කවුද මේ 42000 ඦායාරූපශිල්පී තුමා?

කවුද මේ 42000 ඦායාරූපශිල්පී තුමා?

⭕⭕ අද කතා කරන්න යන්නේ කතෝලික පියතුමෙක් ගැනයි. හැබැයි ටිකක් විතර වෙනස් කතාවක්.

⭕⭕ මතකද 1900 බර ගණන් වල අයිස් පරයක හැප්පිලා ගිලුණ ටයිටැනික් නැව ගැන. ඔව් ඔව් ඒ අර ජැක්, රෝස් දෙන්නා හිටියේ; හැබැයි මේකේ තිබ්බේ ඒ දෙන්නා ගැන නෙමේ, නැවේ ඉතිහාස කතාවයි. 1912 අප්‍රේල් 15 මේ ප්‍රසිද්ධ නැව, ඒ අප්‍රසිද්ධ අයිස් පරයේ හැප්පිලා ගිලෙද්දී මුහුදු පතුලට අරගෙන ගියේ ඒකේ ගමන් කරපු මඟීන් විතරක් නෙමේ, ඒ මඟීන් නැව තුළ ගත කරපු ජීවිත රටාවත් එක්කයි. හැබැයි ඔය නැවේ ගමන් කරපු එක මඟියෙක් හින්දා, එදා ඒ මඟීන් ගත කරපු ජීවිත රටාව අද වුනත් අපිට දැකගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මඟියා තමා ජේසු නිකායික ෆ්‍රැන්සිස් බ්‍රවුන් (Francis Browne) පියතුමා යි.

⭕⭕ 1880 ජනවාරි 3 වන දින අයර්ලන්තේ කෝක් (Cork) නඟරයේ උපත ලද ෆ්‍රැන්සිස්, ජේම්ස් (James) සහ බ්‍රිජිඩ් (Brigid) යුවලට දාව උපන් දරුවන් 8 දෙනාගෙන් යුත් පවුලේ  බාලයායි. 1989 සැප්තැම්බර් 2 වන දින තම පියාගේ මරණින් පසු කුඩා ෆ්‍රැන්සිස්ව හදා වඩා ගන්නේ ඔහුගේ බාප්පා වන රදගුරු රොබට් බ්‍රවුන් (Robert Browne, Bishop of Cloyne) ය. ඔහුට තම පළමු කැමරාව ලබා දෙන්නේ ද මේ බාප්පායි.

⭕⭕ සාන්ත වින්සන්ට් කාසල්නොක් පාසලෙන් (St. Vincent's Castleknock College) උපාධි ලබන ෆ්‍රැන්සිස් යුරෝපයේ සංචාරයක නියැලෙනවා. ඔහුගේ බාප්පා කැමරාව ලබාදෙන්නේ මේ සංචාරයට පෙරාතුවයි. මෙම යුරෝපා සංචාරය තමාගේ 42,000 ක් පමණ වන ඡායාරූප එකතුවේ මූලාරම්භය බවට ෆ්‍රැන්සිස් පත්කර ගන්නවා.

⭕⭕ නැවත අයර්ලන්තෙට පැමිණෙන ඔහු ජේසු නිකායට බැඳී පූජක පුහුණුව ලබනවා. මේ අතර 1912 අප්‍රේල් මාසයේ දී ඔහුගේ බාප්පාගෙන් විශේෂ තෑග්ගක් ලැබෙනවා, ඒ RMS Titanic නෞකාවේ මංගල ගමනට (එංගලන්තේ සදම්ටන් වරායේ සිට අයර්ලන්තේ ක්වීන්ස්ටවුන් දක්වා) සහභාගී වීමට ප්‍රථම පන්තියේ ප්‍රවේශ පත්‍රයකි.

⭕⭕ 1912 අප්‍රේල් 10 වන දින පස්වරුවේ නැවට ගොඩවෙන ෆ්‍රැන්සිස්ට ලැබෙන්නේ Promenade Deck හෙවත් සක්මන් තට්ටුවේ A37 කාමරයයි. නැවට ගොඩවූ වෙලේ පටන් ෆ්‍රැන්සිස් තමාගේ රාජකාරිය, එනම් ඡායාරූප ගැනීම පටන් ගත්තා. ඡායාරූපකරණය ඔහුගේ විනෝදාංශය වගේම ජීවිතයේ කොටසක් වෙලයි තිබ්බේ.

⭕⭕ ඔහුගේ තෙවෙනි ඇසට අසුවූ ප්‍රදේශ අතර ව්‍යායාම ශාලාව, මාර්කෝනි කාමරය, ප්‍රථම පංතියේ භෝජන ශාලාව, ඔහුගේ කාමරය සහ නැවේ සක්මන් තට්ටු වැනි ප්‍රදේශ වුණා. අවසාන වශයෙන් කැමරාවක සටහන් වුණ පුද්ගලයන් අතර කපිතාන් ස්මිත් (Captain Edward J. Smith), ව්‍යායාම් උපදේශක මැක්කොවුලි (T. W. McCawley), විදුලි ඉංජිනේරු විලියම් පාර් (William Paar), මේජර් බට් (Major Archibaald Butt) වැනි පුද්ගලයන් ද, නාමිකව නොදන්නා තෙවැනි පංතියේ මඟීන් කිහිප දෙනෙක් ද ඇතුලත් වේ.

⭕⭕ දිනක් ෆ්‍රැන්සිස් සමඟ එක මේසයේ ආහාර ගනිමින් සිටි පොහොසත් ඇමරිකානු යුවලක්, ඔහු සමඟ මිත්‍ර වී ඇමරිකාව දක්වාම යාමට සියළු වියදම් දැරීමට එකඟ වී තිබෙනවා. ෆ්‍රැන්සිස් මේ සඳහා අවසර පතා තම ප්‍රාදේශාධිපති පියතුමාට ටෙලිග්‍රාෆ් පණිවිඩයක් යවනවා. හැරෙන තැපෑලෙන් ඔහුට ලැබෙන පිළිතුර වන්නේ "GET OFF THAT SHIP - PROVINCIAL" (නැවෙන් බහින්න - ප්‍රාදේශාධිපති). මෙම අවසරය ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ ජීවිතය ආරක්ෂා වීම පමණක් නොව, ටයිටැනික් නැව තුළ මඟීන් ගතකළ ජීවිතය ගැන වැටහීමක් ලබාගැනීමේ අවස්ථාව ද ආරක්ෂා වුණා.

⭕⭕ අප්‍රේල් 11 වන දින අයර්ලන්තේ ක්වින්ස්ටවුන් වරායේ දී නැවෙන් බැසයන ෆ්‍රැන්සිස් තමාගේ දේවධර්ම අධ්‍යයන කටයුතු  සඳහා ඩබ්ලින් බලා පිටත් වෙනවා. ටයිටැනික් නැවේ අවසාන ඡායාරූපය ගනු ලබන්නේ මෙසේ ඔහු ටයිටැනික් නැවේ සිට America නමැති කුඩා යාත්‍රාවෙන් ක්වින්ස්ටවුන් වරායට පිටත් වන විටයි. නැවේ මුහුදුබත් වීම ආරංචි වීමත් සමඟ තමාගේ ඡායාරූප බොහෝ ප්‍රයෝජනවත් විය හැකි බව ඔහුට වැටහෙනවා. මෙසේ ඔහුගේ ඡායාරූප පුවත්පත්, සඟරා වල පළවෙන අතර ප්‍රතිච්ඡායා (negatives) සියල්ලම තමා ලඟ තබා ගන්නවා.

⭕⭕ 1915 ජූලි 31 දින පූජක වරම් ලබන ෆ්‍රැන්සිස්ව අයර්ලන්ත හමුදාවේ උපාධ්‍ය පියතුමා හැටියට යුරෝපයට යවනවා. 1920 දක්වා මෙසේ ඉන්න ෆ්‍රැන්සිස් පියතුමා පස් වතාවකදී යුද්ධය අතරතුර තුවාල ලබනවා. මෙයින් එක් අවස්ථාවක බරපතල විදිහට තුවාල ලබන්නේ ගෑස් ප්‍රහාරයකට අසුවීමෙනුයි. මෙසේ ඉන්න අතරතුර ද ඔහු තමාගේ විනෝදාංශය අතහැරියේ නෑ. ඔහුගේ කැමරා කාචයට හසුවුණ යුධ ඡායාරූප ප්‍රමාණය ද අති විශාලයි.

⭕⭕ යුද්ධයෙන් පසු නැවතත් අයර්ලන්තයට පැමිණි ෆ්‍රැන්සිස් පියතුමාව ඩබ්ලින් (Dublin) නුවර ගඩිනර් වීදිය දේවස්ථානයේ (Gardiner Street Church) ප්‍රධානියා ලෙස 1922 දී පත් කරනවා. 1924 දී ඔහුව ඔස්ට්‍රේලියාවට යවන අතර, ඒ යන අතරතුර නාවික ගමනේ ද,  ඔස්ට්‍රේලියාවේ ද ඡායාරූප ඔහුගේ ඡායාරූප ගොන්නට එක්වෙනවා. නැවත අයර්ලන්තය බලා එන  අතරතුර ඔහු ලංකාව (Ceylon), ආදන් (Aden), සුඑස් (Suez), සලෝනිකි (Saloniki), නාපෝලි (Naples), ටූලෝන් (Toulon), ගිබ්‍රල්තාර් (Gibraltar), අල්ජෙසිරාස් (Algeciras) සහ ලිස්බන් (Lisbon) දැක බලාගන්නා අතර, ඒ ඒ ප්‍රදේශ වල ජන ජීවිතය, නාවික තොටේ ක්‍රියාකාරකම් ඔහුගේ කැමරාවේ සටහන් වෙනවා. සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු ඡායාරූප 42,000 කට වඩා ලබාගෙන ඇති බවයි.

⭕⭕ 1960 වසරේ ඩබ්ලින් නුවර දී මිය යන ෆ්‍රැන්සිස් පියතුමා ගේ සිරුර ග්ලස්නෙවින් සුසාන භූමියේ (Glasnevin Cemetery) භූමදාන කරනවා. ඔහුගේ මරණින් වසර 25 ක් යනතුරු ඔහුගේ ප්‍රතිච්ඡායා (negatives) එකතුව සියළු දෙනාගෙන්ම වසන්ව පවතිනවා. නමුත් 1986 වසරේ දී මේ සියල්ල අහම්බෙන් එඩ්වර්ඩ් පියතුමාට (Fr. Edward E. O'Donnell, SJ) හමුවීමත් සමඟ මේ ඡායාරූප එකතුව නැවතත් සමාජයට දැකගන්න ලැබෙනවා.

ජේසු නිකායේ අයර්ලන්ත ප්‍රාදේශිකය මේ ඡායාරූප ප්‍රතිච්ඡායා එකතුව සංරක්ෂණය කරන්නට පියවර ගන්නවා. එලෙස ඔවුන් මේ කාර්‍ය්ය ඡායාරූප සංරක්ෂණ විශේෂඥයින් වන ඩේවිඩ් සහ එඩ්වින් දෙපළට (David and Edwin Davison) භාර දෙනවා. ඔවුන් සෑම ප්‍රතිච්ඡායාවක්ම පිඅපත් කර, සංඛ්‍යාංක පිටපත් ද (digital copies) මතු පරම්පරා වලට ප්‍රයෝජනයට ගැනීමට ලබා ගන්නවා.

⭕⭕ ටයිටැනික් නැවේ 100 වැනි සංවත්සරයට අයර්ලන්තයේ තැපැල් දෙපාර්තමේන්තුව 2012 අප්‍රේල් මාසයේ දී ෆ්‍රැන්සිස් පියතුමා ගේ රුව රැගත් මුද්දරයක් නිකුත් කරනවා.
ප.ලි.: මෙයට අමතරව වැඩිපුර ඡායාරූප බැලීමට මෙතනින් යන්න. සියළුම ඡායාරූප ගනු ලැබුවේ http://www.fatherbrowne.com/ ලිපිනයෙන් වන අතර, ඒවා උපයෝගි කොටගෙන ඇත්තේ අධ්‍යාපණික කටයුත්තකට පමණක් බවද සළකන්න.

සටහන :- ගරු.ගිහාන් ප්‍රියශාන්ත පියතුමා
ස්තූතියි
ජේසු පිහිටයි ❤
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව

Read more