කසාද වී සිවිල් නීතිය යටතේ නැවත විවාහ වූවන් සම්බන්ධයෙන්, නීතියේ අකුරටම ක්‍රියා කරනවා වෙනුවට, එක් එක් පුද්ගලයාගේ හෘද සාක්ෂියට ගරු කරමින්, වටහා ගැනීමෙන් සහ දයාන්විතව ඔවුන් සමග ගමන් කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම, මෙම එඬේර ප්‍රවේශයට කදිම නිදසුනකි. මෙය ඇතැමුන් විසින් සභා ඉගැන්වීම් ලිහිල් කිරීමක් ලෙස විවේචනය කළ අතර, තවත් අය එය දයාවේ ප්‍රායෝගික ක්‍රියාත්මක වීමක් ලෙස පැසසූහ.
ගබ්සාව කුලී මිනීමැරුමක් වැනි යැයි කියමින් එයට එරෙහිව දැඩි ස්ථාවරයක සිටිමින්ම, දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන කාන්තාවන් කෙරෙහි ගැඹුරු අනුකම්පාවක් සහ සහයෝගයක් දැක්වීමට එතුමන් පසුබට නොවීය. සිනොඩලීයතාව හෙවත් "එකට සවන් දීමේ" සහ "එකට ගමන් කිරීමේ" ක්‍රියාවලිය දැඩි ලෙස ප්‍රවර්ධනය කරමින්ම, ඇතැම් ප්‍රතිසංස්කරණ සහ පත්කිරීම් සම්බන්ධයෙන් ශක්තිමත් පාප් අධිකාරියක් ක්‍රියාත්මක කිරීමට ද එතුමන් පසුබට නොවීය.
මෙම පරස්පරතා, ෆ්‍රැන්සිස් සුදොතුම් පියාණන්ව තේරුම් ගැනීමට අපහසු, ඇතැම් විට මතභේදාත්මක චරිතයක් බවට පත් කළේය. ඇතැමුන් එතුමන්ව දුටුවේ සම්ප්‍රදාය අස්ථාවර කරන්නෙකු ලෙසය; තවත් අය දුටුවේ සභාව කාලීන අවශ්‍යතාවලට අනුව යාවත්කාලීන කරන්නෙකු ලෙසය. එහෙත්, මෙම පරස්පරතා බොහෝ විට පිළිබිඹු කළේ ජීවිතයේ සහ ඇදහිල්ලේම පවතින සංකීර්ණතා සහ ආතතීන්ය. එතුමන් උත්සාහ කළේ, ශුභාරංචිය තුළම පවතින දයාව සහ සත්‍යය, නීතිය සහ කරුණාව, පුද්ගලයා සහ ප්‍රජාව වැනි පෙනෙන පරිදි ප්‍රතිවිරුද්ධ වූ සත්‍යයන් එකට දරා ගැනීමටය. මෙමගින් එතුමන් බොහෝ දෙනෙකුට වඩාත් සමීප, වඩාත් සැබෑ චරිතයක් බවට පත් විය.
එතුමන්ගේ මෙම පරස්පරතා සමග අත්වැල් බැඳගෙන ගියේ එතුමන්ගේ ගැඹුරු, අව්‍යාජ මනුෂ්‍යත්වයයි. පාප් පදවිය වටා ගොඩනැගී තිබූ දුරස්ථ, විධිමත්, ඇතැම් විට රාජකීය ස්වභාවය බිඳ දමමින්, එතුමන් පාප් පදවියට වඩාත් මිනිස් මුහුණුවරක් ලබා දුන්නේය. පදවියට පත් වූ විගස තමන් නැවතී සිටි හෝටලයේ බිල පෞද්ගලිකව ගෙවීමට යාම, සුඛෝපභෝගී අපෝස්තලික මන්දිරය වෙනුවට සාමාන්‍ය අමුත්තන් සමග සාන්තා මාර්තා නේවාසිකාගාරයේ ජීවත් වීමට තීරණය කිරීම, දුක් කරදරවලට මුහුණ දුන් සාමාන්‍ය මිනිසුන්ට අනපේක්ෂිත ලෙස දුරකථන ඇමතුම් ලබා දීම, තමන්ගේ ගමන් මලු තමන් විසින්ම රැගෙන යාම වැනි සරල ක්‍රියා, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ හදවත් ස්පර්ශ කළේය.
එතුමන් ප්‍රසිද්ධියේ සිනාසුණේය, විහිළු කළේය, ඇතැම් විට කෝපය හෝ නොඉවසිලිමත් බව පවා ප්‍රදර්ශනය කළේය . මෙම අව්‍යාජ හැඟීම් ප්‍රකාශ කිරීම්, එතුමන්ව හුදු සංකේතාත්මක චරිතයකට වඩා, හැඟීම් දැනීම් ඇති, වැරදීම් පවා කළ හැකි සැබෑ මිනිසෙකු ලෙස ලොවට පෙන්වීය. එතුමන් නිතරම තමන්ව හැඳින්වූයේ "දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කරනු ලැබූ පව්කාරයෙකු" ලෙසය. මෙම නිහතමානී ස්වයං-අවබෝධය, එතුමන්ගේ දයාව පිළිබඳ පණිවිඩයට අමතර විශ්වසනීයත්වයක් ලබා දුන්නේය.
එතුමන්ගේ පසුකාලීන ජීවිතයේදී මුහුණ දුන් ශාරීරික දුබලතා, දණහිසේ ආබාධය නිසා රෝද පුටුවක් භාවිතා කිරීමට සිදුවීම, ශ්වසන අපහසුතා පවා එතුමන්ගේ මනුෂ්‍යත්වය සහ නොසැලෙන කැපවීම තවදුරටත් ඉස්මතු කළේය. එම දුෂ්කරතා මධ්‍යයේ වුවද, එතුමන් වෙහෙසකර අපෝස්තලික ගමන් බිමන්වල නිරත වූ අතර, සිය එඬේර මෙහෙවර අඛණ්ඩව ඉටු කළේය.
එතුමන්ගේ සන්නිවේදන විලාසය ද එතුමන්ගේ මනුෂ්‍යත්වයේ කොටසක් විය. සාම්ප්‍රදායික වතිකානු වාග් මාලාවෙන් බැහැරව, එතුමන් බොහෝ විට සරල, සෘජු භාෂාවක් භාවිතා කළේය. මෙය එතුමන්ගේ පණිවිඩය සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට ඉඩ සැලසූ අතර, එතුමන්ව වඩාත් ප්‍රවේශ විය හැකි චරිතයක් බවට පත් කළේය. කෙසේ වෙතත්, මෙම සෘජු බව ඇතැම් විට වැරදි ලෙස වටහා ගැනීමට හෝ සන්දර්භයෙන් බැහැරව උපුටා දැක්වීමට ද හේතු විය.
සමස්තයක් ලෙස ගත් කල, ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ගැඹුරු මනුෂ්‍යත්වය, පාප් පදවිය වටා තිබූ අභිරහස්‍යමය ස්වභාවය ඉවත් කර, එය ජේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින්, "සේවකයන්ගේ සේවකයා" ලෙස දිළිඳුන්ට සහ පීඩිතයන්ට සේවය කිරීමේ මෙහෙවරක් බව යළි තහවුරු කළේය. එතුමන්ගේ වියෝවෙන් ශෝක වන බොහෝ දෙනෙකුට, එතුමන් හුදෙක් සභා නායකයෙකු පමණක් නොව, තමන්ගේම දුර්වලතා සහ ශක්තීන් සහිත, දයාබර පියෙකු, සහෝදරයෙකු සහ මිත්‍රයෙකු බඳු විය.