දෙයියන්ට මීට වඩා හොඳ ලෝකයක් මවන්න බැරිද?
මේ ලෝකය දිහා හොඳට බලන ඕන කෙනෙකුට කලකිරීමක් ඇති වෙනවා; අප්‍රසන්න බවක් ඇති වෙනවා.මේ ලෝකයේ ජීවිතය අනියතයි; දුකයි; වේදනාත්මකයි; තණ අග රැඳුනු පිනි බිඳුවක් වගේ. කිසිම කෙනෙක් නොමළ ගෙයකින් අබ ඇටයක්වත් හොයාගන්න බැරි තරම්.ඒ අස්සෙන් ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ කොරෝනා කියලා වසංගතයකුත් ඇවිත් මිනිස්සු මිලියන ගණන් මැරෙනවා.කොරානා නැතත් කන්න පාන් කෑල්ලක්වත් නැතුව මිනිස්සු මිලියන ගණන් මැරෙනවා.ඒ නැතත් රිය අනතුරු නිසා දවසකට කීදෙනෙක් නම් මැරෙනවද? තුවාල වෙනවද? උදේට ගෙදරින් එළියට බහින අයගෙන් කීයෙන් කීදෙනාද යහතින් ආපහු ගෙදර එන්නේ? මහ දවල් මිනිස්සුන්ව මංකොල්ල කන ලෝකයේ, රෑටවත් සැනසීමක් තියෙයිද? රෑටවත් සැනසීමේ නිදා ගන්නේ කොහොමද? මහන්සියෙන් රැස් කරපු සියල්ල එක රැයින් කවුරු හෝ ඩැහැ ගනියි කියලා පොඩි සද්දෙටත් රෑට බයවෙලා ඇහැරෙනවා. මේ සියල්ල දැක දැකත් "හරිම බලවත්ය, මාර ගුණවත්ය" කියමින් ඉරිදට පල්ලි යන අපි කොහෙද නැති දෙවි කෙනෙක්ගේ ගුණ වයනවා.ඒ කියන දෙවියෝ ඒ තරම් බලවත් නම්, ඔය තරම් ආදරණීය නම් ඇයි එයා මේ වගේ ලෝකයක තමන් ආදරය කරන මිනිස්සුන්ට දුක් විඳින්න සැලැස්සුවේ? සියල්ලම කළ හැකියි කියන එයාට මීට වඩා හොඳ ලෝකයක් මවන්නට බැරිද?
මේ අදෝනාව අපිට හරිම හුරුයි.මොකද අපි ජීවත් වෙන රටේ උනත් බහුතරයකගේ ජීවිත දර්ශනය පදනම් වෙලා තියෙන්නේ ඔය වගේ අදෝනාවල් මත. නමුත් අපි දැන් මේ අදෝනාව නතර කරන්න ඕන. මොකද දෙවියන් වහන්සේට පුලුවන් මීට වඩා හොඳ ලෝක එකක් නෙමෙයි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් උනත් මවන්න.නමුත් එහෙම තියෙද්දිත් උන්වහන්සේ මැව්වේ මේ වගේ ලෝකයක්.ඇයි ඒ? උන්වහන්සේ එහෙම කළේ ඇයි? මේ සංකීර්ණ ප්‍රශ්නය සරල කර ගන්න අපි අපේ අපේ එදිනෙදා ජීවිතය දෙසට මඳක් හැරී බලමු.
ඉතා පොහොසත් පවුලක උපත ලැබූ දරුවෙකුට සෙල්ලම් ගෙයක් සකසා ගැනීමට අවශ්‍යය උනා. දරුවාගේ දෙමව්පියන්ද ලෝකයේ සිටින හොඳම ගෘහ නිර්මාණ ශිල්පියා ලවා ලෝකයේ තිබෙන හොඳම සෙල්ලම් ගෙය එම දරුවාට සාදා දුන්නා.පසුව එම දරුවා තම සෙල්ලම් ගෙදර සෙල්ලම් කිරීම සඳහා තම මිතුරන්ටද ආරාධනා කළා.නමුත් සෙල්ලම් කිරීමට පැමිණි මිතුරන් ඔහුව හාස්‍යයට ලක් කරේ මෙලෙස පවසමින්;
"මේ මොකක්ද මේ? ලෝකයේ ඉන්න හොඳම ගෘහ නිර්මාණ ශිල්පියාට හදන්න පුළුවන් වෙච්ච හොඳම ගෙදර මේකද? මීට වඩා අපේ ගෙදර ඉඩ තියෙනවා. මීට වඩා අපේ ගෙදර ලස්සනයි.මීට වඩා අපේ ගෙදර පහසුකම් තියෙනවා.ඔයා නම් මහා බොරුකාරයෙක්! මේ ගෙදර හැදුවේ ලෝකයේ ඉන්න හොඳම ගෘහ නිර්මාණ ශිල්පියා නම්, මේක අපේ ගෙදරටත් වඩා පුංචි ඇයි?"
ඒ කුඩා දරුවන්ට අමතක වූයේ කුමක්ද? ඔහුන්ට මෙම නිර්මාණය පිටුපස ඇති සැබෑ අරමුණ අමතක විය.එනම්, එය සෙල්ලම් කිරීමේ අරමුණින් සෑදූ නිවසක් මිසක ජීවත් වීමේ අරමුණින් සෑදූ නිවසක් නොවන බවයි.යම් නිර්මාණයක් පිටුපස ඇති සැබෑ අරමුණ අමතක කළ විට ඔබ එය අසාධාරණ ලෙස විවේචනය කිරීමටත්, වැරදි නිගමන වලට එළඹීමටත් පෙළඹෙයි.එවැනි අය බත් කෑමට පිඟානක් වෙනුවට බේසමක් භාවිත කළද, වතුර බීමට වතුර වීදුරුවක් වෙනුවට ජල ටැංකියක් භාවිත කළද, සිරුරේ ප්‍රමාණයට වඩා ඉතා විශාල හෝ ඉතා කුඩා ඇඳුම් පැළඳුම් භාවිත කළද එහි එතරම් පුදුමයක් නැත. මක්නිසාද එම නිර්මාණය පිටුපස ඇති සැබෑ අරමුණ ඔහුන් අමතක කර ඇති බැවිනි; නොසළකා හැර ඇති බැවිනි.
දෙවියන් වහන්සේ මෙවැනි ලෝකයක් නිර්මාණය කිරීම පිටුපසද යම් අරමුණක් තිබිය යුතුයි.එලෙසම ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවසක් සෑදීමට පෙර එහි සැලැස්ම හා එය සෑදීමේ අරමුණ තම මනසෙහි තබා මෙනෙහි කරන්නා සේ මේ ලෝකය නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේගේ මනස තුළ තිබූ අරමුණ හා සැලසුම ඉටු කර ගැනීම සඳහා වඩාත්ම සුදුසුම ගනයේ ලෝකයේ වූයේ මෙයයි.මෙවැනි ලෝකයක් සැදීම පිටුපස දෙවියන් වහන්සේගේ අරමුණ වූයේ කුමක්ද? දෙවියන් වහන්සේට අවශ්‍යය වූයේ "සදාචාරාත්මක විශ්වයක්" ( moral universe ) නිර්මාණය කිරීමටයි.එනම් මානව පුද්ගලයින්ගේ "කල්කිරියාව එළිදරව් වන" ( character would emerge ) වේදිකාවක් නිර්මාණය කිරීමට උන්වහන්සේ අනාදියේ සිටම කැමැත්තෙන් සිටියේය.
දෙවියන් වහන්සේට අවශ්‍යය නම් තිබුණා කිසිදු සදාචාරයක් නොමැති, සීලයක් නොමැති හා කල්කිරියාවක් ඉස්මතු නොවන විශ්වයක් නිර්මාණය කිරීමට.දෙවියන් වහන්සේට අවශ්‍යය නම් තිබුණා ඉර නැගෙනහිරින් බැහැලා බටහිරින් බැස යනවා වගේම නියත ලෙසට, අප සැම දෙනාම හොදකමම පමණක් වපුරන විශ්වයක් නිර්මාණය කිරීමට.නමුත් උන්වහන්සේ අයිස් සීතලම පමණක් වනවා සේම, ගින්දර උණුසුම්ම පමණක් වනවා සේම, අපි යහපත්ම අය පමණක් වන ලෝකයක් සෑදීමට කැමති උනේ නැහැ.ඊට පටහැනිව උන්වහන්සේ "නිදහස් කැමැත්ත" ( free will ) නමැති ත්‍යාගයේ නිවැරදි භාවිතය මඟින් මානව පුද්ගලයින්ගේ කල්කිරියාව එළිදරව් වන සදාචාරාත්මක විශ්වයක් නිර්මාණය කිරීමට කැමති විය.
එවැනි විශ්වයක තත්වය කුමක්ද? මෙහිදී ඔහුන් වහන්සේට අපව නිදහස් කිරීමට සිදුවිය."ඔව්" හෝ "නැත" යැයි පවසමින් අපේ ඉරණමේ හා දෛවයේ නායකයන් බවට පත්වීම අපටම උරුම කොට දීමට උන්වහන්සේට සිදුවිය."සදාචාරය" ( morality ) යන්නෙන් වගකීම හා රාජකාරිය ගම්‍යමාන වේ.නමුත් මේවා පැවතිය හැක්කේ නිදහස් කැමැත්ත යන තත්වය මත පමණයි.ගල් කැට වලට කිසිදු සදාචාරයක් නැත.මක්නිසාදයත් ගල් කැට වලට නිදහස් කැමැත්තක් නැත.අයිස් කැට තාපය හමුවේ දියවෙන විට අයිස් කැට හෙළා දකින අඥාන අයෙක් සිටියිද? ගින්දර උණුසුම ලබාදෙන විට අත්පොළසන් දෙමින් ගින්දරට ස්තූති ප්‍රශංසා කර අගය කරන අඥාන අයෙක් සිටියිද? ප්‍රශංසාව හෝ හෙළාදැකීම දානය කළ හැක්කේ "තමන්ගේ කැමැත්තට තමන්ම ස්වාමිවරුන්" වන අය මත පමණි.
යමෙකුගෙන් නිදහස නමැති ගුණාංගය ඉවත් කර දමන්න.එවිට ඔහු විසින්ම තම පයින් පාගා දමන තණකොළ කොළයකට වඩා සිල්වත් වීමට ඔහුට හැකියාවක් නැත.ජීවිතයෙන් නිදහස ඉවත් කර දමන්න.එවිට තමන්ව පුච්චා දමන දරකෝටු මිටිය දල්වන ගිනිදැල් වලට වඩා එහි දැවෙන ධෛර්යවන්ත ප්‍රාණ පරිත්‍යාගිවරුන්ට ගරු කිරීමට කිසිදු හේතුවක් නැත.ඔබ දෙවියන් වහන්සේට දෝෂාරෝපණය කරන්නේ උන්වහන්සේ මෙවැනි රසායනික ද්‍රව්‍ය අධිරාජ්‍යයක් ( empire of chemicals ) පාලනය කිරීමට තෝරා නොගත් නිසාද? බලහත්කාරයෙන් පාලනය කරන රසායනික අධිරාජ්‍යයක් වෙනුවට, නිදහස මඟින් පාලනය කරන ලොවක් උන්වහන්සේ හිතාමතාම තෝරාගත්තා නම් සහ උන්වහන්සේගේ යටත් වැසියන් ලෙස තාරකා හා පරමාණු ආදියට එම නිදහස නැති විට අපට පමණක් උන්වහන්සේගේ කැමැත්තට එරෙහි වීමේ හැකියාව ඇති නම්, ඉන් ඔප්පු වන්නේ උන්වහන්සේ විසින් නියත වශයෙන්ම උන්වහන්සේට ඇති පක්ෂපාතී බව බිඳ දැමීමට මානව පුද්ගලයාට අවස්ථාව ලබාදී ඇත්තේ නිදහස් කැමැත්තෙන් අප යමක් තෝරාගන්නා කල්හි එම පක්ෂපාතී බවට යම් අර්ථයක් හා අරමුණක් ඇති බැවින් නොවේද?
මේ ලෝකයේ ඇති නපුරට ඇති හැකියාව පිළිබඳව මෙතැනදී අපට ඉඟියක් ලැබේ.එනම් එය මානව පුද්ගලයාගේ නිදහස සමඟ බැඳී ඇති බවයි.මානව පුද්ගලයාට ආදරය කිරීමට නිදහස ඇත්තේ වෛර කිරීමටද නිදහස ඇති විටය; කීකරු වීමට නිදහස ඇත්තේ කැරලි ගැසීමටද නිදහස ඇති විටය.මෙම සිද්ධි මූලික අනුපිළිවෙළෙහි සීලවත් විය හැක්කේ ඊට පටහැනිව දුස්සීලවත් වීමටද හැකියාව ඇති විටය. ශුද්ධවූ සභාව තුළ යමෙකුට ශුද්ධවන්තයෙකු වීමට හැකියාව ඇත්තේ ඊට පටහැනිව යක්ෂයෙකු වීමටද හැකියාව ඇති විටය."මම දෙයියෝ උනා නම්, මම නපුර නැති කර දමනවා යැ"යි කවුරුන් හෝ පැවසුවහොත් සැබවින්ම ඔහු පවසන්නේ ඔහු මානව පුද්ගලයාගේ නිදහස නැති කර දමන බවයි.නමුත් දෙවියන් වහන්සේ මානව පුද්ගලයාගේ නිදහස නැති කර දමන්නේ නැත.දෙවියන් වහන්සේ දන්නවා නම් මම පව් කරනවා කියලා ඇයි ඔහු අපිව මැව්වේ? දෙවියන් වහන්සේ කිසිමදාක අපව පව්කරුවන් වීමට මැව්වේ නැත.අපව පව්කරුවන් බවට පත් කර ගත්තේ අපමයි.ඒ අර්ථයෙන් ගත් කල නම්, අපේ නිර්මාණකරුවන් වනුයේ අපමයි.දෙවියන් වහන්සේ මිනිසාට දුන් ලොකුම ත්‍යාගය හා වරප්‍රසාදය වන්නේ මිනිස් නිදහසේ ත්‍යාගය හා උන්වහන්සේට නැවත පෙරළා ප්‍රේම කිරීමට ඇති බලයයි.
"දෙවියන් වහන්සේට පාපයෙන් තොරව පැවතිය හැකිය.ඒ හා සැසඳීමේදී ඊට වෙනස්ව පාපයට යහපතින් තොරව පැවතිය නොහැකියි" - ( මහා දේවධර්මවේදී තෝමස් ඇක්වයිනාස් මුනිතුමා ).
"ලෝකයේ ඇති නපුර නිතැතින්ම දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳව මට සැකයක් ඇති නොකරයි.නපුරක් නොමැති නම් දෙවි කෙනෙක්ද නොසිටිය යුතුය.නිල ඇඳුමක් සිදුරු වීමට පෙර නිල ඇදුමක් තිබිය යුතුය; මරණයට පෙර නිතැතින්ම ජීවිතය තිබිය යුතුය; වරදකට පෙර නිතැතින්ම නිවැරදි දෙයක් තිබිය යුතුය; අපරාධයකට පෙර නිතැතින්ම නිදහස හා නීතිය තිබිය යුතුය; යුද්ධයකට පෙර නිතැතින්ම සාමය තිබිය යුතුය; දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසූ යක්ෂයාට පෙර නිතැතින්ම දෙවියන් වහන්සේ සිටිය යුතුය" - ( වන්දනීය ෆූල්ටන් ජේ.ෂීන් අගරදගුරුතුමා ).
කිතුනු අපේ දේවධර්ම දිනපොත