යාචක නිකායන් හි ආරම්භය

යාචක නිකායන් හි ආරම්භය
Photo by Andrew Neel / Unsplash

යාචක නිකායන් සහ දිළින්දන්ගේ ව්‍යාපාර ඇතිවීමට හේතු වීමට පසුබිම

  1. දොළොස්වන හා දහතුන්වන සියවස් වල යුරෝපයේ ඇතිවූ ආර්ථීක හා සාමාජීය වෙනස්වීම් නිසා අත්මයන් ගැලවීම සඳහා වූ සභාවේ එඬේරික කාර්යය ක්‍රමවත් වීමේ අවශ්‍යතාවය.
  2. කුරුස යුද්ධයන් හී ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ වෙළහෙලඳාම් වල දියුණුව නිසා කුඩා නගර පවා දියුණුවීම.
  3. මෙම නගරවල පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව නැගීසිටීමට ඉදිරිපත්වීම.
  4. බොහෝ ඉඩකඩම් හා වතුපිටිවල හිමිකරුවන් වූ රදගුරුවරුන්ට පවා එරෙහිව තම අයිතීන් වෙනුවෙන් ජනතාව නැගීසිටීම.
  5. මෙම රදගුරුවරුන්ට සහාය දැක්වූ පූජකවරුන්ව ජනතාව ප්‍රතික්ෂේපකිරීම නිසා ඔවුන්ගේ අත්මයන් ගැලවීමේ කාර්යය ඉතා අමාරුවීම.
  6. තාපසාරාමයන් නගරවලින් පිටත පිහිටා තිබීම නිසා මෙම දේව කාර්යයන් සඳහා දායකවීමට ඉඩකඩ ඇහිරීයාම.
  7. සභාවේ අවශ්‍යතාවය සුබ අස්න දේශනා කීම, ආත්මයන් යහමගට යොමු කිරිම හා ජනතාවට සමීපවීම වැනි කාරණාවීම.
  8. පූජකවරුන් සැබෑ ලෙස සුබ අස්නට සාක්ෂිදරන අය මෙන් ජීවත්වීම සාමාන්‍ය ජනයාගේ බලාපොරොත්තුව වීම.
  9. මෙම ජනතාව එවකට පැවති වේද භේදීන්ගේ ආරක්ෂාකර ගැනීම හා නියම කතෝලික දහම ඉගැන්වීම සභාවේ මූලික කාර්යයවීම (Albigensianism and Catharism)
  10. මෙවැනි අවශ්‍යතාවන් නිසා දොමිනිකාන හා ප්‍රැන්සිස්කාන යාචක නිකායන් බිහිවීම, හා එම නිසා දහතුන්වන සියවසේ දී පමණ සභාවේ නවෝදයක් ඇතිවීය.

ඉහත සඳහන් කරුණු වලට අමතරව ඉතාලියේ බ්‍රේෂියාහී ආර්නෝල්ඩ් නැමැති පැවිදිවරයා ඉඩකඩම් අයිති තාපස, පූජක හා පැවදිවරුන්ට දෙවියන් වහන්සේගේ ගැලවීම නොලැඛෙන බව ප්‍රකාශ කරමින් දේශනා කිරීම මෙම යාචක නිකායන් බිහිවීට බලපෑ තවත් එක් කරුණකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පළමුවෙන්ම ජෝන් වල්දේස් විසින් ලියෝන්හී දිළින්දෝ යන නමින් නිකායක් පිහිටුවන ලදී. ඉන්පසු දහතුබෙන් වන සියවස මුල්භාගය වන විට ඉතාලියේ හා ප්‍රංශයේ දිළිඳූ ජනතාව අතර ඉතා සීග්‍ර ලෙස පැතිර යන්නට විය. මෙම නව ප්‍රවණතාවය එදා සභාවට දැඩි අභියෝගයක් විය. ඔවුන්ගේ මූලික කාර්යය වූයේ තම තමන්ගේ ආත්මයන් ගලවාගැනීමට වඩා අන් අයගේ ආත්මයන් ගලවාගැනීමට කැපවී සේවය කිරීමයි. නැතහොත් තමන් වෙනුවෙන් ජීවත් නොවී අන් අය වෙනුවෙන් සේවයට කැපවීම (non sibi soli vivere sed et aliis proficere/not to live for themselves only, but to serve others). ඔවුහූ භාවනායෝගීව හා කි්‍රයාකාරීව ජීවත් වූහ. ඔවුන් මූලික වශයෙන් පොදූ කිතුනු ජනයා අතර ධර්මදාන කටයුතු වල නියලුනාහ. නගර බදව ජීවත් වූ බෙනදිකාන හා සිෂ්ටර්ෂියන් තාපස්වරුන්ට වඩා මෙම යාචක නිකායන් සාමාන්‍ය ජනතාව අතර ඉතා හොඳ පිළිගැනීමකට ලක් වූහ.

යාචක නිකායන්

මේවා ඍජුවම අන් අයගේ උදව් උපකාර, අන් අයගෙන් ලැබෙන ආහාර පාන, ඇදූම් පැළදූම් හා ඉඳූම් හිටුම් මත යැපෙන පැවදි නිකායන්ය. ඔවුනට ඉඩකඩම් අයිතියක් නැත. මිල මුදල් ලඟ තබාගැනීමට නොහැකිය. ආගමික කටයුතු වල පමණක් නිතර දෙවේලේ නිරතවිය හැකි ලෙස නිදහසේ ජීවත්වන අරමුණින් ඔවුන් දිළිඳූකම නැමති වේද බාරය ගෙන ඇත. ඔවුන් සුබ අස්න දේශනා කරමින් හා දිළිඳූ අයට සේවය කරමින් කල් ගත කළහ. යාචක නිකායන් අතර ප්‍රැන්සිස්කාන නිකාය හා දොමිනිකාන නිකාය විශේෂ තැනක් ගනී. ඔවුහූ දේශනා කළහ, පාපොච්චාරණය ඇසූහ, රෝගීන් ඇප උපස්ථාන කළහ, අසරණයන්ට සේවය කළහ, විදේශ රටවල පවා සේවයෙහි යෙදූනාහ. මොවුන් තාපසවරුන් මෙන් පැවදි හවුල තුළ ස්ථීරත්වය නැමැති වේද බාරය නොගනිති. (votum stabilatis). ඔවුන් එකම තාපසාරාමයකට පමණක් සීමා නොවෙති.

ඔවුන්ගේ නායකයන් ජීවිතාන්තය දක්වා එම තනතුරු වල නොසිටිති, ඒවා ඔවුන්ගේ ධර්ම සාකච්ඡා සභාවලට සීමා වේ. ’සියල්ල විකුණා දිළිඳූන්ට දෙන්න" (මතෙව් 19:21)∙ "තමකම නසා මා අනුගමනය කරන්න" (මතෙව් 16:24)∙ "ඔබ දූත සේවයට යන කල කිසිවක් නොගෙනියන්න" (ලුක් 9:1-6) යන ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම් වලට ගරුකරමින් ඔවුහූ තම ජීවිත අන් අය උදෙසා කැපකළහ. ඔවුහූ අන් අයගෙන් ලැබෙන දානයන් හා උපස්ථානයන් තමන් කරන සේවයට ඔවුනට ලැඛෙන වැටුපක් සේ සැළකූහ. දෙදෙනා බැගින් ඔවුන් දානමාන ලබාගැනීමට ගියහ. මෙම තත්ත්වයන් තවමත් ඉතාලිය, ස්පාඤ්ඤය හා ජර්මනිය වැනි රටවල දැකිය හැකිවේ.

දොමිනිකාන යාචක නිකාය

ඇල්බිජෙන්සියන් වාදය නැමැති වේද භේදයෙන් විශ්වාසකයින් බේරාගැනීම මෙම නිකායේ ආරම්භකයින් වන ඹීස්මාහී දියෝගෝ හා සාන්ත දොමිනික්ගේ උත්සාහය විය. ’ඔබ දූත සේවයට යන කල කිසිවක් නොගෙනියන්න (ලුක් 9:1-6) යන ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම ඔවුන්ගේ සටන් පාඨය විය. බුද්ධිමතුන් දෙදෙනෙකු වූ මොවුහූ වසර දෙකක පමණ කාලයක් නගර හා ගම් නියන් ගම් වල සැරිසරමින් සුබ අස්න දේශනා කරමින් හා වේද භේදීන් සමග වාද විවාද කරමින් තම දූත කාර්යය ඉටුකළහ. ඇල්බිජෙන්සියන් වාදීන්ගේ ගොදූරක් බවට පත්ව සිටි කාන්තාවන් බොහෝ දෙනෙක්ව ඔවුන්ගෙන් මුදාගැනීමට ඔවුන්ට හැකිවූහ. මෙලෙස මුදාගත් ජනතාව ප්‍රංශයේ ටූලෝස් නගරයට ආසන්න ප්‍රයිල්ලේ යන ස්ථානයේ පිහිටි ආරාමයක රැඳවූහ.

මේ අතර ඹීස්මාහී දියෝගෝ හට නැවත තම පදවිය කරායාමට හේතුවූයෙන් සාන්ත දොමිනික් තුමන් හට එම කටයුත්තේ නායකත්වය පැවරුණි. තවත් පූජකවරු ඔහු හා සමග එකතුවූහ. ඔවුහූ දේශනා කිරීමට නොමැති කාලවල තාපස්වරුන් මෙන් තාපසාරාමවල කාලය ගත කළහ. ඔහු ශු. අගුස්තීනු තුමන් හඳූන්වා දූන් තාපස නීති රීති තම සංඝය තුළ යොදා ගත්තේය. ඊට අමතරව ශු. ප්‍රැන්සිස්තුමාගේ ජීවිතයෙන් ඳිළිඳූකම නැමැති ධර්ම ගුණය උකහා ගත්තේය.

මෙම නව යාචක නිකාය ක්‍රි.ව. 1216 තුන්වන හොනෝරියස් නැමැති ශුද්ධෝත්තම පියතුමා විසින් ශු. සභාවේ නිල අනුමැතිය ලබා ගත්තේය. ඔවුන්ගේ මූලික කාර්යය වූයේ සුබ අස්න දේශනා කිරීමයි. මේ නිසා ඔවුන්ව දේශනාවාදී සහෝදරවරු (Fratres Praedicatores) වශයෙන් හඳූන්වනු ලබන අතර නිකාය දේශනාවාදීන්ගේ නිකාය (O.P./Ordo Praedicatorum) වශයෙන් හඳූන්වනු ලැබේ. ශු. දොමිනික්තුමන් යුද්ධයන් පැවති රටවල තම සහෝදරවරුන් යැවූහ.

තම සහෝදරවරුන්ට දර්ශනවාදය හා දේව ධර්මය හැදෑරීමට ඉඩකඩ සැලසුවේය. පසුව ඔවුන්ගේම උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන පිහිටුවන ලදී. එක්තරා දූර්භික්ෂ කාලයක ශු. දොමිනික්තුමන් තම පොත් පත් විකුණා එම මුදල් ජනතාව වෙනුවෙන් වියදම් කළ බවත්, එක්තරා වහල් පුද්ගලයෙකු බේරා ගන්නට තම ජීවිතය පවා පූජා කරන්නට ඉදිරිපත් වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ. ශු. දොමිනික්තුමන් ක්‍රි.ව. 1221 වසරේ දී ස්වර්ගස්ථ විය.

ප්‍රැන්සිස්කාන යාචක නිකාය


අසීසියේ ප්‍රැන්සිස් මුණිතුමන්

අසීසියේ දිළින්ඳා යන නාමයෙන් හඳූන්වන අසීසියේ ප්‍රැන්සිස් මුණිතුමන් (Giovanni di Bernardone) ක්‍රි.ව. 1182 වසරේ උපත ලැබූහ. ක්‍රි.ව. 1226 ඔක්තොම්බර් මස තුන්වන දින ස්වර්ගස්ථ වූ මෙතුමාව නවවන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමන් විසින් සාන්තුවර තත්ත්වයට ක්‍රි.ව. 1228 වසරේ ජූලි මස 16 වන දින ඔසවන ලදී. ක්‍රි.ව. 1201 දී හමුදාවට බැඳූණු මෙතුමා ක්‍රි.ව. 1204 දී දැඩි ලෙස රෝගාතුර විය. මෙම රෝගී තත්ත්වය එතුමන් තුළ ආධ්‍යාත්මික පෙරළයක් ඇති කලේය. ඔහු කුෂ්ඨ රෝගීන්ට උපස්ථාන කලේය. ඔහු ඉතා ධනවත් පවුලකින් පැවත ආව ද තම ජීවිතයට දිළිඳූකම අයිතිකර ගත්තේය. අසීසියේ පිහිටි තමා යාච්ඤා කිරීමට නිතර ගිය ශු. ඩේමියන් හෙවත් දමියානෝ තුමාට කැපකළ දේවස්ථානය අසල දී ස්වාමින් වහන්සේ ඔහුට දර්ශනය වූ සේක.

"මෙම ගරා වැටෙමින් පවතින දේවස්ථානය නැවත ගොඩනගන්න" යැයි කළ ආයාචනයට පිළිතුරු දෙමින් තමා සතු වූ වස්තුව විකුණා එම මුදල් ඒ සඳහා වියදම් කලේය. රදගුරු තුමන් ඉදිරියේ සියල්ල අත්හැර දමා දිළින්දෙකු ලෙස අසීසියේ නව දිවියක් ආරම්භ කලේය. ප්‍රැන්සිස්කාන නිකාය ඉතාලියෙන් අන් රටවලට ද පැතිර ගොස් යුරෝපයේ දහම් පුබුදූවක් ඇති කලේය. පසලොස් වන සියවස අග භාගයේ දී ස්පාඤ්ඤය හා පෘතුගාලය යන රටවල ව්‍යාප්තවී පසුව අපරදිගට ධර්මදූතවරුන් ලෙස යාමට ප්‍රැන්සිස්කාන නිකායික සහෝදරවරු පටන් ගත්හ. මේ අනුව පෘතුගාලයේ නැවියන් සමග ඉන්දියාවට පැමිණි පළමු ධර්මදූත වරුන් වූහ.

ක්‍රි.ව. 1543 වසරේ දී තුන් වන ජුවාම් ප්‍රතිකාල් රජු විසින් මොවුන්ව ලක්දිවට එවන ලදී. මොවුන් ලක්දිවට පැමිණි පළමු ධර්මදූත කණ්ඩායම වේ. ක්‍රි.ව. 1602 වසරේ දී ජේසු නිකායික ධර්මදූතවරුන් මෙරටට පැමිණෙන තුරු මොවුහු සිටියහ. අසීසියේ ශාන්ත ප්‍රැන්සිස් මුනිවරයා ශ්‍රී වණ කැළැල් ලැබීමේ වාසනාව හිමි කර ගත් සාන්තුවරයෙකි. හස්ත පාද හා ඇළයෙහි කුඩා කුරුස සහිත තුවාල එතුමන්ගේ සිරුරෙහි දක්නා ලදී. මෙම හාස්කම ගැන විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුව ප්‍රකාශයක් කල xi වැනි බෙනඩික් පාප්වහන්සේ එය සත්‍යතාවයක් බව සනාථ කළේය. මෙය මංගල්‍යයක් හැටියට සැප්තැම්බර් 17 වන දින සභාව සිදු කරයි.

ශු. ක්ලාරා තුමිය ( 1193 – 1253 )

ක්ලාරා උසස් කුලවන්ත රණශුර ප්‍රසිද්ධවූ සෙබළකුගේ දියණියකි. 1193දී ක්ලාරා උපත ලැබුවාය. ඇගේ ළමා කාලයේ සිටම ඇය අධික භක්තියකින් හා දයාවකින් පිරිපුන් විය. ඇගේ මුළු හදින් ජේසුතුමන්ට ප්‍රේම කළාය. එතුමනට පමණක් අයිති වීමට ඇයට අවශ්‍ය විය. ක්‍රි.ව. 1212 ජේසු තුමන්ගේ දුක් ප්‍රාප්තිය ගැන ප්‍රැන්සිස් තුමාගේ දෙසුමක් ක්ලාරාට අසන්නට ලැබුණි. මෙය ඇගේ සිතට කොතරම් කාවැදුනාද කිවොත් ප්‍රැන්සිස් තුමාගේ ඇති දිළිදු ජීවිතය අනුගමනය කිරීමට තීරණය කරන ලදී. එසේ කිරීමට ඇය දිරිමත් කලේ ප්‍රැන්සිස් තුමාය. එවිට ඇයට අවුරුදු 18ක් විය.

ගොබ් ඉරිදා දිනයේ රාත්‍රියේ නැන්දණියක් සහ තවත් අයෙකු සමග ඇගේ පියාගේ මාලිගාවෙන් පැන වනාන්තරය හරහා පෝර්සියුන්කුලා දේවස්ථානයට පැමිණියාය. අසල නිම්නයේ ප්‍රැන්සිස් සහ ඔහුගේ තාපස සොහොයුරන් මධ්‍යම රාත්‍රියේ ගිනි පන්දම් රැගෙන ගොස් ඇය පිළිගත්තෝය. මෙම දේවස්ථානයේදී ඇය ඇගේ අලංකාර වස්ත්‍ර වලට දළ ඇදුමක් හා හිස් වැසුමක් මාරු කර ගත්තීය.

ඇගේ රන්වන් දිගු කෙස් කලබ කපා දැම්මාය. සම්පුර්ණ තද දිළිදුකමින් විසීමට ඇය දෙවියන් වහන්සේට විශේෂ භාරයක් වුවාය. ඇගේ පියා ඔහුට උසස් පුද්ගලයෙකු හා විවාහයක් සුදානම් කර තිබුණි. ඇගේ පියා කොතරම් කෝප විදයත් ඇය තාවකාලිකව පදිංචි වී සිට බෙනදිකානු කන්‍යාරාමයෙන් ඇදගෙන යාමට උත්සහ කළේය. නමුත් ඇය දිරිමත් ලෙස එයට ඉඩ නුදුන්නිය.

නොබෝ කලකට පසු පියා විසින් ශු. දමියානුතුමාගේ දේවස්ථානය අසල ඉතා චාම් කන්‍යාරාමයක් ඇයට සාදා දෙන ලදී. ඇගේ බාල සොහොයුරිය වන ඇග්නස් ද ඇය අනුගමනය කළාය. දුප්පත් ” ක්ලාරා පන්තිය ” ඉදිරි වසර කිහිපය තුල දිනෙන් දින දියුණුව කරා කඩිනමින් පිය නගන්නට විය. ක්ලාරාගේ මව වන හොර්ටුලානාද ඇගේ අනෙක් සොහොයුරිය වන බ්‍රියට්‍රිස් ද ක්ලාරාගේ අනුශාසනා යටතට පත්විය. බෙනදිකානු පන්තිය භාවිතාකල නීති වලට සමීප නීති මාලාවක් මෙම තාපසිකා පන්තියට ක්‍රි.ව. 1219 ලියා සකස් කරන ලදී. ක්ලාරා සමහර කොටස් නැවත සකස් කල යුතු යැයි කීවාය. ඇගේ මරණයට දින 2කට පෙර, 4 වන ඉනොසන්ට් ශුද්ධෝත්තම පියතුමා, ශු. ක්ලාරා පන්තියේ නීති මාලාව විශේෂයෙන් තද දිළිදුකමට ප්‍රධාන තැනක් දී ඇති බැවින් ස්ථිරව අනුමත කළේය.

එක අවස්ථාවක 2 වන පෙඩ්රික් නම් අධිරාජ්‍යයා විසින් අන්‍යගම්කාර මිලේච්ඡයන්ගෙන් සමහරකයෙන් යුත් බලකායක් රැගෙන විත් නගරය විනාශ කිරීමට පටන් ගත්හ. ක්ලාරාතුමී දිව්‍ය සත්ප්‍රසාද කරඩුව රැගෙන ගේට්ටුව අසලටම තම සොහොයුරියන් රැගෙන ගියාය. ” අහෝ දෙවියනි ඔබගේ දාසයන් රැකගත මැනව. ” යි ඔවුන් හඩ නගා යාච්ඤා කළහ. ටික වෙලාවකින් පසු එම සතුරු හමුදාව සි සීකඩ විසිරි ගියේය. දිළිදු ක්ලාරා පන්තිය භාවනාශීලි යාච්ඤා හා මර්ධන ක්‍රියා වලින් දිවි ගෙවන, තාපස ගෘහයෙන් පිට නොයන අභ්‍යන්තර තාපස පන්තියකි. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස නොකරන සියල්ලන් උදෙසා ප්‍රතිකාර කරමින් ඉතා දැඩි ආත්ම දමනයෙන් ජිවිතයක් ගත කරති. ක්ලාරා තුමියගේ මරණයට පෙර ශු. ජුවාම්තුමා ජේසු තුමාගේ ශුද්ධවූ දුක්ප්‍රාප්තිය ගැන ලියු ශුභාරංචිය ඇයට ඇසෙන සේ කියවන්නට අණ කළාය. වයස අවුරුදු 60දී ඇය ස්වර්ගස්ථ වුවාය.එතුමියගේ මංගල්‍යය අගෝස්තු 11 වන දින සිදු කෙරේ.

වැල්දෙන්සියානුවෝ

ප්‍රංශයේ ලියෝන්හී ක්‍රි.ව. 1173 දී පමණ ජීවත් වූ වල්දේසියස් මෙම නිකායේ ආරම්භකයා වේ. ඔහු ඉතා ධනවත් පුද්ගලයෙකි. ඔහු මුදල් පොළියට දූන් තැනැත්තෙකි. පසුව ජේසුස් කි්‍රස්තුන් වහන්සේගේ වචනය කියවීමෙන් තම ජීවිය වෙනස්කර ගත්තේය. ඔහුගේ සිත්හැරීමට හේතුවූ බයිබල් පාඨය නම් " සදාකාලික ජීවිය ලබා ගැනීමට නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා දිළිඳූනට දෙන්න." (මතෙව් 19:21). මේ අනුව ඔහු දිළඳූකම නැමැති දේව ධර්ම ගුණය තම නිකායේ පරමාදර්ශය කර ගත්තේය. ඊට අමතරව සැමතැන සුබ අස්න දේශනා කිරීමට හා කිතු දහම ජීවත් කිරීමට තම අනුගාමිකයින් දිරිමත් කලේය. තම වස්තුවෙන් කොටසක් තම බිරිඳටත් අනෙක් කොටස ඳිළිඳූන්ට හා අසාධාරණ ලෙස තමා වස්තුව ලබා ගත් අයටත් දූන්නේය.

ඉන්පසු ඔහු සුබ අස්න දේශනා කිරීමේ කාර්යයෙහි නියලුණේය. ක්‍රි.ව. 1162 දී පමණ ප්‍රංශය පුරාම දූර්භික්ෂයත් ඇතිවිය. මෙම කාලයේ දී වැල්දෙන්සියානුවෝ දූප්පත් හා අසරණ අය උදෙසා ආහාර පාන බෙදාදීමේ කටයුතු වල නිරත වූහ. මෙම කැපවූ ජීවිත අගයමින් රෝමයට හරසරින් වල්දේසියස්ව තුන්වන ඇලෙක්සැන්ඩර් ශුද්ධෝත්තම පියතුමා පිළිගෙන නිකායේ දිළඳූකමේ දේවධර්ම ගුණය හා සුබ අස්න දේශනා කිරීමේ කාර්යය අනුමත කලේය. වල්දේසියස් ක්‍රි.ව. 1205-1210 අතර කාලයේ දී ස්වර්ගස්ථ වූ බව ඉතිහාසය සඳහන් කරයි.

(පරිශීලනය සහ උපුටාගැනීම් - ගෞ. ශෙරොන් ඩයස් පුජාප්‍රසාදීන් වහන්සේගේ පාඩම් සටහන් මගින්)
සටහන - අසේල දසනායක

Read more