ශුද්ධ බයිබලය නිවසේ සිංහාසනාරූඪ කිරීම

(ගෞරවාන්විතව ශුද්ධ බයිබලය මේසයක් හෝ ඒ සඳහා විශේෂිත වූ ස්ථානයක් මත තබන්න. ඔබට ඉටිපන්දමක්, කුරුසයක් හෝ මල් වලින් අවකාශය අලංකාර කළ හැකිය. මෙම ස්ථානය නිතිපතා බයිබලය කියවීම සහ යාච්ඤාව සඳහා යොමු විය හැකි ස්ථානයක් ලෙස සකස් කර ගන්න.)

(සුදුසු ශුද්ධාත්මයාණන්ගේ ගීතිකාවක් ගායනා කළ හැකිය)

මෙහෙයවන්නා: අපි යාච්ඤා කරමු:

සදාකාලික දෙවියනි, මෙම ශුද්ධ බයිබලය අපට ශක්තියේ, සැනසිල්ලේ, ඉමහත් ප්‍රබෝධයේ සහ මඟ පෙන්වීමේ මූලාශ්‍රයක් වන පරිදි ඔබ වහන්සේගේ ශුද්ධාත්ම ස්ප්‍රීතුව අප හට දානය කළ මැනව. ශුද්ධ ලියවිල්ල කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් ද, එය කියවා මෙනෙහි කිරීමට ආශාවක් සහ ජේසුස් වහන්සේගේ මාර්ගයේ වඩාත් විශ්වාසවන්තව ගමන් කිරීමට ආශාවක් අපට ලබා දුන මැනව. ආමෙන්.

මෙහෙයවන්නා:

ජේසුස් වහන්සේ තම වචනය තුළින් අපට සත්‍යය සහ නිදහස ලබා දෙන විට අපි උන්වහන්සේට සවන් දෙමු.

සුවිශේෂක ශුද්ධ වූ ජොහන් තුමන් විසින් ලියන ලද සුබාරංචියයි:
(ශු. ජොහාන් 8:31-32)

එබැවින් තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, "ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය. ඔබ සත්‍යය අවබෝධ කර ගන්නහුය. සත්‍යය ඔබව නිදහස් කරන්නේ ය"යි වදාළ සේක.

සමිදාණන් වහන්සේගේ සුබාරංචිය මෙසේය.

පිළිතුර: ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.

(අපි මෙම දේව වචනය මොහොතක් නිහඬව මෙනෙහි කරමු.)

අයැදුම්

ඔබගේ පිළිතුර: දෙවියනි, ඔබවහන්සේගේ වචනය අපට උගැන්නුව මැනව.

මෙහෙයවන්නා: "ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය. මාගේ මාවතට එළියක් ය" (ගීතාවලිය 119:105). ඔබවහන්සේගේ වචනයේ ආලෝකයෙන් ජීවිතයේ අඳුරු ස්ථාන හරහා ගමන් කරන්නේ කෙසේදැයි අපට පෙන්වන පිණිස.

පිළිතුර: දෙවියනි, ඔබවහන්සේගේ වචනය අපට උගැන්නුව මැනව.

මෙහෙයවන්නා: "තණ කොළ වියළෙයි. මල් පරවෙයි. එහෙත් අපගේ දෙවිඳුන්ගේ වචනය සදහටම පවතී" (යෙසායා 40:8). අපගේ සදාකාලික ජීවන උරුමය ලෙස ඔබ වහන්සේගේ වචනය විශ්වාස කරන්නේ කෙසේදැයි අපට පෙන්වන පිණිස.

පිළිතුර: දෙවියනි, ඔබ වහන්සේගේ වචනය අපට උගැන්නුව මැනව.

මෙහෙයවන්නා: වපුරන්නාගේ උපමාව තුළින් ජේසුස් වහන්සේ පැහැදිලි කරන්නේ, "වපුරන්නා වචනය වපුරයි. වචනය අසා එය පිළිගන්නා අය ඉමහත් ඵල දරන බවයි" (මාර්ක් 4:14-20). එහෙයින් ඔබවහන්සේගේ වචනයේ බීජය අප තුළ රෝපණය කර ඵල ලබන්නේ කෙසේදැයි අපට උගන්වන පිණිස,

පිළිතුර: දෙවියනි, ඔබවහන්සේගේ වචනය අපට උගැන්නුව මැනව.

මෙහෙයවන්නා: ජාකොබ් තුමාගේ ලිපියෙහි අපගෙන් ඉල්ලා සිටින්නේ, "තමන්ව රවටා නොගෙන දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී එය පිළිපදින්නෝ වන්න" (ජාකොබ් 1:22). එම වදන් ක්‍රියාවට නංවන ආකාරය අපට දැන ගන්නට මඟ සලසන පිණිස.

පිළිතුර: දෙවියනි, ඔබවහන්සේගේ වචනය අපට උගැන්නුව මැනව.

මෙහෙයවන්නා: අපි සැවොම ශුද්ධ බයිබලයට අසලට එක් වෙමු. එහි විවෘත පිටු මත අපගේ දෑත් තබමු. දේව වචනයේ බලය එය කියවීමෙන් අප තුළට මුදා හරින ලෙස ඉල්ලා නිහඬව යාච්ඥා කරමු.

(මෙම අවස්ථාවේ දී එක් එක් පුද්ගලයා වෙනුවෙන් ද ඔබේ හදවතින් යාච්ඤා කරමු.)

මෙහෙයවන්නා: ජේසුස් වහන්සේ අපට ඉගැන්වූ පරිදි අපි එක්ව මෙසේ යාච්ඤා කරමු.

සියල්ලෝම: ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණෙනි... / නමෝ මරියනී... / ත්‍රිත්ව ස්තෝත්‍රය...

මෙහෙයවන්නා: අපි යාච්ඤා කරමු.

ශුද්ධාත්මයාණන් වහන්ස, ශුද්ධ ලියවිල්ලේ ජීවමාන වචනයට අපගේ ඇස්, අපගේ කන්, අපගේ මනස සහ අපගේ හදවත් විවෘත කළ මැනව. එය සැමවිටම අපගේ නිවසේ සහ අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය වේවා. දේව වචනයේ බලයෙන් සහ සත්‍යයේ දේවානුභාවයෙන්, අපට සමිදාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වන්නට අවකාශය සලසා දුන මැනව. ශුද්ධාත්මයාණෙනි, වැඩම කළ මැනව. ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගින්නෙන් ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ගේ හදවත් දල්වාලුව මැනව. දේව වචනයේ ආනුභාවයෙන් අප හට නව ජීවනයක් ලබා දුන මැනව. ආමෙන්.

(දේව මාතාවන්ට සුදුසු ගීතිකාවක් ගායනා කළ හැකිය)

උපුටාගැනීම අගරදගුරු පදවි දේව වන්දනා සේවාව මගින්

Read more

ශුද්ධ වූ තෝමස් ඇක්වයිනාස් තුමාගේ අධ්‍යාත්මික දිවිය අනුකරණය කරමු

ශුද්ධ වූ සභාවේ ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ, දේවධර්මයේ කුළුනක් බඳු ශු. තෝමස් ඇක්වයිනාස් තුමාගේ ජීවිතය සහ ඉගැන්වීම් අදටත් අපට ආලෝකයක් සපයයි. 13 වන සියවසේ