යාච්ඤා කරන්නේ කෙසේද?
යාච්ඤාව යනු කුමක්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? එය හුදෙක් වචන කටපාඩමින් කියන දෙයක්ද? නැතහොත් පල්ලියේ දණ ගහලා කියන දෙයක්ද? ඇත්තෙන්ම යාච්ඤාව ඊට වඩා ගැඹුරු අරුතක් ඇති, හදවතින් නැගෙන ආයාචනයකි. එය අපට ජීවිතය දුන් දෙවියන් වහන්සේ සමඟ කෙරෙන හෘදයාංගම සංවාදයකි.
යාච්ඤාව හුදෙක් ඉල්ලීම් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම නොවේ. ශු. තෙරේසා මුනිවරිය පැවසූ පරිදි, එය ප්‍රේමය, දුක, සතුට, බලාපොරොත්තුව ආදී ඕනෑම දෙයක් ගැන දෙවියන් වහන්සේට පැවසීමේ අවකාශයකි. අපගේ සිතුවිලි, හැඟීම්, ප්‍රශ්න සියල්ල උන්වහන්සේ ඉදිරියේ තැබිය හැකිය. වැදගත්ම දෙය නම්, අපගේ හදවත් දෙවියන් වහන්සේ වෙත යොමු කරමින්, ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීමට ඉඩ සැලසීමයි.
යාච්ඤාවෙන් අප ලබන දේ
- දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට ඉගෙන ගනිමු: ජීවිතයේ කුණාටු මැද, යාච්ඤාව අපට සැනසුම ලබා දෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්තට අපගේ ජීවිත භාර දීම තුළින්, අසමසම සාමයක් සහ ආරක්ෂාවක් අත්විඳිය හැකිය.
- අපගේ සැබෑ අරමුණ අවබෝධ කරගනිමු: දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ අන් අයට ප්‍රේම කිරීම යන උතුම් අරමුණ කරා යාමට යාච්ඤාව අපට මග පෙන්වයි.
- ශුද්ධවන්ත ජීවිතයකට පියනගමු: යාච්ඤාව අපගේ හදවත් සහ මනස පවිත්‍ර කරයි. ශුද්ධාත්මයාණන්ගේ අභිෂේකයෙන් පූර්ණව, ජීවිතය දෙවියන් වහන්සේගෙන් ලද අමිල දායාදයක් ලෙස දැකීමටත්, ප්‍රීතියෙන් හා කෘතවේදීත්වයෙන් යුතුව ජීවත් වීමටත් අපට හැකියාව ලැබේ.
යාච්ඤා කරන්නෙ පළවෙනි පාරටද?
ඔබ කිතු දහම සමඟ නුහුරු, යාච්ඤා කිරීමට අලුත් කෙනෙක් නම්, මෙහෙම පටන් ගන්න පුළුවන්: මුලින්ම නිශ්ශබ්ද, ඔබට සිත එකඟ කරගත හැකි තැනක් සොයාගන්න. මුලින්ම පහත ආකාරයට ත්රීත්වීක ආරාධනාව කරන්න.
ඉන්පසුව ස්ප්‍රීතු සාන්තු ආරාධනාව කියන්න
ස්ප්‍රීතු සාන්තු දෙවියනී, වැඩම කර ඔබගේ විශ්වාසීන්ගේ හෘදයන් පිරෙව්ව මැනව. ඔබගේ ප්‍රේමයේ ගින්න ඔවුන් තුළ දැල්වුව මැනව. ඔබගේ ස්ප්‍රීතුව යැව්ව මැනව. එවිට ඔවුහු මවනු ලබන්නෝය. තවද ඔබ පෘථිවියේ විශාලකම අලුත්කර වදාරණ සේක.
යාච්ඤා කරම්හ..
ස්ප්‍රීතු සාන්තු ආලෝකයෙන් විශ්වාසීන්ගේ හෘදයන් පැහැදෙව්වා වූ දෙවියනී, එම ස්ප්‍රීතුවෙන් සියල්ල ගැන හරි තේරුම් ගැනීම ලබන්නටත්, එම ශුද්ධ වූ සැනසිල්ලෙන් නිතර ප්‍රීති සන්තෝෂ වෙන්නටත් අපට සලස්වා වදාළ මැනව. මේ කී දේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්.
දෙවියන් වහන්සේ වෙත ඔබේ මනස යොමු කරන්න. ඔබට දැනෙන දේ, ස්තූතිවන්ත විය යුතු දේ, ඔබට අවශ්‍ය මගපෙන්වීම් ගැන අවංකව කතා කරන්න. ඒක හරියට විශ්වාසවන්ත මිතුරෙකුට හදවත විවර කරනවා වගේ. වචන ගැන ඕනෑවට වඩා හිතන්න එපා, වැදගත් වන්නේ ඔබේ හදවතේ ඇති දේ අවංකව ප්‍රකාශ කිරීමයි. මේ සරල සන්නිවේදනය තුළින් ඔබට සාමය සහ මගපෙන්වීම ලැබිය හැකියි. කාලයත් සමඟ, මෙම සම්බන්ධතාවය ගැඹුරු කරගනිමින්, යාච්ඤාව ඔබේ ජීවිතයේ කොටසක් කරගත හැකියි.
යාච්ඤා කළ යුත්තේ කෙසේද?
- සරලව ආරම්භ කරන්න: යාච්ඤාව යනු මැරතන් තරඟයක් නොවේ. එය කෙටි යාච්ඤාවකින් වුවද ආරම්භ කළ හැකි, සෙමින් වර්ධනය කරගත යුතු උතුම් ගමනකි. උදෑසන අවදි වූ විට දෙවියන් වහන්සේට ස්තූති කිරීම හෝ නින්දට පෙර දවසේ සිදුවීම් මෙනෙහි කරමින් උන්වහන්සේට භාර දීම වැනි සරල ක්‍රම අනුගමනය කළ හැකිය.
- යාච්ඤාව පුරුද්දක් කරගන්න: දිනපතා දත් මැදීම මෙන්, යාච්ඤාවද දෛනික චර්යාවේ කොටසක් කරගන්න. ක්‍රමයෙන්, දෙවියන් වහන්සේ සමඟ කතා කිරීම අපට වඩාත් ස්වාභාවික වනු ඇත.
- පරිපූර්ණත්වය පසුපස හඹා නොයන්න: යාච්ඤාවේදී වැදගත් වන්නේ වචනවල අලංකාරය නොව, හදවතේ ඇති අවංක භාවයයි. දෙවියන් වහන්සේ අපව පිළිගන්නේ අප සිටින තැන සිටයි.
- දෙවියන් වහන්සේට සවන් දෙන්න: යාච්ඤාව යනු අපගේ අවශ්‍යතා පමණක් ඉදිරිපත් කිරීම නොව, දෙවියන් වහන්සේගේ හඬට සවන් දීමයි. නිශ්ශබ්දතාවය තුළ, උන්වහන්සේගේ මෘදු හඬ අපට ඇසෙනු ඇත.
- දවස පුරා යාච්ඤාශීලීව සිටින්න: දෙවියන් වහන්සේ සැමවිටම අප සමඟ සිටියි. එබැවින්, ඕනෑම තැනක, ඕනෑම වේලාවක අපට උන්වහන්සේ සමඟ සම්බන්ධ විය හැකිය. ගමනේදී, වැඩ කරන අතරතුර, විවේකී අවස්ථාවන්හිදී - සෑම මොහොතක්ම යාච්ඤාවෙන් පිරවිය හැකිය.
- දුෂ්කරතා හමුවේ අත්නොහරින්න: ජීවිතයේ අඳුරුතම අවස්ථාවන්හිදී පවා යාච්ඤාව අපට සැනසිල්ල සහ ශක්තිය ලබා දෙයි. දුක් වේදනා තුළින් ගමන් කළ ජේසුස් වහන්සේගේ සහ මරිය මව්තුමියගේ ආදර්ශය අපට මහත් අස්වැසිල්ලකි.
යාච්ඤාවේ විවිධ ඉරියව්
- හදවතින් මෙනෙහි කිරීම (Contemplative Prayer): නිශ්ශබ්දතාවය තුළ දෙවියන් වහන්සේගේ වැඩසිටීම අත්විඳීම. ජේසුස් වහන්සේගේ ශ්‍රී නාමය මෙනෙහි කිරීම වැනි ක්‍රම. (ධ්‍යානපර යාච්ඤාව සවිස්තරාත්මකව)
- අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීම (Intercessory Prayer): රෝගීන්, පීඩාවට පත්වූවන්, කතෝලික සභාව සහ ලෝක සාමය වෙනුවෙන් යාච්ඤා කිරීම මෙයට අයත් වේ.
- ජනවන්දනාවට සහභාගී වීම (Liturgical Prayer): දිව්‍ය පූජාව, සත්ප්‍රසාද වන්දනාව, ජපමාලය, යාම යැදුම වැනි කතෝලික සභාවේ නමස්කාර මෙහෙයන්ට සහභාගී වීම තුළින් අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගත හැකිය.
යාච්ඤාවෙන් ජීවිතය අර්ථවත් කරගනිමු
නිරන්තර යාච්ඤාව තුළින් දෙවියන් වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය ගැඹුරු වේ. ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම තුළින්, ජේසුස් වහන්සේගේ සහ මරිය මව්තුමියගේ උතුම් ගුණාංග අප තුළ වර්ධනය වේ. නිහතමානිකම, දයාව, කරුණාව, ප්‍රේමය වැනි ගුණාංගවලින් පිරි ජීවිතයක් ගත කිරීමට යාච්ඤාව අපට උපකාරී වේ. අපගේ රැකියාව, පවුල් ජීවිතය, සමාජ සබඳතා ආදී සෑම අංශයක්ම යාච්ඤාව තුළින් ආලෝකමත් වේ. ජීවිතයේ අභියෝග ජයගැනීමට අවශ්‍ය ශක්තිය සහ මගපෙන්වීම යාච්ඤාව අපට ලබා දෙයි.
අවසාන වශයෙන්, යාච්ඤාව යනු දෙවියන් වහන්සේ සමඟ අපගේ පෞද්ගලික සම්බන්ධතාවයේ ජීවනාලියයි. එය නිරන්තරයෙන් පෝෂණය කළ යුතු, දිනෙන් දින වර්ධනය කරගත යුතු උතුම් දායාදයකි. මෙම ලිපියේ සඳහන් කරුණු ඔබගේ යාච්ඤා ජීවිතය අර්ථවත් කරගැනීමට ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරමු.