ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ – දෙවන කොටස

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ – දෙවන කොටස
Photo by Bruno van der Kraan / Unsplash

මෙම කොටසේ අන්තර්ගත වෛද්‍ය විද්‍යාත්මක යෙදුම් හැකි පමණින් අර්ථයට හානි නොවන ලෙස සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට උත්සහ කළ අතර එසේ නොහැකි අවස්තාවලදී මුල් ලිපියේ සඳහන් පරිදි ඉංග්‍රීසි භාෂාවෙන් එම යෙදුම් ඇතුළත් කර ඇත. මෙයට එක්කර ඇති රූප සටහන් තුලින් මැනවින් එම වෛද්‍ය විද්‍යාත්මක කරුණු පැහැදිළි කර ඇත.

කුරුසපත් කිරීමේ ක්‍රම

කුරුසපත් කිරීම බොහෝදුරට ආරම්භ වී ඇත්තේ පර්සියානුවන් අතරය. මහා ඇලෙක්සැන්ඩර් මෙම ක්‍රමය ඊජිප්තුවට සහ කාර්තෙජයට හඳුන්වා දී ඇති අතර, රෝමානුවන් මෙය ඉගෙනගන්නට ඇත්තේ කාර්තෙජවරුන්ගෙන් විය හැකිය. එලෙස, රෝමානුවන් කුරුසපත් කිරීම සොයා නොගත්තද, ඔවුන් එය වධ දීමේ ක්‍රමයක් ලෙස මෙන්ම උපරිම දුක් වේදනා සහිතව මන්දගාමීව මරණය කරා ගෙනයන මරණ දඬුවමක් ලෙස පරිපුර්ණ කර ඇත. එය අතිශය නින්දිත සහ කුරිරු මරණ දඬුවම් ක්‍රමයක් වූ අතර සාමාන්‍යයෙන් වහලුන්, විදේශිකයන්, විප්ලවවාදීන්, සහ දරුණු ගණයේ අපරාධකරුවන් සඳහා පමණක් වෙන්වූවක් විය. රෝමානු නීතිය විසින් රෝමානු පුරවැසියන් සාමාන්‍යයෙන් කුරුසපත් කිරීමෙන් ආරක්ෂා කෙරුනද හමුදාවෙන් ඉවත් වීම වැනි අවස්ථා වලදී මෙය ක්‍රියාත්මක කෙරිණි.

මෙහි පැරණිම පර්සියානු ක්‍රමයේ, වින්දිතයාව ගසක ගැටගැසීම හෝ සිරස් කණුවක ගැටගැසීම හෝ ඇණ ගැසීම සිදු කරනුයේ වරදකාරී වින්දිතයාගේ දෙපා ශුද්ධවූ භුමියේ නොගෑවෙන ලෙසය. පසුකාලීනව සැබෑ කුරුසියක් භාවිත කෙරුණු අතර; එය සිරස් කණුවකින් (stipes) සහ තිරස් දණ්ඩකින් (patibulum) සහ අනෙකුත් වෙනස්කම් (Table) වලින් ද සංලක්ෂිත විය. පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික සාක්ෂි මගින් ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේ පලස්තීනයේ සිටි රෝමානුවන් කෙටි තාඕ කුරුසිය (low Tau cross) වඩාත් ප්‍රිය කළ බව දැක්වුවද කුරුසපත් කිරීමේ ක්‍රම බොහෝවිට අදාළ භූගෝලීය කලාපය මත සහ මරණිය දණ්ඩනය පමුණුවන්නන්ගේ පරිකල්පනය මත වෙනස් වී ඇති අතර, ලතින් කුරුසිය (Latin cross) සහ අනෙකුත් ක්‍රම ද භාවිතා වන්නට ඇත.

සිරිතක් ලෙස වරදකරුවා විසින් කසපහර දෙන ස්ථානයේ සිට නගර සීමාවෙන් පිටත කුරුසපත් කරන ස්ථානය දක්වා තම කුරුසිය උසුලාගෙන යා යුතු විය. දේශීය චාරිත්‍ර වලින් තහනම් කර නැති අවස්ථාවන් හී බොහෝ විට ඔහු නිර්වස්ත්‍රව මෙය ( ක්‍රියාවලිය) සිදුකල යුතුව ඇත. සම්පුර්ණ කුරුසියේ බර බොහෝදුරට රාත්තල් 300ක් (කිලෝ ග්‍රෑම් 136) කට වැඩි වූ බැවින්, තිරස් දණ්ඩ (patibulum) පමණක් උසුලාගෙන ගොස් ඇත. මෙම තිරස් දණ්ඩ හෙවත් patibulum හී බර රාත්තල් 75 සිට 125ක් (කිලෝ ග්‍රෑම් 34 සිට 57 දක්වා ) වූ අතර, වරදකරුගේ බෙල්ල පිටුපසින් තිරස් ලෙස තබා උරහිස් මගින් සමබර වන ලෙස ගැටගසා ඇත. කුරුසපත් කරන ස්ථානය දක්වා ගමන් ගන්නා පිරිස මුළුමනින්ම රෝමානු ආරක්ෂක භට කණ්ඩායමකින් සමන්විත වූ අතර එය රෝමානු ශතාධිපතියෙකු විසින් මෙහෙයවන ලදි. සොල්දාදුවන්ගෙන් එක් අයෙකු විසින් අපරාධකරුගේ නාමය සහ කරන ලද අපරාධය ප්‍රදර්ශනය කෙරෙන නාම පුවරුවක් (titulus) රැගෙන ගොස් ඇත. පසුව, මෙම පුවරුව කුරුසියේ ඉහලින් සවි කර ඇත. රෝමානු භට කණ්ඩායම අපරාධකරු මිය ගොස් ඇතැයි සහතික කෙරෙන තුරු එම ස්ථානයෙන් ඉවතට ගොස් නොමැත.

නගර සීමාවෙන් එපිට ස්ථාවර ලෙස ඉදිකරන ලද සවිමත් දැවමය සිරස් කණු (stipes ) මත තිරස් දණ්ඩ මැනවින් සවිකිරීමට හැකි විය. තාඕ කුරුසියක, මෙය සිදු කර ඇත්තේ mortise සහ tenon යන (ලී කොට එකිනෙක සම්බන්ධ කරන කට්ට) ක්‍රමයට, කඹ ආධාරක භාවිතා කරමින් හෝ එසේ නොමැතිවය. කුරුසපත් කිරීම තවත් දීර්ඝ කරනු වස් කුඩා ලී කොටයක් හෝ ලී කැබැල්ලක්, කෙටි ආසනයක් ලෙස (crude seat; sedile හෝ sedulum), බොහෝ විට සිරස් කණුවේ (stipes) මැදින් සවිකර ඇත. ඉතා කලාතුරකින්, සහ බොහෝ දුරට ක්‍රිස්තුන් වහන්සේගේ කාලයට පසුව, තවත් ලී කැබැල්ලක් (suppedaneum) දෙපා සවිකිරීමට භාවිතා කර ඇත.

මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙන ස්ථානයේ, නීතියට අනුව, වරදකරු වෙත සුවඳ ලාටු මිශ්‍රිත වයින් අඩංගු තිත්ත පානයක් (gall) මෘදු වේදනා නාශකයක් ලෙස ලබා දෙන ලදි. පසුව අපරාධකරුවාගේ ශරීරයේ පිටුපස පහලට සිටින ලෙස, දෑත් තිරස් දණ්ඩ මත දෙපසට විහිදෙන ලෙස බිම හෙලා ඇත. දෑත් තිරස් දණ්ඩට තබා ඇණ ගැසීම හෝ ගැට ගැසීමට හැකි වුවද පෙනෙන අයුරින් රෝමානුවන් ඇණ ගැසීම ප්‍රිය කර ඇත. ක්‍රිස්තුන් වහන්සේගේ කාලයට අයත් යැයි සැලකෙන ජෙරුසලම ආශ්‍රිත ඇටකටු තැන්පත් කරන ස්ථානයකින් (ossuary) සොයාගන්නා ලද කුරුසපත් කරන ලද සිරුරක පුරාවිද්‍යාත්මක කොටස් විශ්ලේෂණයේදී, ඇණ ගැසීම සඳහා යොදාගත් ඇණ ලෙස භාවිත කර ඇත්තේ කෙටි කර සකසන ලද දළ වශයෙන් අඟල් 5 සිට 7 දක්වා ( සෙ.මී. 13 සිට 18 දක්වා ) දිගින් යුත් සහ අඟල් 3/8 (සෙ.මී.1) පමණ හතරැස් හිසක් සහිත යකඩ කටු ය. තවදුරටත්, (ඉහත සඳහන් කළ ) ඇටකටු පිළිබඳ සොයාගැනීම් සහ ටියුරින් සළුවේ සටහන් ලේඛනගත කිරීම් පවසන පරිදි සාමාන්‍යයෙන් අත්ල හරහා වෙනුවට මැණික් කටුව ප්‍රදේශයෙන් ඇණ ගැසීම සිදු කර ඇත.

අත් දෙකම තිරස් දණ්ඩට සවි කළ පසු, තිරස් දණ්ඩ සහ වරදකරු, එකවර, සිරස් දණ්ඩ මතට ඔසවන ලදි. කෙටි කුරුසියක නම්, සොල්දාදුවන් සතර දෙනෙකුට මෙය සාපේක්ෂව පහසු කාර්යයක් වන්නට ඇත. එනමුත්, දිගු කුරුසියක් සඳහා, සොල්දාදුවන් ලී මුක්කු හෝ ඉනිමං යොදා ගත්හ.

අනතුරුව, කඹ හෝ ඇණ මගින්, දෙපා කුරුසියට සවි කර ඇත. (පෙර සඳහන් කළ) ඇටකටු පිළිබඳ සොයාගැනීම් සහ ටියුරින් සළුව පවසන පරිදි ඇණ ගැසීම රෝමානුවන් ප්‍රිය කළ ක්‍රමය විය. සිරස් කණුවට හෝ ආධාරකයක (suppedaneum) දෙපසට සිටින ලෙස පාද සවි කළ හැකි වූ නමුදු, දෙපා ඍජුවම සිරස් කණුවේ ඉදිරිපසට තබා ඇණ ගසා ඇත. මෙය සාර්ථක කරගැනීම සඳහා දණහිස් නැවීම සිදු කර ඇති අතර එසේ නවන ලද දෙපා පසෙකට කරකවා ඇති බව දක්නට ලැබේ.

ඇණ ගැසීම අවසන් වූ පසු, ඇණ හෝ ලණු මගින්, වරදකරුගේ හිසට මදක් ඉහලින් නාම පුවරුව (titulus) කුරුසියට සවිකර ඇත. සොල්දාදුවන් සහ සිවිල් වැසියන් බොහෝ විට වරදකරු හට නින්දා සහ උසුළු විසුළු කළ අතර, සිරිත් පරිදි සොල්දාදුවන් ඔහුගේ වස්ත්‍ර තමන් අතර බෙදා ගත්හ. සාමාන්‍ය වශයෙන් මෙම වද ගාවිනා දරා ගැනීම පැය තුනක හෝ හතරක කාලයක සිට දින තුනක් හෝ හතරක කාලයක් දක්වා පැවතීමට කසපහර දීමේ ප්‍රභලත්වය ප්‍රතිලෝමව සම්බන්ධ වී ඇත. කෙසේ නමුත්, කසපහර දීම සාපේක්ෂව ඉතා අඩු මට්ටමකින් සිදු කර තිබුණද, රෝමානු සොල්දාදුවන් විසින් මරණය කඩිනම් කිරීම සඳහා දණහිසෙන් පහල කකුල් කැඩීම (crurifragium හෝ skelokopia) සිදු කර ඇත.

විශේෂයක් නොමැතිව, මියැදෙමින් සිටින අසරණ වරදකරුගේ විවෘත වී ඇති තුවාල හෝ ඇස්, කන් සහ නාසයට කෘමින් ඇතුළුවන්නට ඇති අතර ගොදුරු සොයන පක්ෂීන් මෙවැනි ස්ථාන වල ගැවසෙන්නට ද ඇත. තවදුරටත්, මාංශ භක්ෂක සතුන් හට ගොදුරක් ලෙස මියගිය පුද්ගලයාගේ මෘතදේහය කුරුසිය මතම තබා යාම සිරිතක් වශයෙන් සිදු කර ඇත. නමුත්, රෝමානු නීතිය අනුව, රෝමානු ආණ්ඩුකාරයාගේ අවසරය ලබා ගැනීමෙන් අනතුරුව, වරදකරුවාගේ පවුලේ අයට මෘතදේහය භූමදානය සඳහා ලබා ගත හැකි විය.

කුරුසපත් කිරීමෙන් කිසිවෙකුගේ දිවි ගලවාගැනීම අදහස් නොකළ නිසා, වරදකරු සැබවින්ම මියගොස් ඇතැයි සොල්දාදුවන්ට තහවුරු කෙරෙන තුරු මෘතදේහය පවුලේ අයට ලබා නොදෙන ලදි. සිරිත් පරිදි, රෝමානු සොල්දාදුවෙක් විසින් කඩුවකින් හෝ හෙල්ලයකින් සිරුර පසාරු කිරීම සිදු කර ඇත. සාම්ප්‍රදායිකව, මෙය සිරුරේ දකුණු පසින් හදවත දක්වා හෙල්ලයකින් සිදුරු කරන තුවාලයක් ලෙස සලකා ඇති අතර- බොහෝ විට රෝමානු සොල්දාදුවන් බහුතරයකට උගන්වනු ලබන මාරාන්තික තුවාල කිරීමේ ක්‍රමයක් වන්නට ඇත. ටියුරින් සළුවේ මෙවැනි පන්නයේ තුවාල කිරීමක සලකුණු සඳහන් වී ඇත. තවදුරටත්, අඩි 5 සිට 6 දක්වා දිගින් යුතු වූ ( මීටර 1.5 සිට 1.8 ), සම්මත පාබල හෙල්ලයක්, පහසුවෙන්ම සම්මත කෙටි කුරුසියක කුරුසපත් කරන ලද මනුෂ්‍යයෙකුගේ හදවත කරා ලඟා කර හැකි විය.

කුරුසපත් කිරීම පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්

ව්‍යුහ විද්‍යාව සහ පුරාතන කුරුසපත් කිරීමේ ක්‍රම පිළිබඳ දැනුමක් සහිතව, යමෙකුට මෙම මන්දගාමී මරණ දඬුවම් ක්‍රමය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිළිකිරීමක් ප්‍රතිනිර්මාණය කිරීමට හැකිය. සෑම තුවාලයකින්ම පාහේ දැඩි වේදනාවක් දැනෙන අරමුණින් සිදුකර ඇති අතර මරණය සඳහා හේතුවන කාරණා රාශියක් ඒ අතර විය.

කුරුසපත් කිරීමට පෙර කසපහර දීම වරදකරුවා දුර්වල කිරීමට දායක වූ අතර එමෙන්ම සිදුවන රුධිර වහනය සැලකිය යුතු වී නම් විකලාංග අධි රුධිර පීඩනය (orthostatic hypotension) සහ සමහරවිට hypovolemic shock පවා ඇතිවීමට හැකියාවක් තිබිණි. (කුරුසපත් කිරීම සඳහා) වරදකරුවා (ශරීරයේ පිටුපස පහලට සිටින ලෙස) බිම හෙලා, දෑත් කුරුසියට තබා ඇණ ගැසීමට සුදානම් කරන විට, ඔහුගේ කසපහර තුවාල බොහෝවිට නැවත පෑරී අපිරිසිදු වන්නට ඇත.තවදුරටත්, ආශ්වාස කරන සෑම මොහොතකම වේදනාකාරී කසපහර තුවාල සිරස් දණ්ඩෙහි රළු දැව මත ඇතිල්ලිමක් සිදුවන්නට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, ශරීරයේ පිටුපසින් සිදුවන රුධිර වහනය බොහෝවිට කුරුසපත් කිරීමේ පීඩා ක්‍රමය පුරාම පවතින්නට ඇත.

තදින් ගැට ගසා නොමැතිමුත්, දෑත් දෙපසට විහිදුවා මැණික් කටුව ආසන්නයෙන් තිරස් දණ්ඩට ඇණ ගසන ලදි. මිනිස් සිරුරෙහි බර දරා ගැනීමට අත්ලට නොහැකි වුවත් මැණික් කටුවෙහි අස්ථි සහ ligamants වලට හැකිවී ඇති බව පෙන්වා දී තිබේ. ඒ අනුව කාර්පල් (carpal ) අස්ථි සහ radius මැදින් හෝ කාර්පල් (carpal ) අස්ථි යුගල ද්විත්වය මැදින් , flexor retinaculum සහ intercarpal ligaments වලට සාපේක්ෂව හෝ ඒ මැදින් යකඩ ඇණ ගසන්නට ඇති බවක් උපකල්පනය කළ හැකිය. කෙසේ නමුත් මෙලෙස මැණික් කටුවෙහි ඕනෑම ස්ථානයකින් ඇණ ගැසූවද අස්ථි බිඳීමක් නොමැතිව අස්ථිමය කොටස් හරහා ඇණය යැවීමට හැකි වුවද, දැඩි වේදනාවක් ගෙනෙන periosteal තුවාලයක් වීමට වැඩි අවස්තාවක් විය. තවද, මෙසේ යවන ලද ඇණය නිසා තරමක් විශාල sensorimotor median නහරය තැලීමක් හෝ කැපීමක් සිදුවන්නට ඇත. මෙසේ උත්තේජනය වූ නහරය හේතුවෙන් දෑත් මත අකුණු පහරකින් දැවෙන්නා සේ දැඩි වේදනාවක් සිදුවන්නට ඇත. එලෙස කැපීමකට ලක්වූ median නහරය හේතුවෙන් අතෙහි කොටසක් අංශභාගී තත්වයකට පත්කරන්නට ඇති නමුත්, (රුධිර සැපයීම අඩාල වීමෙන් සිදුවන ) ischemic contractures සහ යකඩ ඇණය නිසා ඇතැම් ligaments සිදුරු වී ඇති බැවින් ඇඟිලි ඇතුලට නැවී දරදඬු වන ආකාරයේ ග්‍රහණයක් (clawlike grasp) ද සිදුවන්නට ඇත.

බොහෝ දුරට, සිරස් දණ්ඩේ ඉදිරිපසට දෙපා ඇණ ගසා ඇත්තේ, tarsometatarsal සන්ධියට දුරස්ථව පිහිටි පළමුවන හෝ දෙවන intermetatarsal හිඩැස හරහා යවන ලද යකඩ ඇණයකිනි. මෙම ඇණය හේතුවෙන් බොහෝ විට deep peroneal නහරය සහ medial සහ lateral plantar යන නහර වලට අයත් කුඩා නහර තුවාල වීමක් සිදුවන්නට ඇත. කස පහරදීම නිසා සැලකියයුතු ප්‍රමාණයේ රුධිර වහනයක් වන්නට ඇති නමුත්, කුරුසියේ ඇණ ගැසීම සාපේක්ෂව රුධිරය රහිත ක්‍රියා පටිපාටියක් වූයේ, deep palantar arch හැරුනුකොට අනෙකුත් ප්‍රධාන ධමනි කිසිවක් ශරීරය කුරුසියට සවිකිරීමේ ස්ථාන හරහා නොයෙදී තිබුණු බැවිනි.

අධික වේදනාවකටත් ඔබ්බෙන් කුරුසපත් කිරීමේ ප්‍රධානතම ව්‍යාධිවේදී බලපෑම වුයේ, සාමාන්‍ය ශ්වසන ක්‍රමවේදයට, විශේෂකොට ප්‍රශ්වාස කිරීම අඩාල වීමය. දෙපසට විහිදුවා ඇති දෑත් සහ උරහිස් මගින් ශරීරයේ මුළු බර පහලට තල්ලු කිරීමේදී intercostal මාංශපේශිය ආශ්වාස කිරීමේ තත්වයකට පත් කරන බැවින් නිෂ්ක්‍රිය ප්‍රශ්වාසයට බාධා කිරීමක් සිදුවිණි. ඒ අනුව, ප්‍රශ්වාසය මුලිකවම ප්‍රාචීරය හරහා වූ අතර, හුස්ම ගැනීම බොහෝ අඩු මට්ටමක විය. එබැවින් බොහෝ විට මෙම ශ්වසන ක්‍රමය ප්‍රමාණවත් නොවූ බැවින් hypercarbia තත්වයක් ඉක්මණින් ඇතිවිය හැකි විය. මෙම තෙහෙට්ටු ගතිය සහ hypercarbia තත්වය මත සිදුවන muscle cramps හෝ tetanic contractions නිසා තවදුරටත් ශ්වසනය අඩාල වීමක් සිදුවන්නට ඇත.

ප්‍රමාණවත් ලෙස ප්‍රශ්වාස කිරීම සඳහා ශරීරය එසවීමට පාද වලින් තල්ලු කිරීමක් සහ වැලමිට නැවීමක් සහ උරහිස් එකතු කිරීමක් සිදුකල යුතු විය. කෙසේ නමුත්, මෙම ක්‍රියාවලිය හේතුවෙන් ශරීරයේ සම්පුර්ණ බර tarsals (අස්ථි සහ කාටිලේජ ) මත යෙදවෙන බැවින් ඉතා වේදනාකාරී වන්නට ඇත. තවදුරටත්, වැලමිට නැවීම නිසා ඇණ ගසා ඇති මැණික් කටුව ස්ථානයේ හැරවීමක් සිදුවන බැවින් දැනටමත් තුවාල වී ඇති median නහර මත දැවෙනසුළු වේදනාවක් ඇතිවන්නට ඇත. ශරීරය එසවීම නිසා කසපහර ලත් ශරීරයේ පිටුපස ප්‍රදේශය රළු ලී කුරුසිය මත වේදනාකාරී ඇතිල්ලිමකටද ලක්වන්නට ඇත. දෙපසට විහිදුවා සහ ඔසවා ඇති දෑත් මත muscle cramps සහ paresthesias තත්වයන් ඇතිවීමෙන් වේදනාව තවත් අසහනකාරී වන්නට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, හුස්ම ගැනීමට උත්සාහ දරන සෑම අවස්ථාවකම දැඩි වේදනාකාරී සහ වෙහෙසකර වන්නට ඇති බැවින් අවසානයේ asphyxia (ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හෝ කාබන් ඩයොක්සයිඩ් අතිරික්තයක් නිසා සිහිසුන් වීම සහ බොහෝ විට මරණයට හේතු වන අතර සාමාන්‍යයෙන් හුස්ම ගැනීම බාධා කිරීම හෝ ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් නොලැබීම නිසා සිදු වේ) තත්වයක් උදාකරවන්නට ඇත.

කුරුසපත් කිරීම මගින් සිදුවෙන මරණයක සැබෑ හේතුව බොහෝ කාරණා රාශියක එකතුවක් සහ එක් එක් සිද්ධිය අනුව වෙනස් වීමට හැකිවූ නමුදු, වඩාත් කැපී පෙනෙන හේතුන් වන්නට ඇත්තේ hypovolemic shock සහ exhaustion asphyxia යන තත්වයන්ය. වෙනත් හේතුපාදක වන කරුණු වන්නට ඇත්තේ විජලනය (dehydration), stress-induced arrhythmias, වේගවත් ලෙස සිදුවන pericardial සහ සමහරවිට pleural effusions මගින් ඇතිවිය හැකි හෘදයාබාධ තත්වයක්ය (congestive heart failure). Crucifracture හෙවත් පාද වල දණහිසෙන් පහල කොටස කැඩීම, සිදු කරන්නේ නම්, මිනිත්තු කිහිපයකින් asphyxia මරණයක් කරා ගෙනයනු ඇත. කුරුසපත් කිරීමෙන් සිදුවන මරණය, වචනාර්ථයෙන්ම, දැඩි වේදනාකාරී (ලතින් භාෂාවෙන්, excruciatus, හෝ “out of the cross” ) මරණයක් විය.

ජේසුස් වහන්සේ කුරුසපත් කිරීම සහ උන්වහන්සේගේ මරණය පිළිබඳව අවසාන කොටසින් බලාපොරොත්තු වන්න

කෝකිල ප්‍රනාන්දු සා.බෙ. නි සහෝදරතුමා

Read more