පරමණ්ඩල යාච්ඤාව

පරමණ්ඩල යාච්ඤාව
Photo by Christopher-Lorenzo C / Unsplash
යාච්ඤාවෙන්  මිස අන් මඟකින් මෙවැනි ආත්ම දුරුකළ නොහැකි ය.
[ශු. මාක් 9:29]
උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක්‌ කතා කොට," ස්වාමීනී, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ"යි කීවේ ය.
[ශු. ලූක් 11.1]

ක්‍රිස්තුස් වහන්සේගේ පෙරමග සකසන්නා වූ ස්නාවක ජොහන් ද තම ගෝලයන්ට යාච්ඤා කිරීමට ඉගැන්වූ බැවින් හා ක්‍රිස්තුස් වහන්සේ ද තම ප්‍රාතිහාර්ය( යකුන් දුරු කිරීම ) හරහා ගෝලයින් හට යාච්ඤාවේ වැදගත්කම කියා දුන් බැවින් ගෝලයින්ද යාච්ඤා  කිරීමට ඔවුන් හට උගන්වන්නැයි ක්‍රිස්තුස් වහන්සේට පැවසීය.

එහෙයින් අපද අපගේ උත්තම පූජකයාණන් වූ ක්‍රිස්තුස් වහන්සේද යාච්ඥා කළ බැවින් හා උන්වහන්සේ යාච්ඥාවේ බලගතුකම අපට පෙන්වා දුන් බැවින් අපද උන්වහන්සේ තම ගෝලයන්ට කියා දුන් පරිදි යාච්ඤා කිරීමට පෙළඹිය යුතුය.

නව ගිවිසුම තුළ සඳහන් වන්නා වූ බලගතුම යැදුම පරමණ්ඩල යාච්ඥාව වේ. ඊට ප්‍රධානම හේතුන් නම්,

♦️ ක්‍රිස්තුස්වහන්සේ විසින්ම මෙම යැඳුම අපට හඳුන්වාදීම.
♦️ යාඥාව තුළ තිබිය යුතු පරිපූර්ණ ව්‍යුහය මේ තුළ දක්නට ලැබීම.
♦️ පරමණ්ඩල යැදුම හරහා අප අපගේ අතීතය, වර්තමානය හා අනාගතය දෙවි පියාණන්ට භාර කිරීම යන හේතුන් ය.

යාච්ඤාව තුළ තිබිය යුතු පරිපූර්ණ ව්‍යුහය නම්,

  1. ප්‍රශංසාව
  2. වන්දනාව
  3. ඉල්ලීම
  4. කමාව අයැදීම
  5. දිව්‍ය සංරක්ෂණයට නතුවීම යන අංගයන්ය.

⭐ ප්‍රශංසාව

" ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණෙනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා!"

මනුෂ්‍යත්වය ගත් දේව පුත්‍රයාණන් විසින් අපට පියාණන් වහන්සේව එළිදරව් කර ඇත. ප්‍රසාද ස්නාපනය තුළින් දෙවියන් වහන්සේගේ දරුවන් වීම නිසා දෙවියන් වහන්සේට " අපගේ පියාණෙනි " කියා ඇමතීමට අපට හැකියාව ලැබී ඇත. තව ද " ස්වර්ගයේ වැඩ සිටින" යන වචන උච්චාරණය කිරීමේදී ස්ථානයක නොව ධර්මිෂ්ඨයන්ගේ හදවත් තුළ දෙවියන් වහන්සේගේ මහිමාන්නට වැඩ සිටීම අදහස් කරයි.
[ක.ස.ධ 2798,2802]

මෙම යැදුමේ පළමු ප්‍රකාශය  තුළින් ආමන්ත්‍රණය කරනුයේ "අපගේ" පියාණන් වහන්සේටය. එහි අර්ථය නම් උන්වහන්සේ මුළු මනුෂ්‍ය සංහතියේම පියාණන් වහන්සේ යන්න ය. එහෙයින් සියල්ලන්ටම තමාගේම සහෝදරයෙකුට මෙන් සැලකීමට මෙමගින් අපට ස්වාමින් වහන්සේ  ආරාධනා කරයි.

එලෙසම සියල්ලට ප්‍රථම දෙවියන් වහන්සේට ප්‍රශංසාව හිමි විය යුතු බවද උන්වහන්සේ අන් සියලු මැවිලිවලට වඩා අති ශුද්ධ වූ ද පවිත්‍ර වූ ද තැනැන් වහන්සේ බව අපගේ පුද්ගලික යාච්ඥාවන් වලදී වුවද ඉස්මතු කරලිය යුතු බව උන්වහන්සේ මෙම යැදුමෙන් අපට නිරූපණය කරලයි.

⭐ වන්දනාව

"ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා! ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහි ඉටු වේවා!"

මෙහිදී   අප බලාපොරොත්තු වනුයේ උන්වහන්සේගේ දේව රාජ්‍යයෙහි පැමිණීමයි. දේව රාජ්‍යය යනු දේව කැමැත්තට හා දේව පාලනයට නතුවීමයි. ඉන් ගම්‍ය වනුයේ දේව රාජ්‍ය යනු ඉහළ අහසේ ඇත්තක් නොව අපගේම පොළෝ තලයෙහිද, මනුෂ්‍ය අප හදවත් තුළද, අප වෙසෙන සංඝයන් තුළ වුවද දේව ප්‍රේමය හා දයාව විදහා දක්වමින් බිහිකළ හැකි රාජ්‍යයකි. මෙමගින් ස්වාමීන් වහන්සේ අපට අවධාරණය කරනුයේ අප මෙලොව තුළ ජීවත්වන කාලය තුළදී උන් වහන්සේගේ දේව කැමැත්ත හා පාලනයට නතු විමෙන් උන්වහන්සේගේ රාජ්‍යය තුල වූ ගුණාංගයන් වන ප්‍රේමය,ඉවසීම, කරුණාව වැනි යහපත් සාරධර්මයන් මෙලොව තුළදී ද ඇතිකරලීමට වෙර දැරිය යුතු බවයි.

⭐ ඉල්ලීම්

" අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව!"

භෝජනය යන්නෙන් අර්ථවත් වනුයේ අපගේ පැවැත්ම හා පෝෂණය යි . කිතුනු අපගේ පැවැත්මට හා පෝෂණය සදහා එදිනෙදා ආහාරය පමණක් නොසැහේ. මෙහිදී  ආහාරය ලෙස,

දිව්‍ය සංරක්ෂණය මත යැපීම හරහා අපට ලැබෙන්නා වූ එදිනෙදා භෝජනයද,

අධ්‍යාත්මික භෝජනය ලෙස,

  1. දේව වචනය
  2. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය අර්ථවත් කරයි.

අපගේ එකදු ම බලාපොරොත්තුව නම් ස්වර්ග රාජ්‍යයට පිවිසීමයි. එහෙයින් අපගේ ඉල්ලීමද ඒ හා සම්බන්ධ විය යුතුය. සදාතන රාජ්‍යයට පිවිසීමේ දොරටුව නම් උන්වහන්සේගේ වචනය හා මාංශයයි.

⭐ කමාව අයැදීම

"අපට වැරදි කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි ද කමා කළ මැනව."

අප උන්වහන්සේගේ පරමණ්ඩලය යැදුම අර්ථවත්ව යැදීමට පෙර අප අපගේ සතුරන්ට කමා කළ යුතුය. අන් අය කෙරෙහි වෛරය පිරි සිතක්‌ දරා ගනිමින් මෙම යැදුම සිය දහස් වතාවක් ප්‍රකාශ කලද එය අර්ථ විරහිත වන්නේය. මන්ද මෙහිදී ඔබට කමාව ලැබෙනුයේ ඔබ අන් අයට කමා කරන ආකාරයටම ය. ඒ හෙයින් උන්වහන්සේ අප වැනි නීච පව්කාරයන්ට කමා කරන ආකාරයටම; අපටත්  අන් අයට පරිපූර්ණ වූ ලෙස කමා කරමින් ප්‍රේම කරන ලෙස අපගේ ස්වාමීන් වහන්සේ මේ හරහා අපට උගන්වනු ලබයි.

එහෙත් මම ඔබට කියමි,  ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඥා කරන්න..... ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, එයින් ඇති විපාකය කුමක්ද? අයකැමියෝ පවා එසේ නොකරත්ද? ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහුනම්, එහි ඇති විශේෂය කුමක්ද? විජාතිකයෝ පවා එසේ නොකරත්ද?
[ ශු. මතෙව් 5:44, 46-47]

එබැවින් ඔබගේ ක්‍රිස්තියානිකම රඳා පවතින්නේ ඔබ සමාව දෙන පරිමාව අනුව ය.

⭐ දිව්‍ය සංරක්ෂණයට නතුවීම.

" පාප අවස්ථාවන්ට හසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. "

මෙහිදී,

  1. පාපයට වැටෙන්නා වූ අවස්ථාවන් හඳුනා ගැනීමට ශුද්ධාත්මයාණන් වහන්සේගේ මග පෙන්වීම ලබා දෙන ලෙස.
  2. පාප පරීක්ෂාවන් නොපැමිණෙන ලෙස.
  3. පාපයට නොවැටී සිටීමට අවැසි උට්ඨාන වීර්යය හෙවත් නොසැලෙන උත්සාහවන්ත බව හා සුපරික්ෂාකාරී බවේ දේව වරප්‍රසාදය ද ලබා දෙන මෙන් උන්වහන්සේගෙන් අයැද සිටි.

♦️ දෙවි පියාණන් වහන්සේට අතීතය වර්තමානය හා අනාගතය භාරදීම.

✳️ අතීතය - අපට වැරදි කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව.

අතීතයේදී සිදුවූ වරදකාරී ක්‍රියාවන් හට උන්වහන්සේගේ දයාප්‍රේමය තුළ කමාව ලබාගනිමින් පිවිතුරු දිවියක් ගත කිරීම සඳහා  දේව වරප්‍රසාදය ලබාදෙන මෙන්  අයැදීම් කරයි.

✳️ වර්තමානය - අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව .

දෙවියන් වහන්සේගේ පැවැත්ම හා දිව්‍ය සංරක්ෂණය නිතරම අත්දකිමින් අපගේ එදිනෙදා භෝජනය හා ආත්මික භෝජනය ලබා දෙන මෙන් අයැද සිටි.

✳️ අනාගතය - පාප අවස්ථාවන්ට හසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව.

අතීතයේදී හා වර්තමානයේදී උන්වහන්සේගේ මග පෙන්වීම නොමදව ලැබෙන්නා සේ අනාගතයේදී ද උන්වහන්සේ මත  යැපෙන බව අර්ථවත් කරයි.

සෑම යැදුමක්ම අවසානයේ "ආමෙන්"වශයෙන් අප ප්‍රකාශ කරනුයේ අප ඉල්ලූ දෑ නිසැකවම අපට ලැබෙනා බව විශ්වාස කරමින්ය. මෙය විශ්වාසයේ ප්‍රකාශයකි. මෙහිදී අපට ඉල්ලීමට පමණක් නොව ඉල්ලීම කෙරෙහි බලාපොරොත්තුවක් හා ආශාවක් උපදවා ගැනීමට ද  උගන්වන හෙයින් මෙම යැදුම සෑම අතකින්ම පරිපූර්ණ වූ යාච්ඤාවකි.

අප අයදින සියල්ල අපට නොවැරදිවම ලැබෙන බවට විශ්වාස කරමින් බැගැහැපත්ව හා සතුටින් පරමණ්ඩල යැදුම යාච්ඥා කළ යුතුය.
[ක.ස.ධ 2797]

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්