ඉග්නේෂියානු ආධ්‍යාත්මික දිවි පෙවෙත

ඉග්නේෂියානු ආධ්‍යාත්මිකත්වය, ශුද්ධ වූ ලොයොලාහි ඉග්නේෂස් තුමාගේ අත්දැකීම් මත පදනම් වූවක් වන අතර, සියලු දේ තුළ දෙවියන් වහන්සේ සොයා ගැනීමට ප්‍රායෝගික මඟක් ඉදිරිපත් කරයි. එය දැඩි ධර්මතාවන්ට වඩා, ලෝකය සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ වීම තුළින් වර්ධනය කර ගන්නා දෙවියන් වහන්සේ සමඟ ඇති පුද්ගලික සම්බන්ධතාවයක් පිළිබඳව ය.

මෙම ආධ්‍යාත්මිකත්වයේ කේන්ද්‍රීය අංගය වන්නේ විචාර බුද්ධිය පුරුදු පුහුණු කිරීමයි, එනම් එදිනෙදා ජීවිතයේ දී දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරිත්වය හඳුනාගෙන ඊට ප්‍රතිචාර දැක්වීමට ඉගෙනීමයි. ආධ්‍යාත්මික අභ්‍යාස, දෛනික යාච්ඤාව, අත්දැකීම් මෙනෙහි කිරීම සහ සේවයට කැපවීම වැනි ක්‍රම මඟින්, ඉග්නේෂියානු ආධ්‍යාත්මිකත්වය පුද්ගලයන්ට තම දෛනික ජීවිතයට දේව විශ්වාසය ඒකාබද්ධ කර ගැනීමට ආරාධනා කරන අතර, අවසානයේ දී “ක්‍රියාවේ යෙදෙන භාවනානුයෝගීන්” බවට පත්වීමට උත්සාහ කරයි. එය දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලව දැනුවත්ව තේරීම් කිරීමට පුද්ගලයන් සවිබල ගන්වන අතර, අරමුණු සහිත ජීවිතයකට සහ දේවත්වය සමඟ ගැඹුරු සම්බන්ධතාවයකට මඟ පාදයි.

ඓතිහාසික පසුබිම සහ ශාන්ත ඉග්නේෂස් තුමන්ගේ ජීවිතය

දහසයවන සියවසේ මුල් භාගයේදී, ස්පාඤ්ඤයේ ලොයෝලා ප්‍රදේශයේ, ප්‍රභූ පවුලක ඉග්නේෂස් නමින් දරුවෙක් මෙලොව එළිය දුටුවේය. තරුණ වියේදී යුධ සේවයට එක්වූ ඉග්නේෂස්, පැම්ප්ලෝනා සටනේදී බරපතල ලෙස තුවාල ලැබීය. සුවය ලබමින් සිටි කාලය තුළ, ජේසුස් වහන්සේගේ සහ සාන්තුවරයන්ගේ ජීවිත පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ පරිශීලනයට ඔහු යොමු විය. මෙම පරිශීලනය ඔහුගේ ජීවිත පරිවර්තනයක් ඇති කළ අතර, ලෞකික අභිලාෂයන් කෙරෙහි වූ බැඳීම අත්හළ ඔහු, තම දිවිය දෙවියන් වහන්සේගේ සේවය සඳහා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත්තේය.

ඉන් අනතුරුව, ඉග්නේෂස් තුමා මන්රේසා නගරය අසල ගල් ගුහාවක හුදෙකලා වාසයට පිවිසියේය. එහිදී යාච්ඤාවෙන් සහ භාවනාවෙන් කල් ගෙවූ එතුමා "ආධ්‍යාත්මික අභ්‍යාස" නමින් අගනා යාච්ඤා ක්‍රමවේදයක් සම්පාදනය කළේය. මෙම අභ්‍යාස මාලාව, පුද්ගලයෙකුට දෙවියන් වහන්සේගේ කැමැත්ත අවබෝධ කරගැනීමටත්, ජේසුස් වහන්සේගේ පියවර අනුගමනය කිරීමටත් මඟ පෙන්වන මාර්ගෝපදේශක පද්ධතියකි.

පසුව, ඉග්නේෂස් තුමා තම සමීපතම අනුගාමිකයන් කිහිප දෙනෙකු සමඟ එක්ව "ජේසු නිකාය" නමින් ආගමික නිකායක් ආරම්භ කළේය. මෙම නිකායේ සාමාජිකයෝ දේවධර්මය, අධ්‍යාපනය, සහ මිෂනාරි සේවය යන ක්ෂේත්‍රයන්හි අතිවිශිෂ්ට මෙහෙවරක් ඉටු කළහ. ශු. ෆ්‍රැන්සිස් සේවියර් තුමා වැනි ජේසු නිකායික මිෂනාරිවරු ආසියාව, අප්‍රිකාව, සහ ඇමරිකාව වැනි දුර බැහැර දේශයන් කරා ගොස් ශුභාරංචියේ පණිවිඩය රැගෙන ගියහ.

ඉග්නේෂියානු ආධ්‍යාත්මිකත්වයේ මූලික අංග

ඉග්නේෂියානු ආධ්‍යාත්මිකත්වය පහත සඳහන් ප්‍රධාන මූලධර්ම මත පදනම් වේ:

  1. සකල දේ තුළින් දෙවියන් වහන්සේ දැකීම : අපගේ ජීවිතයේ සෑම පැතිකඩකම, සෑම අත්දැකීමකම, සහ අපට හමුවන සෑම පුද්ගලයෙකු තුළම දෙවියන් වහන්සේගේ වැඩසිටීම හඳුනා ගැනීම ඉග්නේෂියානු ආධ්‍යාත්මිකත්වයේ මූලික හරයයි.
  2. සියල්ල දෙවියන් වහන්සේගේ උත්තරීතර මහිමය උදෙසා : අපගේ සියලු ක්‍රියාවන් දෙවියන් වහන්සේගේ උත්තරීතර මහිමය අරමුණු කරගෙන සිදු කළ යුතු බව මෙමගින් අවධාරණය කෙරේ.
  3. දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙවීම : අපගේ ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී, යාච්ඤාපූර්වකව සහ සිහිනුවණින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්දැයි සොයා බැලීම අතිශයින් වැදගත් වේ.
  4. ජේසුස් වහන්සේගේ දිවි පෙවෙත මෙනෙහි කිරීම : ශුද්ධ වූ බයිබලය ඇසුරින් ජේසුස් වහන්සේගේ ජීවිතය, ඉගැන්වීම්, ප්‍රාතිහාර්යයන්, දුක්ප්‍රාප්තිය, ස්වර්ගාරෝපණය, සහ උත්ථානය ගැඹුරින් මෙනෙහි කිරීම මෙම ආධ්‍යාත්මිකත්වයේ ප්‍රමුඛ අංගයකි.
  5. ක්‍රියාශීලී මෙනෙහි කිරීම : යාච්ඤාවෙන් සහ මෙනෙහි කිරීමෙන් උකහා ගත් අවබෝධය සහ ප්‍රේමය ක්‍රියාවට නැංවීම, එනම් අන්‍යයන්ට සේවය කිරීම තුළින් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම මෙයින් අදහස් වේ.
  6. ආත්ම සෝදිසිය : දවස අවසානයේදී, අපගේ ක්‍රියාවන්, සිතුවිලි, සහ හැඟීම් යාච්ඤාපූර්වකව සමාලෝචනය කිරීම සහ දෙවියන් වහන්සේගේ කරුණා මහිමය සහ මඟ පෙන්වීම අප අත්දුටු අයුරු මෙනෙහි කිරීම.
  7. ආධ්‍යාත්මික අභ්‍යාස : ශාන්ත ඉග්නේෂස් තුමා විසින් සම්පාදනය කරන ලද යාච්ඤා අභ්‍යාස මාලාව අනුගමනය කිරීම

ඉග්නේෂියානු ආධ්‍යාත්මිකත්වය එදිනෙදා ජීවිතයට ප්‍රායෝගිකව අනුගත කර ගැනීම

  1. භාවනාව

භාවනාව යනු ඉග්නේෂියානු ආධ්‍යාත්මිකත්වයේ පදනමයි. එය හුදෙක් හිස් මනසකින් සිටීම නොව, දෙවියන් වහන්සේ සමග අර්ථවත් සංවාදයක යෙදීමකි.

    • නිශ්ශබ්ද, බාධා අවම ස්ථානයක් තෝරා ගන්න.
    • සුව පහසු ඉරියව්වකින් හිඳ ගන්න.
    • ඔබගේ හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් මනස සන්සුන් කර ගන්න.
    • ජේසුස් වහන්සේගේ ජීවිතයේ සිදුවීමක් (උදා: ගෙත්සෙමනියේ යාච්ඤාව, කල්වාරි කන්දේ කුරුසගත කිරීම), ශුද්ධ වූ බයිබලයේ කොටසක් (උදා: ගීතාවලිය 23, 1 කොරින්ති 13), නැතහොත් දෙවියන් වහන්සේගේ ගුණාංගයක් (උදා: ප්‍රේමය, දයාව, සමාව දීම) මෙනෙහි කරන්න.
    • මරිය මව්තුමිය සමග ජපමාලය භාවනා කිරීමද ඉතා ඵලදායී භාවනා ක්‍රමයකි.
    • භාවනාව තුලින් මතුවන සිතුවිලි, හැඟීම් කෙරෙහි අවධානය යොමු කරන්න. දෙවියන් වහන්සේ ඔබට පවසන්නට උත්සාහ කරන්නේ කුමක්දැයි වටහා ගැනීමට උත්සාහ කරන්න.
    • මිනිත්තු 10-15 ක කාලයකින් ආරම්භ කර, ක්‍රමයෙන් කාලය දීර්ඝ කර ගත හැක.
    • උදෑසන අවදි වූ විගස හෝ රාත්‍රී නින්දට යාමට පෙර භාවනාව සඳහා කාලය වෙන් කර ගන්න.
    • කාර්යබහුල දවසක් තුළ වුවද, කෙටි භාවනා අභ්‍යාස (උදා: මිනිත්තු 5ක නිශ්ශබ්දතාවයක්) ප්‍රගුණ කළ හැක.
    • ගමන් බිමන් යන අතරතුරදී පවා, අවට පරිසරය නිරීක්ෂණය කරමින්, එහි සුන්දරත්වය තුළින් දෙවියන් වහන්සේ දැකීමට උත්සාහ කරන්න.
  1. ආත්ම සෝදිසිය: දවස දෙස ආපසු හැරී බැලීමක්

ආත්ම සෝදිසිය යනු දවස අවසානයේදී, දෙවියන් වහන්සේගේ අභිමුඛයෙහි සිටිමින්, අපගේ දවස යාච්ඤාපූර්වකව සමාලෝචනය කිරීමේ අභ්‍යාසයකි.

    • කෘතඥතාව: දවස තුළ ඔබ ලද ආශිර්වාද, ප්‍රීතිමත් අවස්ථා, සහ අන්‍යන්ගෙන් ලද උපකාර සිහිපත් කරමින් දෙවියන් වහන්සේට ස්තූති කරන්න.
    • සමාලෝචනය: ඔබගේ සිතුවිලි, වචන, සහ ක්‍රියාවන් දෙස අපක්ෂපාතීව ආපසු හැරී බලන්න.
    • කණගාටුව: ඔබගේ අතපසුවීම්, වැරදි, සහ පාපයන් ගැන අවංකව කණගාටු වන්න. දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලන්න.
    • අධිෂ්ඨානය: ඊළඟ දිනයේදී වඩා යහපත් පුද්ගලයෙකු වීමටත්, දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලව ක්‍රියා කිරීමටත් අධිෂ්ඨාන කර ගන්න.
    • බලාපොරොත්තුව: දෙවියන් වහන්සේගේ කරුණාව සහ මඟ පෙන්වීම කෙරෙහි බලාපොරොත්තුවෙන් යුතුව නින්දට යන්න.
    • සෑම දිනකම නින්දට යාමට පෙර මිනිත්තු 15ක් පමණ ආත්ම සෝදිසිය සඳහා වෙන් කර ගන්න.
    • මේ සඳහා සටහන් පොතක් භාවිත කිරීම ප්‍රයෝජනවත් විය හැක.
    • පවුලේ සාමාජිකයන් සමග එක්ව ආත්ම සෝදිසිය සිදු කිරීමෙන් පවුලේ බැඳීම ශක්තිමත් කර ගත හැක.
  1. දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙවීම

දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙවීම හෙවත් විචාර බුද්ධිය යනු ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම පැතීමේ ක්‍රියාවලියයි.

    • යාච්ඤාව: ඔබගේ ගැටලුව/තීරණය දෙවියන් වහන්සේට භාර කරමින් යාච්ඤා කරන්න. උන්වහන්සේගේ මඟ පෙන්වීම පතන්න.
    • තොරතුරු රැස් කිරීම: අදාළ කරුණු පිළිබඳව මනා ලෙස සොයා බලන්න. විවිධ දෘෂ්ටි කෝණ සලකා බලන්න.
    • හෘදය සාක්ෂියට සවන් දීම: ඔබගේ අභ්‍යන්තර හඬට සවන් දෙන්න. දෙවියන් වහන්සේ ඔබගේ හෘදය සාක්ෂිය හරහා ඔබ සමග කතා කරනු ඇත.
    • අවධානය යොමු කිරීම: ඔබේ අභිප්‍රේරණයන් මොනවාද? ඔබගේ තීරණය දෙවියන් වහන්සේගේ මහිමය උදෙසාද? අන්‍යයන්ගේ යහපතට හේතු වේද?
    • ආධ්‍යාත්මික මඟ පෙන්වන්නෙකුගේ උපදෙස් පැතීම: අත්දැකීම් ඇති ආධ්‍යාත්මික මඟ පෙන්වන්නෙකුගේ උපදෙස් සහ මඟ පෙන්වීම ඉතා වටී.
    • සාමය: දෙවියන් වහන්සේගේ කැමැත්ත සමග එකඟ වන තීරණයක් සාමය සහ සැනසීම ගෙන දේ.
    • කුඩා තීරණ ගැනීමේදී පවා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම පැතීම පුරුද්දක් කර ගන්න.
    • වැදගත් තීරණ ගැනීමට පෙර ප්‍රමාණවත් කාලයක් යාච්ඤාවෙන් සහ මෙනෙහි කිරීමෙන් ගත කරන්න.
    • හදිසි තීරණ ගැනීමෙන් වළකින්න.
  1. සකල දේ තුළින් දෙවියන් වහන්සේ දැකීම

මෙය හුදෙක් දර්ශනයක් පමණක් නොව, ජීවන රටාවකි. අප අවට ඇති සෑම දෙයකම, අප හමුවන සෑම කෙනෙකු තුළම දෙවියන් වහන්සේගේ ප්‍රතිරූපය දැකීමට උත්සාහ කිරීමයි.

    • දැනුවත්භාවය: ඔබ අවට පරිසරය, මිනිසුන්, සිදුවීම් කෙරෙහි අවධානයෙන් පසුවන්න.
    • අගය කිරීම: සොබා දහමේ සුන්දරත්වය, මිනිසුන්ගේ කරුණාවන්ත භාවය, ජීවිතයේ කුඩා ප්‍රීතිමත් අවස්ථා අගය කරන්න.
    • සේවය: අන්‍යයන්ට සේවය කිරීම තුළින් දෙවියන් වහන්සේට සේවය කරන්න.
    • ප්‍රතිපත්තිය: සෑම පුද්ගලයෙකු තුළම දෙවියන් වහන්සේගේ අංශු මාත්‍රයක් දැකීමට උත්සාහ කරන්න.
    • සොබා දහමේ සුන්දරත්වය නරඹන විට, දෙවියන් වහන්සේගේ මැවිල්ලේ මහිමය මෙනෙහි කරන්න.
    • රැකියාවේදී, ඔබගේ කාර්යයන් දෙවියන් වහන්සේට කරන පූජාවක් ලෙස සලකා කැපවීමෙන් යුතුව ඉටු කරන්න.
    • පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමග ගෙවන කාලය තුළ, ඔවුන් තුළින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැකීමට උත්සාහ කරන්න.
    • අසරණයන්ට, පීඩිතයන්ට උපකාර කිරීම තුළින් ජේසු සමිඳුන්ට සේවය කරන්න.
  1. ආධ්‍යාත්මික අභ්‍යාස පුහුණු වීම

ශු. ඉග්නේෂස් තුමා විසින් සම්පාදනය කරන ලද ආධ්‍යාත්මික අභ්‍යාස, සති හතරක් පුරා සිදුකරන ගැඹුරු යාච්ඤා අත්දැකීමකි. මෙය ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇති කළ හැකි ප්‍රබල මෙවලමකි. (මෙය පිලිබදව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී)

ශු. ඉග්නේෂස් තුමාගේ ජීවිතය දෙස බැලූ විට, එතුමා මුහුණ දුන් අභියෝග සහ බාධක සුළුපටු නොවේ. එතුමාගේ ශරීර සෞඛ්‍යය දුර්වල වූ අතර, සමාජයෙන් විවිධ චෝදනා වලට ලක් වුණා. නමුත් මේ සියලු බාධක මැද එතුමා දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව ඉදිරියට ගමන් කළා. එතුමාගේ ආදර්ශය අපට කියා දෙන්නේ, කුමන බාධක පැමිණියද, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේගේ කැමැත්තට අනුව ජීවත් වීමට අප උත්සාහ කළ යුතු බවයි. අපගේ ජීවිතයේ දුෂ්කර අවස්ථාවලදී, ශු. ඉග්නේෂස් තුමාගේ ජීවිත ආදර්ශය සිහිපත් කරමින්, උන්වහන්සේගේ යාච්ඤා ජීවිතය අනුගමනය කරමින්, ධෛර්යයෙන් ඉදිරියට යාමට උත්සාහ කරමු.

ඉග්නේෂියානු ආධ්‍යාත්මිකත්වය, ජේසු සමිඳුන් වෙතට සමීප කරවන, අර්ථවත් ජීවිතයක් ළඟා කරදෙන මාහැඟි මඟ පෙන්වීමකි. එය නිතිපතා පුරුදු පුහුණු කිරීමෙන් ඔබටත් දෙවි සමිඳුන්ගේ ප්‍රේමයේ මහිමය අත්විඳිමින්, උන්වහන්සේගේ රාජ්‍යයේ කොටස්කරුවෙකු වීමේ භාග්‍යය උදා කරගත හැකිය.

Read more