ලක්දිව සුපතල සන්තානා බැතිය
ශු.සභා සම්ප්‍රදායට අනුව සුදුවර ගෞරවය හා එතුමන්ලාගේ යැදුම් පිහිට පැතීම චිරාගත සමයක සිට පැවත එන්නාවූ සභා දායාදයකි, නිධානයකි. ස්වාමින් වහන්සේගේ ආගමනය පෙර විසු හා ඔවුන්වහන්සේගේ ගැලවීම අපේක්ෂාවෙන් විසු සුදුවර චරිත අතර ශු. ආනා සහ ජුවකීනු මුනිවර යුවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. දේවවන්දනා වසරේ අනිවාර්ය අනුස්මරණ මංගල්‍යයක් ලෙස ශු. ආනා සහ ජුවකීනු මුනිවර මංගල්‍යය සමරනු ලැබේ. ශු.ආනා හෙවත් සන්තානා මෑණියන් ගැලවීමේ සැලැස්මට හා ක්‍රියාදාමයට අනුව මරියෝත්තමාවන්ගේ මෑණියන්ද , ලෝක ගැලවූම්කාර ජේසු සමිඳාණන්ගේ මිත්තනිය හෙවත් ආචිචි අම්මා වන්නීය. මේ ලිපිය තුළින් ශ්‍රී ලංකාව තුළ සුපතල ශා. ආනා මුනිශ්වරියගේ භක්තිය පිළිබඳ ඔබගේ අවධානය යොමුකිරීමට මා බලාපොරොත්තු වෙමි.
ආරම්භය සහ විකාශනය
ශු.සභා සම්ප්‍රදායට අනුව ලෝකය තුල පවතින සුදුවර බැතින් අතර ශු. ආනා මෑණියන්ගේ භක්තියට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලක්දිව තුල සන්තානා ප්‍රචලිතවීමට ආරම්භ වුයේ 16 වන සියවසේ සිට එනම් පෘතුගීසි ආගමනයෙන් පසුවය. ශු. ආනා මෑණියන්ට කැපකරන ලද පළමු දේවස්ථානය ලෙස ඉතිහාස ගත වන්නේ කැළණියේ පිහිටි දේවස්ථානයයි. ඉතිහාසඥ ක්වේරෝස් සහ ත්‍රින්දාදී යන ලේඛකයන්ට අනුව “.... කොළඹ නගරයේ සිට ගව්වක් පමණ දුරින් පිහිටා තිබු මෙම දේවස්ථානය ප්‍රැන්සිස්කාන ධර්මදුතවරුන් විසින් කැළණි ගඟ අසල ඉදිකරන බවත් එහි කතෝලිකයන් 1555කු සිටි බවත් සදහන් වේ. ලිඛිත සාධක අනුව පෘතුගීසි සමයේ දී ශු. ආනා මෑණියන්ට කැපකරන ලද එකම සදහන් වන්නේ ද මෙකී කැළණියේ පිහිටි මෙම දේවස්ථානයයික්. පෘතුගීසි කාලයේදී දේවස්ථානයක තිබී පසුව නවගමුව දේවස්ථානයෙන් හමුවූ ශු. ආනා මෑණියන්ගේ රූපය ඇතුළත් තිර රෙද්ද අදත් තේවත්ත කෞතුකාගාරයේ සංරක්ෂිතය.
ක්‍රි.ව. 1543 සිට මෙරට ධර්මදානයේ ක්‍රියාවලියෙහි නිරත වූ ප්‍රැන්සිස්කානු ධර්මදුතවරුන්ගේ ප්‍රබල මධ්‍යස්ථානයක් ලෙස කළුතර ප්‍රදේශය නම් කළ හැක. ඔවුන් මෙරටට පැමිණ ප්‍රථමයෙන් කෝට්ටේ රාජධානිය තුළ සේවය කළේ දකුණු දිග මුහුදු බඩ ප්‍රදේශ වලය. කතෝලික ධර්මය ගැන පැහැදුන එවකට කෝට්ටේ විසූ හත්වන බුවනකබාහු රජු විසින් කෝට්ටේ රාජධානියේ සියලූම තොටමුණුවල කුඩා දෙව්මැදුර ඉදිකරන්නට ඉඩ ප්‍රස්ථාව ලබාදුනි. ක්‍රි.ව. 1658 දී ලන්දේසීන්ගේ පීඩනයත් සමගම පෘතුගීසි සමයේදී මග්ගොන ශු. පේදුරු අපෝස්තුමන් නමට කැපකරන ලද දේවස්ථානය ලන්දේසීන් විසින් කඩා දමන ලදී.
පෘතුගීසි වාර්තාවන්ට අනුව මෙම දේවස්ථානයට අනුබද්ධිත ව කතෝලිකයන් 900ක් පමණ විසීය. එම බේරුවල විසූ අභීත කතෝලිකයෝ යක්ගහමුල නම් ස්ථානයට ඒකරාශීව එගොඩවත්ත ප්‍රදේශයේ අඹ ගසක බෙනයක් තුළ ඉපැරණි දෙව්මැඳුරේ ස්ථාපිත කර තිබූ ශා. ආනා මුනිවරියගේ ප්‍රතිමාව තබාගෙන රහසින් යාච්ඤාවේ යෙදුණු අතර එම ප්‍රදේශය අදත් “අක්කර මලේ ” නමින් ප්‍රකට වී ඇත. මෙකී ප්‍රතිමාව පෘතුගීසි සම්ප්‍රදායට අයත් වුවක් වන අතර අද එය බේරුවල දේවස්ථානයේ ස්ථාපිතව පවතී. ජුසේ වාස් මුනිතුමා ද සිය ධර්මදුතික මෙහෙවර තුළ පැමිණියේ මෙකී “අක්කර මලේ ” ස්ථානයට බව කියැවේ. ජුසේ වාස් මුනිදුන් බේරුවල දක්වා වූ දකුණු මුහුදු බඩ ප්‍රදේශවල ධර්මදූතික මෙහෙවරේ යෙදුණ අතර එයින් එහාට එතුමන් හට යාමට ඉඩ ප්‍රස්ථාවක් නොවීය. ඒ නිසාම බේරුවලින් පහල මුහුදු තීරය තුළ සැලකිය යුතු කතෝලික ජනගහනයක් තවමත් දක්නට නොලැබෙන්නේ ඒ නිසාවෙනි.
තලවිල සන්තානා සිද්ධස්ථානය
වර්තමානයේ පවත්නා සන්තානා බැතියේ හිණිපෙත වනාහි තලවිල සන්තානා සිද්ධස්ථානය පැවසුවහොත් නිවැරදි ය. උතුරින් කල්පිටියටද , නැගෙනහිරෙන් පුත්තලම කලපුවටද , බටහිරෙන් ඉන්දියන් සාගරයටද මැදිව පිහිටි මෙම ශුද්ධවූ භුමිය කල්පිටිය අර්ධද්වීපයේ නිසරු වැලි තලාවක් මත ස්වකිය වන්දනා ස්ථානය ලෙස පිහිටුවා ගනිමින් ලක්ෂ සංඛ්‍යාත ජන ගංගාවක් වසරක් වසරක් පාසා තම මහගෙදරට කැදවා ගන්නා සන්තානා මෑණියෝ මෙහිදී වන්දනාකරුවන්ගේ බලාපොරොත්තුව හා ප්‍රබල මධ්‍යස්ථිය වන්නීය. මේ සිද්ධස්ථානයේ ආරම්භය පිළිබඳ කතා පුවත් දෙකක් ඇති අතර, ඉන් ප්‍රධාන වශයෙන් පිළිගත හැකි කතා පුවත වන්නේ, මීට වසර 300කට පමණ පෙරාතුව දෙවිඳාණන්ගේ සුවිශේෂී වරම තුළ ගෝවේ සිට කල්පිටියටත් කල්පිටියේ සිට ගාල්ල දක්වාත් මුහුදු තිරයේ ගමන් කළ “සන්තානා” නමින් වූ වෙළෙඳ නෞකාවක් කල්පිටිය වෙරළ ආසන්නයේදී (කප්පල් අඩි) මුහුදුබත් වී සුනුවිසුණු විසුණු වූ අතර මෙම නෞකාවේ සිටි නාවිකයෝ සිය පණ බේරාගනිමින් රැකවරණය පතා සේන්දු වුයේ අසල පිහිටි ජනශුන්‍ය භූමියක් වෙතටය. තම නෞකාවේ තිබු ශු.ආනා මුනිවරියගේ දැවමුවා ප්‍රතිමාව රැගෙන වෙරළට සේන්දු වූ නාවිකයෝ ප්‍රථමයෙන් මෙම අසිරිමත් පිළිරුව නුග බෙනයක ස්ථාපිත කළ අතර , කලක් ව්වේක ගත් පසු සුන්බුන් වූ තම නැවේ තිබුණු භාණ්ඩ බේරා ගැනීම සදහා ආධාරයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් කල්පිටියේ බලකොටුවට වෙත ගිය අතර ,එසේ යාමට පෙර වෙළෙඳ නාවිකයෝ ශු. ආනා මුනිවරියට භාරයක් වූ අතර , තම වෙළද කටයුතු සාර්ථක වුවහොත් පෙරළා පැමිණ ශු. ආනා මුනිවරිය නමින් දෙව්මැඳුරක් ඉදිකර දෙන බවටත් මෙම පිළිරුව එහි තැන්පත් කරන බවයි. එසේ පොරොන්දු වූ ඔවුන්ගේ පොරොන්දුව ඉටුවූ අතර ආපසු ගාල්ල ගොස් සිය වෙළෙඳ කටයුතු සිදුකල වෙළඳ ව්‍යාපාරිකයාගේ ඉල්ලීම් සඵල වී මේ ස්ථානයේ දේවස්ථානයක් ඉදිකළ බව සදහන් වේ. ඕලන්ද යුගයේ සදහන් ලිඛිත වාර්තාවන් ට අනුව මෙම සිදුවීම ක්‍රි.ව. 1697 දී සිදුවූ බවට සදහන් කරයි. තවද ඉහත සදහන් කරන ලද පෘතුගීසි නෞකාව ගෝව ප්‍රදේශයේ සිට ප්‍රථමයෙන් කල්පිටියටත් ,පසුව කල්පිටියේ සිට ගාල්ල දෙසටත් ගමන් කර එහිදී වෙළෙඳ කටයුතු සිදුකල බව සදහන් වේ. මෙකී නෞකාවේ හිමිකරු පිලිප් ද ගුවාර්ටි සහ ජුවන් මදේරා බව සදහන් කර තිබේ. ලක්දිව ඓතිහාසික මුලාශ්‍ර වල තලවිල සන්තානා මෑණියන්ගේ සිද්ධස්ථානය හදුන්වා දී ඇත්තේ පාලකුඩාවේ මුනිවරියගේ දේවස්ථානය ලෙසටය. ප්‍රවීණ කිතුනු ඉතිහාසඥ ඔබ්ලෙට් නිර්මල මරිය නිකායික අති උතුම් එඩ්මන්ඩ් පිරිස් (නි.ම.නි.) රාජගුරුහිමිපාණන් පවසන අන්දමට
“ ..........ශු. ආනා වහන්සේගේ කෞතුක ප්‍රතිමාව වැඩම වූ පළමු දාගැබ නම් නුග රුකක ස්වභාවයෙන්ම හැදුණු කුහරයකි. ඉන්පසු මනුෂ්‍ය හස්තයෙන් තතන ලද අතු පැළක්ද,මැටි ගෙයක්ද පුජනිය ප්‍රතිමාවේ රක්ෂස්ථානය වුවේය. වන්දනාකරුවන් වැඩිවුයෙන් ගලෙන් තනා උළු වලින් සෙවිලි කරන ලද දෙව්මැඳුරක් ඇති විය. 1843 දී අවුරුදු 80කට පෙර තනන වුයෙන් අභිනව දෙව්මැඳුරක් තනන්නට යෙදුණි..........”
( තලවිල සන්තානා මෑණියෝ - අති උතුම් එඩ්මන්ඩ් පිරිස් (නි.ම.නි.) රාජගුරුහිමිපාණෝ )
ක්‍රි.ව. 1842 දී ඉදිකරන ලද වත්මන් දේවස්ථානයේ නිර්මාතෘවරයාණන් ලෙස සදහන් වන්නේ ගෝවේ ඔරතෝරියාන නිකායික ගරු. පෙඩ්රෝ නොරේඤ්ඤෝ පුජාප්‍රසාදීන් වහන්සේය. එතුමා තලවිලට පැමිණීමට පෙරාතුව මන්නාරමට නුදුරු පරපාන්කන්දල් නම් ස්ථානයේ සුවිශාල දේවස්ථානයක් ඉදිකළ නිසා එවකට උතුරු අනුපදවිය භාර රාජගුරුප්‍රසාදිතුමන් වූ ඔරතෝරියාන නිකායික අති උතුම් ඔරාසියෝ බෙතකීනි හිමිපාණන් විසින් අභිනව තලවිල දේවස්ථානය ඉදිකිරීමට එතුමන්ට පවරන ලද බව සදහන් වේ.
ඕලන්ද යුගයේදී සන්තානා භක්තිය
ඕලන්ද යුගයේදී ශු. ආනා සහ ජුවකීනූ මුනිවරුන්ගේ භක්තිය සහ මංගල්‍යය මෙරට කතෝලිකයන් තුළ ව්‍යාප්ත ව පැතුරුනු අතර ශු. ජුසේ වාස් මුනිතුමන්ගේ සහ සෙසු ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන්ගේ වාර්ෂික සැමරුම් මංගල්‍යයන් අතුරින් සෑම වසරකම ජූලි මස 26 වන දින මේ මංගල්‍යය මෙරට තුළ සැමරීමේ සිරිත එතුමන්ලාගෙන් අපට උරුම විය. ගෞ. ජාකෝමේ ගොන්සාල්වෙස් පුජාප්‍රසාදීන් වහන්සේ විසින් රචිත ගද්‍ය කෘතීන් අතර සුවිශේෂ විසර්ජනය , දේව වේද පුරාණයේ ද පද්‍ය අතුරින් මංගල ගීතයේද යැදුම් සංග්‍රහයන් අතර වන්දනා කර්ම ස්ථානයන් අතර ශු. ආනා සහ ජුවකීනූ මුනිවරුන් උදෙසා බැතිපෙම් විහිදුවා ලමින් ලාංකේය දේවජනතාව තුළ එතුමන්ලාගේ බැතිය මාංශ ගත කොට ඇත. ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන්ගේ සුවිශේෂී දායකත්වය තුළ විශේෂයෙන් උතුරුකරයේ සන්තානා මෑණියන්ට කැපකරන ලද දේවස්ථාන ඉදිවන්නට වූ අතර , ඇතැම් දේවස්ථාන අදත් ඒ ගෘහ නිර්මාණ ශිල්පයෙන් ම ස්ථාපනය වී පැවතීම අප ලද භාග්‍යයකි. පෘතුගාලයේ ලිස්බන් නුවර කෞතුකාගාරයේ සදහන් ලේඛන වාර්තාවලට අනුව ක්‍රි.ව. 1746 වසරට පෙර එනම් විජය රාජසිංහ රජු විසින් කතෝලිකයන් හට එල්ල කරන ලද පිඩනයට පෙර නාරංගොඩ ග්‍රාමයේ ශා. ආනා මුනිශ්වරිය නමින් කැපකර තිබු දේවස්ථානයක් පැවති බවත් එය ගෞ. ඉග්නේෂස් අල්මේදා පුජාප්‍රසාදීන් වහන්සේ විසින් ඉදිකරන ලද බවත් සදහන් කර ඇත. Archivio da Torre do Tombo, Lisbon - 636
පසුව බි්‍රතාන්‍ය යුගයේ දී සන්තානා මෑණියන් නමින් අභිනව දේවස්ථාන ගෝවේ ඔරතෝරියාන නිකායික පුජාප්‍රසාදීන් වහන්සේලාගේ දායකත්වය තුළ ඉදිවන්නට වූ අතර , ක්‍රි.ව. 1827 දෙසැම්බර් මස 04 වන දින සදහන් වාර්තාවට අනුව , ක්‍රි.ව. 1828 දී සන්තානා මෑණියන් නමින් මෙරට පැවති දේවස්ථාන චෙක්කු වීදිය , කැළණිය , කුරුණෑගල, නවගමුව, අවිස්සාවේල්ල, බේරුවල, වත්තල, වැලිගම්පිටිය, කුරණ , පළගතුරේ, පාලකුඩා ( තලවිල ) , සිලාවතුරෙයි, කිරෙයි, වන්කාලෙයි, පුවාරසන්කුලම් සහ පත්තිරුඩාම් යන දේවස්ථාන එතුමියගේ නමට කැපකර තිබු බව සදහන් වේ.
මූලාශ්‍රය - Historical Archive of Goa, Moncoes 204, A ff. 280 - 284 ( Document translated from Portuguese )
මෙම දේවස්ථාන අතුරින් කොළඹ සෙක්කුවීදියේ ශා. ආනා දේවස්ථානය ඓතිහාසික වටිනාකමක් දරන අතර එය ඕලන්ද යුගයේ අවසාන කාලයේදී ඉදිවන්නට වූ බව පිළිගැනේ. එහි ඉපැරණි දේවස්ථානය ද තලවිල , මඩු මෙන් ගෝවේ ඔරතෝරියාන ගෘහ නිර්මාණ ශිල්පය තුළ ඉදිවූ අතර වර්තමානයේ එහි නුතන යුගයට සරිලන දේවස්ථානයක් ඉදිවී ඇත.
ක්‍රි.ව. 1844 පෙබරවාරි මස 12 වන දින , කොළඹ සිට ශුද්ධාසනය වෙත ලක්දිව ධර්මදූතික මධ්‍යස්ථාන පිළිබඳව යවන ලියවිල්ල (මෙම ලියවිල්ල ලාංකේය කතෝලික ඉතිහාසය හදාරන ඕනෑම අයෙකුට ඉතා සුවිශේෂී වේ.) මේ මගින් එවකට ලක්දිව අනුපදවියේ රදගුරු ගෝවේ ඔරතෝරියාන නිකායික අති උතුම් ගයතානෝ අන්තෝනියෝ හිමිපාණෝ තමන් ඇතුළු තම පුජක සංඝය ශුද්ධාසනයට යටත් වන බවත් ඒ අවස්ථාවේදී තම පාලන ප්‍රදේශ පිළිබද තතු ද මෙම ලේඛනය මගින් ඉදිරිපත් කර දී ඇත. මෙම ලේඛනයට අනුව එවකට ලක්දිව තුළ සන්තානා මෑණියන් නමින් කැපකරන ලද දේවස්ථාන මෙසේය.
කළුතර ධර්මදුතික මධ්‍යස්ථානය - බේරුවල ග්‍රාමයේ නිර්මල මරියෝත්තමාවන්ගේ මාතාවන් වන ශා. ආනා මුනිශ්වරිය නමින් කැප කරන දේවස්ථානයක් පවතින බවත් සදහන් කරයි.
කොළඹ ධර්මදූතික මධ්‍යස්ථානය - සෙක්කුවීදිය
අළුත්කුරු කෝරළේ ධර්මදූතික මධ්‍යස්ථානය ( කැළණි ගඟ ට උතුරින් සහ මිගමු කලපුවට පහලින් වූ ප්‍රදේශය ) - එක් දේවස්ථානයක් (වැලිගම්පිටිය )
මිගමුව සහ කම්මල ධර්මදුතික මධ්‍යස්ථානය - දේවස්ථාන 03 ක්
කල්පිටිය ධර්මදුතික මධ්‍යස්ථානය - දේවස්ථාන 01 ක් ( තලවිල )
මාන්තොට ධර්මදුතික මධ්‍යස්ථානය - දේවස්ථාන 02 ක්
වන්නි ධර්මදුතික මධ්‍යස්ථානය - දේවස්ථාන 02 ක්
මන්නාරම ධර්මදුතික මධ්‍යස්ථානය - දේවස්ථාන 01 ක්
යාපනය ධර්මදුතික මධ්‍යස්ථානය - දේවස්ථාන 01 ක්
හේවාගම් කෝරළය සහ සියණෑ කෝරළය ධර්මදුතික මධස්ථානය - දේවස්ථාන 03 ක්
මහනුවර ධර්මදුතික මධස්ථානය - දේවස්ථාන 01 ක් ( කුරුණෑගල )
සමස්ථයක ට ගත් කළ ලක්දිව අනුපදවියේ දේවස්ථාන බොහොමයක් ගඩොලින් නිමවා නොමැති මැටියෙන් තනා පොල් අතුවලින් හෝ තල් අතු වලින් සෙවිලි කරන ලද ලෙස වහලවල් සදහා දැව යොදා තිබෙන මේවා පැල්පත් ලෙස දක්නට ලැබෙන බව විස්තර දී ඇත. මෙයට හේතුව රදගුරු හිමිපාණෝ පෙන්වා දෙන්නේ එකල මෙරට විසු කිතුනුවන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම සහ ඔවුන්ගේ දරිද්‍රතාවයයි.
තවද මේ කාලයේ ලක්දිව කළුතර , මොරටුව , කොළඹ , අලුත්කුරු කෝරළේ , මිගමුව සහ සෙසු ප්‍රදේශ වල පැවති කුල භේදයන් ද මෙම කිතුනු සංඝයන් තුළ අභිවෘද්ධියට රුකුලක් මෙන්ම අර්බුදයන් ටද ලක්ව පවතින අතර , මේ කුලයන් අතර එක්සත්කම හා බෙදීම් ඇතැම් අවස්ථා වලදී ධර්මදුතික මෙහෙවරට අභියෝගයක් වී පවතින සදහන් වේ.
මුලාශ්‍රය - Archives of Propaganda Fide, Rome , APF SCG ( Ind. Or.) vol .9 ff. 836-839
1987 දී ස්ථාපනය කරන ලද කුරුණෑගල රදගුරු වසමේ නාම සාන්තුවරිය ලෙස ශු. ආනා මුනිවරිය නම් කරනු ලැබිය.
ශා. ආනා මුනිශ්වරිය හට කැපකර ඇති සිද්ධස්ථාන
හලාවත පදවිය - තලවිල සිද්ධස්ථානය
බදුල්ල පදවිය - වැලිමඩ සිද්ධස්ථානය
මන්නාරම පදවිය - වන්කාලෙයි සිද්ධස්ථානය
කුරුණෑගල පදවිය - කට්ටිමහන සිද්ධස්ථානය
ශා. ආනා මුනිශ්වරිය හට කැපකර ඇති දේවස්ථාන
කොළඹ අගරදගුරු වසමේ දේවස්ථාන - පළගතුරේ, කුරණ, වැලිගම්පිටිය , වත්තල , පිලපිටිය , මිරිස්වත්ත , සෙක්කුවීදිය, නවගමුව, සරික්කාලිමුල්ල , බේරුවල , තෙබුවන, පුවක්පිටිය, තිඹිරිගස්කට්ටුව, මොරගහහේන සහ ප්‍රේමචන්ද්‍රවත්ත
යාපනය රදගුරු වසමේ දේවස්ථාන - මනිපායි , වලෙයිප්පාඩු , කීරිමලේ , ඉලාවලෙයි , වලින්නෝත්ඩල් , අලිමංකඩ , මුකතුවාරම් සහ මෙලින්චිමුනෙයි යන දේවස්ථාන වන අතර කීරිමලේ දේවස්ථානය යාපනය රදගුරු පදවියේ ඉපැරණිම දේවස්ථාන 5න් එකකි. එයද තලවිල මෙන් ගෝවේ ඔරතෝරියාන නිකායික ගෘහ නිර්මාණ අනුව සකසා ඇත.
මහනුවර රදගුරු වසමේ දේවස්ථාන - හේවාහැට
ගාල්ල රදගුරු වසමේ දේවස්ථාන - හිනිදූම
ත්‍රිකුණාමලය රදගුරු වසමේ දේවස්ථාන -
හලාවත රදගුරු වසමේ දේවස්ථාන - බොරලැස්ස ,වලහාපිටිය, දිගන්වැව , තබ්බෝව 10 කණුව සහ සන්තානාපුර
බදුල්ල රදගුරු වසමේ දේවස්ථාන - ගලබොඩ, ගල්ලොල සහ පිට්‍රට්මලයි
මන්නාරම රදගුරු වසමේ දේවස්ථාන - වන්කාලෙයි , මන්නාරම නගරයේ
අනුරාධපුර රදගුරු වසමේ දේවස්ථාන - විලච්චිය , කෝකිලායි , තඹුත්තේගම , කලාවැව සහ අඹගස්වැව
කුරුණෑගල රදගුරු වසමේ දේවස්ථාන - කුරුණෑගල ආසන දෙව්මැදුර ද, කට්ටිමහන සිද්ධස්ථානය සහ රෑද්දේගොඩ
රත්නපුර රදගුරු වසමේ දේවස්ථාන - කහවත්ත , රුවන්වැල්ල සහ මාලිබොඩ
මඩකලපුව රදගුරු වසමේ දේවස්ථාන - වීච්චිකල්මුණේ
තවද එංගලන්ත සභාව හෙවත් ලංකා සභාව තුළ කිතුලම්පිටිය යන දේවස්ථානය ද කැපකර ඇත.
මේ අනුව ශා. ආනා මුනිවරියට බැතිපෙම් දක්වන ලාංකේය දේවජනතාවක් ලෙස ශු. ආනා මුනිවරිය යැදුම් මධ්‍යස්තිය තුලින් සැබෑ ක්‍රිස්තු අනුගාමිකයන් ලෙස එතුමිය දේවපුත්‍ර ජේසු සමිඳුන්ගේ අනුශාසනා දායිකාව වීමට මෙතුමිය වරම් ලත් මෙතුමිය සියල්ලන්ගේ භක්ත්‍යාදරය පාත්‍ර වෙමින් එදත් ,අදත්, දෙවි සමිඳුන් ඉදිරියේ දුබල අප උදෙසා යැදුම් මධ්‍යස්තිය වනු නොඅනුමානය.
සටහන - අසේල දසනායක