ව්‍යාජ මරිය බැතිය
අප සැම මරිය වහන්සේගෙ සැබෑ දරුවන් වීම දෙවි පියාණන් වහන්සේගේ ශුද්ධවූ කැමැත්තයි. එහෙත්, අපගේ 'දුර්වලකම්' සහ 'නොදැනුවත්කම්' නිසා සැබෑ දරුවන් වෙනුවට සමහරවිට අප 'ව්‍යජ මරිය භක්තිකයින්' වී තිබීමට පුළුවන. අද දින සිට අපි මෙනෙහි කරමු, ශු. ලුවී ඩී මොන්ෆෝට් තුමන් විසින් රචිත "මරියෝත්තමාවන්ට සැබෑ භක්තිය" ("True Devotion to Mary") නම් සම්භාවනීය ආත්මික ග්‍රන්ථයේ සඳහන් වන 'ව්‍යජ මරිය භක්තියකයින් කාණ්ඩ සත' (Seven Types of False Devotees of Mary) පිළිබඳව.
විවේචනාත්මක "මරිය භක්තිකයින්" (Critical Devotees of Mary)
මෙම කාණ්ඩයේ සිටිනුයේ බොහෝවිට 'බැහැපත්කම' (humility) පසෙකලා 'හිස උදුම්මවාගත් ප්‍රාඥයින්' (proud scholars) ය. සාන්ත සභා මෑණියන් 'මරිය බැතිය' සත්ප්‍රසාද බැතියට පමණක් දෙවැනි කර, ඊට අති උතුම් ස්ථානයක් පුද කළ ද, දේව ජනතාව දේව අම්මාට දක්වන ප්‍රේමයේ බාහිර සංකේත සියල්ල ඔවුන් ප්‍රතික්ෂේප කරයි. කොන්තය, බෙන්තිඤ්ඤය, පුදුම පදක්කම, මරි මව් පෙරහැර, මරිය ප්‍රතිමා සහ 'සරල විශ්වාසයේ මරි මව් සළකුණු සහ සම්ප්‍රදායන්' මෙම කාණ්ඩයේ සිටින්නන්ට ජීර්ණය වන්නේ නැත. ඔවුන් නිරන්තරයෙන් මරිය බැතියේ මෙම බාහිර ප්‍රකාශනයන් (external expressions) විවේචනයට ලක් කරයි.
සූක්ෂම "මරිය භක්තිකයින්" ( Scrupulous Devotees of Mary)
සූක්ෂම භක්තිකයින් ලෙස ශු. ලුවී ඩී මොන්ෆෝට් තුමා හඳුන්වන්නේ මරිය බැතිය ක්‍රිස්තු බැතියට තර්ජනයක් වේ දෝ කියා දේව ධාර්මික නොවන බියකින්, චකිතයකින් පෙළෙන සියල්ලන්වය. ඔවුන් දිව්‍ය සත්ප්‍රසාද වැඩසිටීම ඉදිරියේ ජපමාලය භාවනාවට මැළි වෙති. මරි මව් ප්‍රතිමාව වටා සිටින ඇගේ දරුවන්ව සත්ප්‍රසාද නිවහන ඉදිරිපිටට පලවා හැරීමට නිතර වෙහෙසෙති. ඔවුන්ගේ සූක්ෂම බිය නම් දේව අම්මාට පුදන මේ අසීමාන්තික දයා බැතියෙන් ක්‍රිස්තුන් වහන්සේගේ ස්ථානය නැතිවී යා දෝ යන්නයි. එහෙත්, සත්‍ය ක්‍රිස්තියානි ඉගැන්වීම නම් අපට කිසිදා මරිය බැතිය ක්‍රිස්තු බැතියෙන් වෙන් කළ නොහැකිය යන්නයි. මරියාවන්ට පුදන සකලාකාර ගෞරවාදර භක්තීන් තුළ මහිමයට පත්වන්නේ ඇගේ පුත්‍රයාණන්මයි. සැබෑ මරිය බැතිය අපව ක්‍රිස්තු නමස්කාරයට, දේව වන්දනාවට යොමු කරයි. මෑණියන් සහ පුත්‍රයණන් අතර බල අරගලයක් නොමැත, "උස් පුටුවට ගැටුම්" නැත. දේවත්වය හැරදා මිනිසෙක් වූ පුතුණුවන් සහ 'දෙවියන්ගේ මව හා ත්‍රිලෝක රැජිණිය' වුවද ගැබ්බර, මහළු එළිසබෙත්ගේ සහයට යුහුව දිව ගිය මෑණියන් යන දෙ පුද්ගලයින්ම 'ස්ව-ත්‍යජයේ ප්‍රතිමූර්තීන්' ය. අවසන් වශයෙන්, සා. මැක්සිමිලියන් කෝල්බේ තුමන් පවසන පරිදි 'අපට කවදාවත්, කුමන අයුරකින්වත් ජේසු පුතා තම අම්මාට පුදන ගෞරවාදර භක්තිය තරම් ගෞරවයක් ඇයට පිදිය නොහැකිය, පුදා අවසන් කළ නොහැකිය.' එමනිසා, බිය නොවී මරිය අම්මාට අපගේ උපරිම ප්‍රේමය පුද කරමු.
පිටස්තර "මරිය භක්තිකයින් " (External Marian Devotees)
මරිය බැතිය බාහිර ප්‍රකාශනයන්ට (externals) පමණක් ලඝු කරන, එහි ආත්මික පැතිකඩ (spiritual perspective), නැතහොත් 'හරය' (substance) නොසලකා, 'පිළිවෙත් හා පිටස්තර සෞන්දර‌්‍යයන්ට' (rituals and external aesthetics) පමණක් කොටු වූ බොහෝ දෙනා මෙම කාණ්ඩයට අයත් වේ. මොවුන් සියළුම මරිය පළඳනා පළදී, ජපමාලය ගිරවුන් සේ කිසිදු ආත්මික භාවනාවකින් තොරව හුදෙක් "ජප කිරීමක්" පමණක් ලෙස සිදු කරයි. බොහෝ මරිය සමිති සමාගම් වල මොවුන් සාමාජිකයෝ වෙති. දෙමව්පියන් හා තම දයාව ලැබීමට යුතු අසරණයින් නොසලකා හැර සුඛෝපභෝගී මරිය වන්දනා ගමන් යති, මිළ අධික මරි මව් ප්‍රතිමා මිළට ගනී, මහා ධනස්කන්ධයක් වැය කර පිටස්තර සැරසිලි සහ අලංකාර කිරීම් මහ ඉහළින්ම සිදු කරති. නාසරතයේ සැබෑ මිනිස් දිවියක් 'දෙවීක ගුණයෙන්' ගත කළ ඇගේ මරිය ධර්ම ගුණ (Marian virtues) තම ජීවිතයේ පිළිපැදීමක් ගැන ඔවුන්ට ප්‍රියයක් නැත.
'සදාකාලික නිරය' පිළිබඳව කිසිදු බියක් නොමැතිව, පාපයේ මුරණ්ඩු ලෙස හැසිරෙමින් "දේව මෑණියන් වහන්සේ තමන්ව ඉන් බේරා ගනී" කියා මරිය බැතියෙහි නිරත ව්‍යජ මරිය භක්තිකයින් (Presumptuous Devotees)
ස්වර්ගීය ජීවිතයට ඇතුළුවන තුරු අපට 100%ක ශුද්ධවන්තභාවය (Perfect Holiness) සම්පූර්ණයෙන් අත්දැකිය නොහැක. එහෙත්, ක්‍රිස්තියානීන් ලෙස 'නොනවතින සටනක්' අප සිදුකළ යුතු ය. එසේ සටන් කිරීම පසෙකලා "දේව මෑණියන් වහන්සේ තම ආත්මය අවසානයේදී ගළවා ගනී" යන අන්තවාදී පුහු බලාපොරොත්තුවක් (Sin of Presumption) තුළ පාපයේ ඇලී ගැලී, ලෝකයේ රසට ආලවන්තව, මුල් අගුණ පව් තුළ ක්‍රියා කරමින් මරණීය පාපයෙන් කිළිටි වී "මරණාසන්න සිත් හැරීමක්" (Deathbed Conversion) බලාපොරොත්තු වන, ඒ සඳහා මරිය බැතිය ද ඇපයක් සේ සලකන 'ව්‍යජ මරිය භක්තිකයින්' මෙම කාණ්ඩයට අයත් වේ. මොවුන් නිතිපතා මහත් භක්තියකින් ජපමාල ධ්‍යනය සිදු කරති, කාර්මෙල් සළුධාතුව පළදිති, දේව මෑණියන් වහන්සේ මෙලෝ ජීවිතාවසානයට පෙර තමන් ගළවා ගනීවි යන චේතනාවේ සිටම (එනම්, "දෙවියන් වහන්සේව රැවටිය හැක" යන චේතනාවේ සිටම) 'කිසිදු පසුතැවිල්ලකින් තොරව' පාපය සමග ජීවත් වෙති. මරිය අම්මාට කපටි ලෙස රෝසමල් දාමයක් පුදකරමින්, තම පව්කාර ජීවිතය හරහා පුත්‍රයාණන් වහන්සේව නැවත නැවතත් තුවාල කරති, ඇණ ගසති, මරණීය පාපයෙන් උන්වහන්සේව මරා දමති. ශු. ලුවී ඩී මොන්ෆෝට් තුමන් පවසන පරිදි 'මරණීය පාපයක් තුළ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමේ පාපය' බරපතලම 'ශුද්ධවූ දේ කෙළසීමේ පාපය' (Sacrilege) වන අතර, දෙවැනි කෙළසීමේ පාපය නම් 'කිසිදු බියක්, සැකක්, මනස්ථාප වීමට සුළු ප්‍රයත්නයක් හෝ නොදරා, පාප රස විඳිමින්ම මරිය බැතියේ නියැලීම' යි.
චපල මරිය භක්තිකයින් (Inconstant Devotees)
යක්ෂයා, ලෝකයා සහ මාංශයාගේ බලපෑම් හමුවේ ස්ථිරභාවාය සහ අඛණ්ඩභාවය විනාශ වී තමන් වැළඳගත් මරිය බැතියට විශ්වාසවන්ත නොවන, 'සඳ මෙන් නිතරම වෙනස් වන' සහ කලින් කලට ආත්මීක ලෙස 'ජ්වලිත වන' සහ 'උදාසීන වන' පුද්ගලයින් මෙම කාණ්ඩයට වැටේ. මොවුන් ආත්මීකව ජ්වලිත සමයකදී ජපමාලයේ අභිරහස් සියල්ල දිනපතා ධ්‍යනයට පොරොන්දු වන ආත්මික සංඝ වලට බැදෙති. ජීවිතකාලය පුරාවටම නොකැඩී කිරීමට විවිධ වෙහෙසකාරී භක්ති අභ්‍යස වැළඳ ගනී. ගුණාත්මකබාවයට වඩා ප්‍රමාණයේ සුවිසල් බව (quantity over quality) මොවුන් අගය කරයි. සා. ලුවී ඩී මොන්ෆෝට් තුමන් මෙම ව්‍යජ 'චපල මරිය භක්තියකයින්ට' දෙන උපදෙස නම් දීර්ඝ වේලාවක්, ශ්‍රමයක් සහ අවධානයක් අත්‍යවශ්‍ය කරන දීර්ඝ භක්ති අභ්‍යස වලට වඩා නිතිපතා, නොකඩවා විශ්වාසවන්තව සිදුකළ හැකි 'කෙටි හා ප්‍රිය උපදවන' භක්ති අභ්‍යසයක් තෝරා ගෙන එයට විශ්වාසවන්ත වීම ය. උදාහරණයක් ලෙස 'ජපමාලයේ දින 54ක දීර්ඝ නොවානයට' විශ්වාසවන්ත වීමේ වරප්‍රසාදය සියල්ලන්ටම නැත. එහෙත්, ජීවිතාවසානය දක්වා උදේ අවදි වන විට සහ රාත්‍රී නින්දට යන විට 'නමෝ මරිය යැදුම' තෙවරක් ප්‍රේමයෙන් හා ශ්‍රද්ධාවෙන් උච්ඡාරණය මෙම කාණ්ඩයෙන් මිදී සැබෑ අචල මරිය දරුවෙකු වීමට මඟක් විය හැක.
පරිසිවර මරිය භක්තිකයින් (Hypocritical Devotees)
හුදෙක් ජන සමාජයේ ප්‍රශංසාව, පිළිගැනීම හා ගෞරවය දිනා ගැනීමේ යටි අරමුණින් (ultirier motives) තමන් දේව අම්මාට මහත් දයාබර බැතියක් පුද කරන බවට බාහිරයෙන් පෙන්වා, ඒ ආවරණයෙන් තම පෞද්ගලික ජීවිතයේ සියළු ආකාර පාපයන් ලෝකයාගෙන් වසන් කිරීමට (cover-up) මරිය බැතිය "රංගනයක්" කරගත් සියල්ලෝ මෙම කාණ්ඩයට අයත් වෙති. සමාජ මාධ්‍ය තුළ, මා හැසිරෙන ගෙන්දගම් පොළොව මත හා මා වටා ඇති මිනිස් සබඳතා තුළ මම "මහත් ශ්‍රද්ධාවන්ත මරිය දරුවෙක්" කියා පෙන්වීමට වෙර දරන්නේ මගේ 'ආත්මයේ ගැඹුරුතම තැන් වල සැඟව ඇති මහා බරපතල පාපයන් වසන් කිරීමට' නම්, මම පරිසිවර මරිය භක්තිකයෙකි, කිසිසේත්ම මා සැබෑ මරිය දරුවෙකු නොවේ. ප්‍රසිද්ධිය තකා, ලෞකීක වාසි තකා සහ පව්කාර ජීවිතය ලොවෙන් සැඟවීමට මරිය බැතිය ආයුධයක් කරගන්නේ නම් එයම ඔහුගේ හෝ ඇයගේ සදාකාලික විනාශයට පාරකපා ගැනීමකි. ලොවට පෙනෙන්නට ජපමාලය දෝතෙ දරා සිටිය ද, කාමරයේ හුදකලාවී වී දොරගුළු ලා ගත් මැදියම් රැයේ, පුද්ගලයෙකුගේ අතිශය රහසිගත කලාපය තුළ සිදුවන්නේ ස්වර්ගයට කෑ මොර ගසන පාපයන් නම් ඔහු වෙස් ගළවා දමා හදපත්ලෙන්ම මනස්ථාපනය කරා පියමං කළ යුතු බව ශු. ලුවී ඩී මොන්ෆෝට් තුමා දැඩිව අවධාරණය කරයි. අපට මිනිසුන් රැවටිය හැක, එහෙත් කිසිදාක දේව අම්මාව හෝ දෙවියන් වහන්සේව රැවටිය නොහැක.
ලාභ අරමුණු කරගත් මරිය භක්තිකයින් (Interested Devotees)
ශු. ලුවී ඩී මොන්ෆෝට් තුමා අවසාන ව්‍යජ මරිය භක්තිකයින් කාණ්ඩය නම් කරන්නේ 'interest' යන වදන සමඟ ය. සන්දර්භය (context) අනුව මෙහි එතුමන් අදහස් කරන අර්ථය නම් 'ලාභය' යි. ලෞකීක ජීවිතයේ විවිධාකාර අර්බුද පැන නඟින විට දී පමණක් 'ජපමාලය අතට ගන්නා,' ලෞකීක ලාභය 'පමණක්' අරමුණ කරගත් ව්‍යජ මරිය භක්තිකයින් මෙම කාණ්ඩයට අයත් වේ. මරිය බැතිය ප්‍රගුණ කළ යුත්තේ දුකේදීත් සතුටේදීත් දෙකෙහිම ය, රෝගයේත් නිරෝගයේත් දෙකෙහිම ය, වාසනාවන්ත කාලයේත් අවාසනාවන්ත කාලයේත් දෙකෙහිම ය. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැඩසිටින කුඩා දෙව් මැදුරු (Eucharistic Chapels) ඇති අප බොහෝ කතෝලික පාසල් (Catholic Convents and Colleges) වල එය පිරී යන්නේ වාර විභාග ආසන්නයේ හා වාර විභාග සමයේ පමණි. ස්ප්‍රීතු සාන්තු වහන්සේගේ බලධාරීත්වය "මකුණු දැල් කඩා එළියට ඇද ගන්නේ" විභාග සමයේ පමණකි. මේවා යතාර්ථයන් බවට මා සමඟ ඔබ ද සාක්ෂි දරන බව නිසැක ය. ශු. ලුවී ඩී මොන්ෆෝට් තුමා අපට අවවාද දෙන්නේ "ලාභ අරමුණු කරගත් ව්‍යපාර ගනුදෙනු" (business deals) කිරීමට ස්වර්ගීය මෑණියන්ගේ ගැළවීමදායක භක්තිය තෝරා නොගන්නා ලෙසට යි. දිනපතා තුන් වේල ආහාර ලබා ගන්නා සේ ජපමාල භක්තිය සහ අනෙකුත් මරිය භක්තියේ පැතිකඩයන් අප විසින් නිරන්තරයෙන් පුහුණු කළ යුතු වෙමු. සතුටේදී පමණක්වත් දුකේදී පමණක්වත් නොව සෑම මොහොතකදීම අපි සැබෑ මරිය දරුවෝ වන්නට වෙර වීර්ය දරමු.
සටහන - ලක්ශාන් ෆොන්සේකා