මහවීදිය ආශ්චර්යමත් දේවමාතා දේවස්ථානයේ ස්ථාපිත ඇත්දළින් නෙලන දේවමාතා ප්‍රතිමාවේ සත්‍ය මූර්තිමය විග්‍රහය
දේවමාතාවන්ගේ මෙම ඉපැරණි ප්‍රතිමාව මහවීදිය දේවස්ථානයේ සංක්‍රිස්තියන් කාමරය තුල කිසිඳු සැලකිල්ලකින් තොරව තිබියදී මෑතකදී හඳුනා ගන්නා ලද ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාවේ අගය වටහාගෙන නිසි වටිනාකමක් ලබා දීම සඳහා පියවර ගත් වත්මන් මහවීදිය මිසම්සේවක පියතුමන්ට ස්තුතිවන්ත විය යුතුය.
ප්‍රතිමාවේ මූර්තිමය ලක්ෂන අනුව මෙම ප්‍රතිමාව ලක්දිව පෘතුගීසි යටත් විජිත සමයට අයත් නොවන බව නිසැකයෙන්ම පැවසිය හැක. ප්‍රතිමාව නෙලා ඇත්තේ බරොක් මූර්ති ශෛලීය ලක්ෂන අනුවය. ලක්දිව පෘතුගීසි යටත් විජිත සමයේදී බරොක් මූර්ති කලාව පෘතුගාලයේ ප්‍රචලිතව නොතිබූ අතර පෘතුගාලය බරොක් මූර්ති ශෛලිය වැළඳ ගනු ලැබුවේ 17 වන සියවසේ අවසාන භාගයේදී (ක්‍රි.ව.1650 - ක්‍රි.ව. 1750 ) පමණය. එසේම, ලක්දිව පෘතුගීසි ඉතිහාසය තුල බරොක් ප්‍රතිමාවන් භාවිතා වූ බවට කිසිඳු සාධකයක් මේ වන තුරු හමු වී නැත.
මෙම ප්‍රතිමාව 17 වන සියවසේ අවසාන භාගයේදී හෝ 18 වන සියවසේ මුල් භාගයේදී (1650 – 1750) ඉන්දියානු මූර්ති ශිල්පියෙකු විසින් නෙලන ලද ප්‍රතිමාවක් බව මූර්තිමය නිරූපණයන් අධ්‍යනය කිරීම මඟින් පැහැදිලි වේ. මෙම ප්‍රතිමාව උඩරට කැටයම් කලාව විදහා දක්වන බවට වැරදි මතයක් ගොඩනැගෙමින් පවතී. ප්‍රතිමාව තුලින් උඩරට මූර්ති කලාවේ කිසිඳු අංගයක් නිරුපණය නොවන බව සහතිකයෙන්ම පැවසිය හැක. දේවමාතා වහන්සේ පැළඳ සිටින සළුවෙ වාටියේ ඇති බීක්කු සොභාවය මෙම ප්‍රතිමාවේ ඉන්දියානු මූර්තිමය අභාෂය වඩාත් ත්‍රිවූ කරවයි. පෘතුගීසි සහ ඉන්දියානු මූර්ති අභාෂයන් කැටිකොට නෙලා ඇති හෙයින් මෙම ප්‍රතිමාව Indo-Portuguese | ඉන්දෝ-පෘතුගීසි කාණ්ඩයට අයත් ප්‍රතිමාවක් ලෙස හඳුන්වා දිය හැක. මෙම ප්‍රතිමාව වසර 400 කට අධික ඉතිහාසයක් සහිත බවට වැරදි මතයක්ද ඇතිවී ඇත. මූර්තිමය නිරූපණයන් අධ්‍යනය කිරීමේදී මෙම ප්‍රතිමාව උපරිම වශයෙන් වසර 350ක් පමණ පැරණි බව පැවසිය හැක.
මෙම ප්‍රතිමාව මහවීදිය දේවස්ථානයට අයත් වූවක් නොව එකල ලක්දිව ධර්මදූත සේවාවේ නියැළුණු ගෝවේ ඔරතෝරියානු මිෂනාරි පියතුමෙක්ට අයත්ව තිබූ පෞද්ගලික ප්‍රතිමාවක් බව අනුමාන කල හැක. මන්ද මෙම ප්‍රතිමාව මුල් යුගයේ පටන්ම මහවීදිය දේවස්ථානයේ ස්ථාපිතව තිබුනේ නම් මීගමුවේ ජනතාව අතර මුල පටන්ම ප්‍රසිද්ධියට පත්වන්නට ඉඩකඩ තිබුණි. පසුකාලීනව පැමිණි මිෂනාරි පියතුමෙකු විසින් රැගෙන එන ලද ඉපැරණි ප්‍රතිමාවක් ලෙස මෙය හඳුන්වා දිය හැක්කේ එබැවිනි.
ප්‍රතිමාවේ අවිධිමත් පිළිසකර කිරීම් සහ ආලේපන ගැල්වීම සහ පිළිසකර කිරීම හේතුවෙන් පසුකාලීනව ඇත්දළ වල කල්පැවැත්මට හානි වීමට පිළිවන. මෙරට ඇත්දළ ප්‍රතිමා පිරිසිදු කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රමවේදයන් විධිමත් නොවන බව පැවසිය යුතුමය. අවිධිමත් නඩත්තු කිරීම් සහ පිළිසකර කිරීම් නිසා ඇත්දළ කහ වර්ණ වීමට හෝ පැලීම් වලට ලක් විමට හැකියාව ඇත. මීට හොදම නිදසුන වන්නේ වැල්ලපල්ලිය දේවස්ථානයේ ස්ථාපිත කාර්මෙල් මාතා ඇත්දළ ප්‍රතිමාවයි. එම ප්‍රතිමාවද අවිධිමත් පරිදි සංරක්ෂණ කටයුතු සඳහා ආලේපන ගැල්වීම හේතුවෙන් පැලී යාමට පටන්ගෙන ඇත.
ඇත්දලින් නෙලන ලද දේවමාතා ප්‍රතිමා සතරක් පමණක් ලක්දිව ඇති බවටද වැරදි මතයක් ගොඩනැගෙමින් පවතී. ඇත්දලින් නෙලා ඇති ඉපැරණි ඇත්දළ ප්‍රතිමා රැසක් මෙරට ස්ථාපිතව ඇති අතර එයින් දේවමාතා ප්‍රතිමා සතරකට වඩා ඇත. වැරදි කරුණු සමාජගත නොකිරීම අප සැමගේ වගකීමකි. එකල මෙම ප්‍රතිමාව මහවීදිය දේවස්ථානයේ වාර්ෂිකව පවත්වන ලද මැයි මංගල්‍යයේදී සැදැහැවතුන් ආසිරි ගැන්වීම සඳහා යොදා ගත් බවද කියැවේ
වටිනා උරුමයන් රැසකගේ තෝතැන්නක් වූ මහවීදිය දේවස්ථානය රැකගනිමින් අනාගත පරපුරට උරුම කර දීම සඳහා වෙහෙසෙන්නාවූ සියළු දෙනාට තුති!
සැකසුම : වර්ණකුලසූරිය යොහාන් රොද්‍රිගෝ / රොමේන් සිල්වා
ජායාරූප - ගිහාන් කවිෂ්ක සොයුරාගෙනි