ජේසුගේ කුඩාමල වූ ශුද්ධ වූ තෙරේසා තුමිය
ප්‍රංශයේ ඇලන්සොන් නගරයේ වර්ෂ 1873 ජනවාරි 02 වන දින මාරි ෆ්‍රැන්සුවා තෙරේස් මාර්ටින් උපත ලැබුවාය. ඇය නව දෙනෙකුගේ පවුලේ බාලම දැරිය විය. පියා ලුවිස් මාර්ටින් වූ අතර මව සෙලී ග්‍රෑන් විය. මේ දෙදෙනාටම එක් කාලයකදී තාපස ජීවිතයක් සඳහා සිත් ඇදීමක් ඇතිවිය. ඔවුන් එම ජීවිතයට පත්වීම දේව කැමැත්ත නොවීය. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේ දියණියන් පස්දෙනෙක්ම තාපස ජීවිතයට ඇතුළත් වූහ. දෙමාපියන් තුළ තිබූ දේව භක්තිය, විශ්වාසය සහ ප්‍රේමය ඊට හේතු විය. තෙරේසාට අවුරුදු 11 වයස් වූ විට මේ යහපත් මව ස්වර්ගයට කැඳවනු ලැබුවාය. ඉන්පසු ඇගේ භක්තිමත් පියා හා තෙරේසා අතර දැඩි සම්බන්ධකමක් ඇති විය. තෙරේසා ඉතා ලාබාල වයසේ සිටියදී පවා ශුද්ධවන්තයක් වීමට ලොල් වූවාය. ඔහුගේ තේරුම් ගැනීම සහ ආදර්ශමත් ජීවිතයෙන් මේ යහපත් අදහස පෝෂණය කළේය.
දිනක් ඇය රාත්‍රී යාඥා කළ පසු නිදා ගැනීමට ප්‍රමාද වී ශීතල පොළොවේ දණ ගසාගෙන සිටින දුටු ඇගේ මෙහෙකාරිය වූ වික්ටෝරියා ඇය ඉක්මනින් නින්දට යැවීමට උත්සාහ කළාය. තෙරේසා කතා කොට "වික්ටෝරියා මට තව සුළු වෙලාවක් දෙන්න, මම අපේ ශුද්ධෝත්තම පියතුමන් වෙනුවෙන් කිවයුතු යාඥාව කියා අවසාන වී නැතැයි කීවාය". මේ යහපත් ගුණාංගයන්ගෙන් පිරී සිටිය තෙරේසාට වුවද ඇගේ ජීවිතයේ නොයෙකුත් අඩුලූඩුකම් ඇති විය. උදාහරණයත් වශයෙන් අහංකාර ගති ඇති හිතුවක්කාර ළමයෙක් වන්නට ඉඩ තිබුණි. නමුත් ඇගේ පියාගෙන්ද සොහොයුරියන්ගෙන් ද ලැබුණු අවවාද අසා, ඇය තමා දමනය කර වැරදි හරිගස්සා ගත්තාය.
ඇගේ සොහොයුරියන් අනුගමනය කර්මෙල් තාපස පන්තියට ඇය ඉතාම ලාබාල වියකයේදීම ඇතුළු වීමට නිකායේ ශ්රේෂ්ඨතුමියගෙන් අවසර ඉල්ලා සිටියේය. ඇය බාල වයස්කාරියක් නිසා අවසර නොලැබුණු බැවින් ඉන් නතර නොවී තම පියාගේ ආධාර ඇතිව රෝමයට වන්දනා ගමනකට ගිය අවස්ථාවේදී 13 වන ලියෝ ශුද්ධෝත්ම පාප්තුමා ඉදිරියේ දණින් වැටි ඈට වයස අවුරුදු 15 වන විට කාර්මෙල් තාපස පන්තියට ඇතුළු වීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියාය. ඇයට අවසරය ලැබිණි. එම සිහි කටයුතු දිනය නම් 1888 අප්‍රේල් 09 වන දිනයයි.
ජේසුතුමන්ගේ කුඩාමල වන තෙරේසා සොයුරිය පුදුමාකාර විශ්වාසවන්ත තාපස ජීවිතයක් ගත කළාය. ජේසුස් වහන්සේට මහත් ආදරයෙන් කුඩා මාර්ගයේ ගමන් කරමින් ඇගේ දිනපතා ජීවිතයේ සාමාන්‍ය යුතුකම් ඉතා විශ්වාසවන්තව ඉටු කළාය. ඇයට මහා පව්කාරයන් දෙවියන් වහන්සේ වෙතට හැරවීමට හැකි වූයේත්, ශුද්ධවන්තයක් වීමට හැකිවූයේත් මේ කුඩා මාර්ගයේ ආධාරයෙනි. ඇගේ 9 අවුරුදු කන්‍යාරාම ජීවිතය ඉතා මුවාවූ ජීවිතයකි. ඒ කෙසේද යත් ඇගේ සොහොයුරියෝ පවා මෙවැනි උතුම් ශුද්ධවන්තියක් ඔවුන් අතරේ ජීවත් වූ බව කිසි කලෙකත් නොසිතුවෝය. ඇගේ විශේෂම කෘත්‍යය වූයේ මර්ධන ක්‍රියාවලින් පව්කාරයන් ගලවා ගැනීමත් ධර්මදූත කටයුතු සඳහා වෙහෙස දරන පූජා ප්‍රසාදීන්වරුන් හා රදගුරුතුමන්ලා වෙනුවෙනුත් ශුද්ධ වූ සභාවේ වර්ධනය සඳහා යාඥා කිරීමත්ය.
ශාරීරිකව හෝ මානසිකව ඇය බොහෝ පීඩා වින්දාය තමා දේව අභිමතයට සම්පූර්ණයෙන්ම යටත් කර නිර්භීතව ඉවසීමෙන් යුතුව දෙවියන් වහන්සේගේ දයාබර ප්‍රේමයේ යාගයක් ලෙස ඇය තමාවම පුද කළාය.
වයස 24 දී ක්ෂය රෝගය වැළඳී ක්‍රි.ව. 1987 දී සැප්තැම්බර් 03 වන දින ඇයගේ මරණයට සුළු මොහොතකට පෙර ඇයි යහන මත වාඩි වී ඉදිරියේ බැබලෙන දීප්තිමත් බැල්මෙන් මෙසේ කීවාය. අහෝ ජේසුනි මම ඔබ වහන්සේට කොතරම් ප්‍රේම කරන්නෙම් ද?" කියා අන්තිම හුස්ම හෙළුවාය.
1925 මැයි 14 වැනි දින ශුද්ධවන්තයන්ගේ සංඛ්‍යාවට ඇය ඇතුළත් කරන ලදී. ශුද්ධෝත්තෝම පාප්තුමන්ගේ ප්‍රකාශයට අනුව ශුද්ධ ෆ්‍රැන්සිස් සේවියර් තුමා සමග ශුද්ධ වූ කුඩා තෙරේසා තුමියද ධර්මදූත සේවයේ අරක්ගත් මුනිවරිය ලෙස පත් කෙරිණි.
එතුමියගේ මංගල්‍යය ඔක්තෝබර් 1 වෙනිදා ශුද්ධ වූ සභා මාතාව සමරනු ලබන්නීය.
උපුටාගැනීමක්