විශ්‍රාමික රදගුරු හිමි නමකගේ කාර්‍ය භාරය කුමක්ද?
සාමාන්‍යයෙන් විශ්‍රාම යෑමත් සමඟම නිහඬ දිවියකට ඇතුළත්වෙන මෙම රදගුරු තුමන්ලා තමන්ගේ විශ්‍රාමික නිවාසනයන්ට වී බොහෝවිට හුදකලාව තමන්ගේ ජිවිතයේ සැඳෑ සමය ගත කරයි. බොහෝ විට එතුමන්ලා ගත කරන්නේ අප්‍රසිද්ධ ජිවිතයකි. මෙම විශ්‍රාමික රදගුරු තුමන්ගේ ධර්මානූකුල පරිණතභාවයත් එඬේරික ජිවිතයේ දිගු කාලීන අත්දැකිම් හා අන් හැම දෙයකටම වැඩියෙන් එතුමන්ගේ දැහැමි සිල්වත් ජිවිතයේ අභිලාෂය කතෝලික සභාවේ පොදු උන්නතිය සඳහා යොදාගත නොහැකිද? මේ ගැන අවබෝධයක් ලබා ගන්නට විශ්‍රාමික රදගුරු තුමන් පිළිබඳ සාසන නීතියේ සහ සභා ප්‍රකාශනවල සඳහන් මොනවාදැයි විග්‍රහ කරන්නට උත්සාහ කරමු.
සාසන නීති සංග්‍රහයේ 401/1 නීති වගන්තියට අනුව තමනට වයස අවුරුදු 75 සම්පුර්ණ වීමත් සමඟම, පාප්තුමනට තමන්ගේ විශ්‍රාම යෑමේ ලිපිය බාරදිය යුතුයි. එසේම අයහපත් ශරීර සෞඛ්‍ය හා වෙනත් බාරදුර හේතුවක් නිසාද ඉල්ලා අස්විමේ ලිපිය ඉදිරිපත් කළ හැකිය. එවිට ශුද්ධාසනය විසින් ඉල්ලා අස්වීමේ ලිපිය බාරගැනිමත් සමගම, එම රදගුරු තුමා හඳුන්වනු ලබන්නේ විශ්‍රාමික රදගුරුතුමා වශයෙනි. විශේෂ හේතුවක් නිසා ශුද්ධාසනය විසින් වෙනත් ස්ථානයක් සුදානම් කොට නැත්නම්, සාමාන්‍යයෙන් එතුමාට තමන්ගේ රදගුරු පදවිය තුළ විශ්‍රාමිකව විසිමේ හැකියාව ඇත.
මෙම විශ්‍රාමික රදගුරුතුමන් නඩත්තු කිරිම මුලිකව එතුමන්ලා සේවය කළ රදගුරු පදවියේ යුතුකම මෙන්ම, රදගුරු සම්මේලනයද එතුමන්ලාට සුදුසු අයුරින් ජීවත්වීම සඳහා අවැසි පහසුකම් ගැන සොයා බලා කටයුතු කල යුතුය. (සා.නි.ව. 402). මෙලෙස තම පදවිය තුළ විශ්‍රාමිකව ගත කිරිම හා පදවියෙන් නඩත්තු වීම හුදෙක් එතුමන්ලාට දක්වන මානුෂිය කළගුණ සැලකීමක් පමනක් නොව, රදගුරු නිලයේ දේව ධර්මය හා සම්බන්ධ, තම බැටළු රැල හා පවත්නා ස්ථීර අධ්‍යාත්මික සබඳතාවය ඉතා පැහැදිලි ප්‍රකාශ වෙන අවස්ථාවක් ද වෙයි.
පදවියේ රදගුරුතුමා හා විශ්‍රාමික රදගුරුතුමා අතර ඇතිවිය යුතු සහෝදර සබඳතාවයද මෙහිලා විශේෂයෙන් සඳහන් කිරඅ ඉතා වැදගත්වේ. කතෝලික සභා නිල ඉගැන්වීමට අනුව විශ්‍රාමික රදගුරුතුමා සමස්ථ රාජගුරු මණ්ඩලයේ සාමාජිකයෙකි. එමනිසා පදවියේ රදගුරුතුමා විශ්‍රාමික රදගුරුතුමා සමග සහෝදර සබඳතාවයක් ගොඩනගා ගත යුතුය. මෙම සහෝදර බැම්ම පොදුවේ දේව ජනතාවටත්, විශේෂයෙන් පදවියේ පුජක තුමන්ලාටත්, සහෝදර ප්‍රේමය පිළිබඳ හොඳ ආදර්ශයකි. මෙම සහෝදරත්වය හොඳින් පෙන්නුම් කළ හැක්කේ හැකි අවස්ථාවන්හිදි දේව ප්‍රසාද නිධාන දානය කිරිම සඳහා, විශේෂයෙන්ම අභිවෘද්ධි ආලේපනය දානය කිරිම සඳහා එතුමන්ට ආරාධනය කිරිම මඟිනි. එසේම විශ්‍රාමික රදගුරුතුමා පදවියේ පරිපාලන කටයුතු වලට වක්‍රව හෝ ඍජුව බලපෑම් නොකළ යුතු යයිද රදගුරුතුමන්ලාගේ දූත සේවාව පිළිබඳ ශුද්ධාසන ප්‍රකාශන පෙන්වා දෙයි.
රදගුරු නිලයෙන්ම පැන නගින විශ්‍රාමික රදගුරුතුමන්ලාගේ අයිතිවාසිකම් සමහරක් මෙලෙස දැක්විය හැකි.
- සෑම තැනකම දේව වාක්‍ය දේශනා කිරිම.
- දේව ප්‍රසාද නිධාන දානය කිරිම.
- රදගුරුතුමාගේ පූර්වානුමාන අවසර මත අභිවෘද්ධි ආලේපය දානය කිරිම.
- සෑම ස්ථානයකම පාප උච්චාරණය ඇසීම.
*. අපේක්ෂකයින්ගේ රදගුරුතුමාගේ අවැසි නිල ලේඛන ඇත්නම්, පුජකවරය හා තේවාචාරි ධූරය දානය කිරිම හා ශුද්ධාසන අනුමැතිය ඇතිව රදගුරු අභිෂේකය දානය කිරිම. - රදගුරුතුමාගේ හෝ මීසම භාර පියතුමාගේ පැවරීම මත, ආශිර්වාදකාර බන්ධනයේ දේව ප්‍රසාද නිධාන පිළිවෙත් පැවැත්වීම.
මෙයට අමතරව විශ්‍රාමික රදගුරුතුමා හා තමන් සේවය කළ ප්‍රාදේශීය සභාව අතර සබඳතාවය මෙසේ දැක්විය හැක:-
- විශේෂිත හේතුවක් මත ශුද්ධාසනය වෙනත් තීරණයක් ගෙන නොමැති නම්, තමන් සේවය කළ රදගුරු වසම තුළ පදිංචිය. පැවදි නිකායකට අයත්ව සිටි රදගුරු තුමකුට තමන් අයිති පැවදි නිකායේ නිවසක් තෝරාගත හැක.
- තමන් පදිංචි නිවසේ කුඩා දෙව්මැදුරක් පවත්වාගෙන යෑම හා එහි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සංරක්ෂිතව වැඩමවීම.
- රදගුරු පදවියෙන් නඩත්තු සඳහා අවැසි දේ ලබා ගැනිම.
- ප්‍රාදේශීය සභාවේ ක්‍රියාකාරිත්වය දැනුම්දෙන ලිපි ලේඛන ලබාගැනිම.
- පදවියේ ආසන දෙව්මැදුරේ භුමදාන විමේ අයිතිය.
අප මීළඟට විශ්‍රාමික රදගුරුතුමකු හා විශ්ව සභාව අතර ඇති සබඳතාවය වෙත අවධානය යොමු කරමු. ඒ අනුව:-
- විශ්‍රාමික රදගුරු තුමකු සමස්ථ රාජගුරු මණ්ඩලයේ සාමාජිකත්වය දරයි. සභාවේ උන්නතිය සඳහා පාප්තුමාට සහයවීමේ අයිතිය එතුමා සතුය. එබැවින් ජගත් මන්ත්‍රණ සභාවන්ට සහභාගිවීමේ අයිතිය හා ජන්දය පාවිච්චි කිරිමේ අයිතියද, විශ්ව රදගුරු සංගය තුළ නිත්‍යානුකූලව හිමිවන බලතලද එතුමා සතුය.
- රදගුරු ධර්මාධිකාරී සභාවක් (Synod) පැවැත්වෙන අවස්ථාවන්හිදි රාජගුරු සමුළුවක නිල නියෝජිතයා ලෙස විශ්‍රාමික රදගුරුතුමකු පතකළ හැක.
- ශුද්ධාසන ශාඛා නියෝජනයක (පර්ෂදයක) සාමාජිකයකු ලෙස විශ්‍රාමික රදගුරුතුමන්ලාට වයස අවුරුදු 80 දක්වා සේවය කළ හැක.
- එතුමන්ලාට රදගුරුවරය සඳහා සුදුසු යැයි හැඟෙන පූජක තුමන්ලාගේ නම් ශුද්ධාසනය වෙත දන්වා සිටිමේ අයිතිය ඇත.
- සභා අධිකරණමය කටයුතුවලදි රදගුරුතුමකුට හිමි වරප්‍රසාද බොහොමයක් විශ්‍රාමික රදගුරුතුමන්ලාටද හිමිය.
මේ සමඟම වෙනත් සාසනික ව්‍යුහයන්හි ක්‍රියාකාරිව සහභාගිවිමේ හැකියාවද විශ්‍රාමික රදගුරුතුමන්ලා සතුය. ඒ අතරින් විශේෂ තැනක් ගන්නේ :-
- ප්‍රාදේශීය සාසනික කවුන්සිලකට එතුමන්ලාව ආරාධනය කළ හැකි අතර එසේ කළහෝත් ජන්ද බලයද හිමිවේ.
- රදගුරු සම්මේලන රැස්වීම් සඳහා විශ්‍රාමික රදගුරුතුමන්ලාට සහභාගිවිය හැක. එවැනි අවස්ථාවන් රදගුරු සම්මේලන ව්‍යවස්ථාන්හි නොමැතිනම්, ඒ සඳහා නව නීති සකසන මෙන් ශුද්ධාසනය රදගුරු සම්මේලන වලින් ඉල්ලා සිටියි. විශ්‍රාමික රදගුරුතුමන්ලාට හිමිවන්නේ උපදේශක ජන්දයක් (Consultativevote) පමණී.
- ගැටලු හා ප්‍රශ්න ගැන් හොඳින් කල්පනා කර බැලිමට විශ්‍රාමික රදගුරුතුමන්ලාට අවැසි කාල වේලාව ඇති නිසා එඬේරික හෝ නෛතික ප්‍රශ්න ගැන සාකච්ඡා කිරිමේදී විශ්‍රාමික රදගුරුතුමන්ලාගේ පරිණත හා අත්දැකිම් සහිත දැනුම ප්‍රයෝජනයට ගන්නා ලෙස ශුද්ධාසනය රදගුරු සමුළු වලින් ඉල්ලා සිටියි. විශේෂිත ක්ෂේත්‍රයන් පිළිබඳ හසල දැනුමක් ඇති විශ්‍රාමික රදගුරුතුමන්ලා රදගුරු සමුළුවේ ඒ ඒ කොමිෂන් සභාවල සාමාජිකත්වය සඳහා පත්කරගැනිමේ බලය, ඒවාහි සභාපතිත්වය දරණ අයට ඇත. එසේ පත්කරනු ලැබුවහොත් එතුමන්ලාට සම්පුර්ණ ජන්ද බලය හිමි බවත් සභා ප්‍රකාශන පෙන්වා දෙයි.
විශ්‍රාමික රදගුරුතුමන්ලා පිළිබඳ සභා නීතිය හා ඉගැන්වීම් මේ අනුව එතුමන්ලා කෙසේවත් විශ්‍රාමික නිවෙස් වලට පමණක් සිමා කර නැත. ඇත්තෙන්ම එතුමන්ලා සභාවට, විශේෂයෙන් ප්‍රාදේශීය සභාවන්ට විශාල සම්පතක් මෙන්ම අගනා වස්තුවකි. එතුමන්ලාගේ කැපවු ජිවිත මඟින් සභාවට ගත හැකි උපරිම සේවාව ලබාගැනිම රදගුරු,පුජක,පැවිදි හා ගිහි ජනතාවගේ යුතුකම නොවන්නේද?
සටහන - අතිගරු ප්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමා
උපුටා ගැනීම : ඥානාර්ථ ප්‍රදීපය 2009 ජුලි 26 ඉරිදා
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ