''මම විශ්වාස කරමි" - "අපි විශ්වාස කරමු"
මෙය සිංහල කතෝලික සභා ධර්මෝපදේශය අන්තර්ජාල ගත කිරීමට සම්බන්ධ ව්‍යාපෘතියේ පළමු ලිපියයි. මෙහි සදහන් සියල්ලෙහි කතෲ අයිතිය අප නොදරන අතර ජේසුස් වහන්සේ හා උන් වහන්සේගේ සභාව සතු වේ.
පළමු වන කාණ්ඩය
''මම විශ්වාස කරමි" - "අපි විශ්වාස කරමු"
26. අපි අපගේ විශ්වාසයේ ප්‍රකාශය ආරම්භ කරන්නේ"......මම විශ්වාස කරමි'' හෝ ''... අපි විශ්වාස කරමු " යනුවෙනි. විශ්වාස ලක්ෂණය මඟින් උච්චාරණය කරන්නා වූ ද, දේව වන්දනාව තුළ උත්කර්ෂවත් ලෙස සිදු කරන්නා වූ ද, දේව පනත් පිළිගැනීම හා යාච්ඤාව මඟින් සජීවිව ප්‍රකාශ කරනු ලබන්නා වූ ද, මෙම විශ්වාසය යනුවෙන් අප කුමක් අදහස් කරන්නේ දැයි පළමුව විමසා බලමු. ඉන් පසුව අපට සභාවේ විශ්වාසය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. විශ්වාසය යනු තමන් වහන්සේ ව අනාවරණය කරමින් තමන් වහන්සේ ව මිනිසාට ප්‍රදානය කරන දෙවියන් වහන්සේට මිනිසා පුදන ප්‍රතිචාරයකි. දෙවියන් වහන්සේ මිනිසාට තම ජිවිතයේ සැබෑ අර්ථය සෙවීමට අවශ්‍ය ආලෝකය බහුලව ප්‍රදානය කරමින් සිටින සේක. ඒ නිසා අපි පළමු පරිච්ඡේදයේ දී මිනිසාගේ මේ සෙවීම ගැන ද, දෙවන පරිච්ජේදයේ දී මිනිසා මුණ ගැසීමට ඔහු වෙතට වඩින, දේව අනාවරණයන් ලබා දෙන දෙවිඳුන් ගැන ද, අවසන් වශයෙන් තුන්වන පරිච්ඡේදයේ දී විශ්වාසයේ ප්‍රතිචාරය ගැන ද, කරුණු සොයා බලමු.
පළමුවන පරිච්චේදය
දෙවිඳුන් සොයා යෑමට මිනිසාට ඇති හැකියාව
I. දෙවිඳුන් කෙරෙහි ඇති ආශාව
27. දෙවිඳුන් කෙරෙහි ඇති ආශාව මිනිසාගේ හදවතේම ලියා ඇත. ඒ මන්ද යත් මිනිසා මවා ඇත්තේ දෙවිඳුන් විසින් දෙවිඳුන් සඳහාම බැවිනි. දෙවිඳාණෝ මිනිසාව නිරන්තරයෙන්ම තමන් වෙතට ඇද ගනිමින් සිටින්නා හ. මිනිසාට ද, තමන් නිතරම සොයමින් සිටින සත්‍යය හා තෘප්තිය දෙවිඳුන් තුළ පමණක් සම්භ වේ:
"මිනිසාගේ උතුම්කම සියල්ලන්ට ම ඉහළින් රැඳී ඇත්තේ, ඔහු දෙවිඳුන් සමඟ සහභාගිත්වයකට ආරාධනා ලැබ සිටින බැවිනි. දෙවිඳුන් සමඟ කථා බහ කිරීමට මිනිසාට ආරාධනය ලැබුණේ ඔහුගේ පැවැත්මේ ආරම්භයේ දීම ය. මිනිසා ජීවත් වන්නේ, දෙවියන් වහන්සේ තම ප්‍රේමය මඟින් ඔහු මවා, එම ප්‍රේමය මඟින් ම ඔහුගේ පැවැත්ම රඳවා ගන්නා නිසාත් ය. ඒ නිසා මිනිසාට සත්‍යයට අනුකුලව සම්පුර්ණ ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් ඔහු දෙවිඳුන්ගේ මෙම ප්‍රේමය නිදහස් කැමැත්තෙන්ම පිළිගත යුතුවාක් මෙන්ම, තමාව එම මැවුම්කාරයාණන්ට මුළුමණින්ම පවරා බාර දීම ද අනිවාර්යය වේ."i
28. විවිධ ආගමික ඇදහිලි සහ හැසිරීම් මඟින් ඈත අතීතයේ සිට අද දක්වා මිනිසා මේ දෙවිඳුන් සෙවීමේ කාර්යයෙහි නොයෙක් ආකාරයෙන් යෙදී සිටි බව අපට පෙනේ ඔවුන්ගේ යාච්ඤා, යාග, වත්පිළිවෙත් සහ භාවනා යනාදිය ඊට නිදසුන් ය. විවිධාකාර වූ මෙම ආගමික වත් පිළිවෙත් හා ප්‍රකාශන බොහෝ විට සැක සහිත භාවයක් පෙන්නුම් කළ ද, මේවා මුළු මිනිස් සංහතිය පුරාම පැතිර පවත්නා බැවින්, මිනිසා සැබවින් ම ආගමික සත්ත්වයෙක් ලෙස හැඳින්වීමට පුළුවන.
"ඔවුන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය ම මවා වදාළ සේක. මිහිපිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථාන වල සීමා ද නියම කළ සේක. මෙසේ කළේ දෙවියන් වහන්සේ ගැන හැඟීමකින් ද, හමුවන බලාපොරොත්තුවෙන් යුතුව ද ඔවුන් වහන්සේව සොයන පිණිස ය. ඔවුන් වහන්සේ අප එකිනෙකාට නුදුරු ය. මන්ද, කියා තිබෙන පරිදි අප ඔවුන් වහන්සේ තුළ ජීවත් වන්නෙමු; හැසිරෙමු; පවතින්නෙමු."ii
29. එනමුත් මිනිසා හා දෙවිඳුන් අතර ඇති මෙම හෘදයාංගම හා ජීවමාන බැඳීම (ව.ලෝ.ශු.ස. 198.1) මිනිසාට අමතක කරන්නටත් නොසලකා සිටින්නටත් පැහැදිලිවම ප්‍රතික්ෂේප කර හරින්නටත් පුළුවන් ද?iii එවැනි ආකල්ප ඇති වීමට විවිධ හේතු තිබිය හැක. ලෝකයේ ඇති නපුරට එරෙහි ව නැගී සිටීම, ආගමික අනවබෝධය හෝ උපේක්ෂාව, ලෞකිකත්වය හා ලෞකික වස්තුවට වසඟ වීම, ඇදහිලි වන්තයන්ගේ ජීවිත මඟින් ඇතිවන අවාදර්ශය, ආගමට එරෙහිව චින්තන රටාවල් සහ අවසාන වශයෙන් දෙවිඳුන්ගේ හඬට බියේ සැඟවෙන්නට නිතර මාන බලන පව්කාර මිනිසාගේ ආකල්ප යනාදිය යි.iv
30. "සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමෝදිත වේවා''v මිනිසාට දෙවියන් වහන්සේව අමතක කරන්නට හෝ ප්‍රතික්ෂේප කිරීමට හැකි වුව ද, ඔවුන් වහන්සේ සෙවීමටත් එමඟින් සැබෑ ජීවිතය සහ සතුට සොයා ගැනීමටත් ඔවුන් වහන්සේ සෑම කෙනෙකුට ම නොනවත්වා ම ආරාධනා කරන සේක. එනමුත් මෙම දෙවිඳුන් සෙවීමේ කාර්යය සඳහා මිනිසාගේ පාර්ශ්වයෙන් පුර්ණ බුද්ධිමය ප්‍රයත්නයක් ද, ස්ථීර කැමැත්තක් ද, සෘජු හදවතක් ද දෙවිඳුන් සෙවීමට ඔහුට කියා දෙන අන් අයගේ ජීවිත සාක්ෂිය ද දෙවිඳුන් සෙවීමට ඔහුට උගන්වන්නේ ය.
"ස්වාමීනි, ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨය. එමෙන් ම ශ්‍රේෂ්ඨ ප්‍රශංසාවක් ද ඔබ වහන්සේට අයිති ය. ඔබ වහන්සේගේ බලය ද අතිමහත් ය. ඔබ වහන්සේගේ ප්‍රඥාව ද අසීමිත ය. මුළු මැවීමේ ඉතා කුඩා අංශුවක් වන මිනිසා ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමට අවශ්‍යව ඇත. මරණය පැළඳගෙන සිටින මේ මිනිසා තමාගේ පාපිෂ්ඨ බවට සාක්ෂි දරමින්, ඔබ වහන්සේ අහංකාරයින්ව හෙළා දකින බව ද ඔප්පු කරයි. මේ අඩුලුහුඬුකම් කොතෙක් වුවද ඔබ වහන්සේගේ මැවිල්ලේ ඉතා කුඩා අංශුවක් වන මිනිසාට ඔබ වහන්සේට ප්‍රශංසා කිරීම මඟින් තෘප්තියක් ලැබීමට අවැසි ය. ඔහුව දිරිගන්වන්නේත් ඔබ වහන්සේම ය. ඔබ වහන්සේ ඔහුව ඔබ වහන්සේ සඳහාම නිමවා ඇත. ඒ නිසා ඔබ වහන්සේ තුළ සන්සුන් වන තෙක් අප හදවත් නොසන්සුන් ව පවති."vi
II. දෙවිඳුන් දැන ගැනීමේ මාර්ග
31. දෙවියන් වහන්සේගේ සමානකමට මවනු ලැබුවා වූ පුද්ගලයාට ඔවුන් වහන්සේව දැන ගැනීමටත්, ඔවුන් වහන්සේට ආදරය කිරීමටත්, කැඳවීමක් ලැබී ඇත. එබැවින් ඔහු දෙවිඳුන් සොයා යන ගමනේ දී, ඔහුට උදව් වන මාර්ග කිහිපයක් ඔහු සොයා ගනියි. දෙවියන් වහන්සේ වැඩ සිටින බවට සාක්ෂි වශයෙන් හැඳින්වෙන මේවා, සාමාන්‍ය විද්‍යා තර්ක ව්‍යවහාරයේ භාවිතා වන සාක්ෂි ක්‍රමයට පරිබාහිර වූව ද, මේවා මඟින් අපගේ විශ්වාසයේ සත්‍යතාවයන් ගැන ස්ථිරභාවයක් හා ඒක රාශිවීමක් වෙත යොමුවීමට අපට හැකියාව ලැබේ.
32. මැවිල්ල හරහා දෙවිඳුන් වෙත යෑමේ මාර්ග දෙකකි. එනම් භෞතික ලෝකය හා මානව පුද්ගලයා වේ.
ලෝකය: ලෝකයේ චංචල බව, වර්ධනය, අවිනිශ්චිත භාවය, ලෝකයේ පිළිවෙල හා සුන්දරත්වය මඟින් කෙනෙකුට විශ්වයේ ආරම්භය හා අවසානය වන දෙවිඳුන් බව අවබෝධ කරගත හැකි ය.
ශුද්ධ වූ පාවුලු තුමා විජාතිකයන් ගැන ප්‍රකාශ කරන ආකාරයට, දෙවියන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සත් සුදක් සේ පැහැදිලි ය. ඒ මන්දයත් දෙවියන් වහන්සේ එය ඔවුන්ට අනාවරණය කර දී ඇත. ලෝකය මැවූ දා සිට, ඇසට නොපෙනෙන ඔවුන් වහන්සේගේ දිව්‍ය ස්වභාවය වන ඔවුන් වහන්සේගේ සදාතන බල මහිමයත්, දේවත්වයත්, ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි ඔවුන් වහන්සේ මැවිලි වලින් ප්‍රකාශ කර ඇත.'vii
සාන්ත අගෝස්තීනු තුමා මේ අභියෝගය එල්ල කරයි. පෘථිවියේ සුන්දරත්වය ගැන ප්‍රශ්න කරන්න. සාගරයේ සුන්දරත්වය ගැන ප්‍රශ්න කරන්න දසත විහිදි ඇති වායුවේ සුන්දරත්වය ගැන ප්‍රශ්න කරන්න. ගුවන් ගැබේ සුන්දරත්වය ගැන ප්‍රශ්න කරන්න. මේ සියලු යථාර්ථයන් ගැන ම ප්‍රශ්න කරන්න. ඒ හැම දෙනාගේ ම එකම පිළිතුර වනුයේ '' බලන්න අපි කොයි තරම් මනහර ද " යන්නයි. ඔවුන්ගේ සුන්දරත්වය ම එක්තරා ආකාරයක ප්‍රකාශනයකි. මේ සුන්දර සියල්ල වෙනස්වන සුලු ය. මේවායේ මැවුම්කරුවාණන් වන්නේ, වෙනස්වීමකට කවදාවත් භාජනය නොවන මහා සුන්දරත්වයාණෝ නොවේ ද?"viii
33. මානව පුද්ගලයා: සත්‍ය ට හා සුන්දරත්වයට විවෘත වූද, සදාචාරාත්මක යහපත් ක්‍රම ගැන හැඟීමක් ද, ඇත්තා වූ නිදහස හා හෘදසාක්ෂිය පිළිබඳව හඬක් නගන්නා වූ ද, අනන්ත අපරිමිත දේ ගැන හා සදා සතුට ගැන ආශාවක් ඇත්තාවූ ද මිනිසා දෙවිඳුන්ගේ වැඩ සිටීම ගැන, තමාගෙන් ම ප්‍රශ්න කරයි. මේ සියල්ලක් තුළින් ම ඔහු දකින්නේ, තම ආධ්‍යාත්මයේ මහ සලකුණු ය. "හුදු ද්‍රව්‍යමය දෙයක් ලෙස පහන් කොට සැලකිය නොහැකි සදාකාලික ජීවිතයේ බීජයක් ලෙස අප තුළ ඇති ආත්මය, ද්‍රව්‍යමය දෙයක් ලෙස පහත් කොට සැලකිය නොහැකි"ix වන හෙයින් එහි ආරම්භය දෙවිඳුන් තුළ ම ඇති වන බව අපට පැහැදිලි වේ.
34. මිනිසාටත් ලෝකයටත් තමන්ගේ ආරම්භය හෝ අවසානය ගැන සොයා ගත නොහැකි වී ඇත. ඔවුන් ආරම්භයක්වත් අවසානයක්වත් නැති භවත්වයෙන් ම කොටස්කරුවන් බව තේරුම් ගෙන ඇත. මෙලෙස විවිධ ආකාරයෙන් මිනිසාට සියල්ලෙහි ම පළමුවැනි හේතුවත් අවසානය වන යථාර්ථයක් ඇති බව තේරුම් ගත හැකිය. එම යථාර්ථයට අපි දෙවියන් වහන්සේ යැයි කියමු.ix
35. මිනිසාට ඇති හැකියාවන් මඟින්, පුද්ගලිකව ම දෙවි කෙනෙකු වැඩ සිටින බව නිගමනය කළ හැකි ය. එහෙත් එවන් දෙවි කෙනෙකු සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඔහුට පුළුවන. ඒ සඳහා දෙවියන් වහන්සේ විශේෂාකාරයෙන් ඔහුට අනාවරණය වනවා පමණක් නොව මේ විශේෂ විශ්වාසයේ එළිදරව්වට ඔහුගේ සිත පොළඹවන දේව වරප්‍රසාදය ද, දෙවියන් වහන්සේ විසින්ම ඔහුට දානය කිරීමට අභිප්‍රාය කරන සේක දෙවියන් වහන්සේ වැඩ සිටින බවට ඇති මෙම සාක්ෂි මඟින් කෙරෙනුයේ කිසියම් පුද්ගලයෙකුට විශ්වාසයේ දීමනාව ලබා ගැනීමට සුදානම් කිරීමක් පමණකි. එමෙන් ම විශ්වාසය, බුද්ධියට එරෙහි නොවන බව ද, මෙ මඟින් ඔහුට පැහැදිලිව දකින්නට උදව් කෙරේ.
III. සභාවේ ඉගැන්වීම් වලට අනුව දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම
36. "සියල්ලෙහි පළමුවන හේතුව ද අවසානය ද වන දෙවියන් වහන්සේ ගැන. ස්ථිර අවබෝධයක් ලබා ගැනීමට, මැවිල්ල මඟින් හා මිනිස් ඥානයේ ස්වභාවික ආලෝකය මඟින් මිනිසාට හැකි බව ශුද්ධ වූ සභා මාතාව අපට උගන්වන්නී ය."xi මෙම හැකියාව නොමැතිව දේව අනාවරණය සාදරයෙන් පිළිගැනීමට මිනිසාට හැකි නොවේ. මිනිසාට මේ හැකියාව ලැබී ඇත්තේ ඔහු දෙවිඳුන්ගේම සමානකමට මවනු ලැබ ඇති බැවිනි.xii
37. එනමුදු, තම බුද්ධියේ ආලෝකයෙන් පමණක් දෙවිඳුන් සොයා ගැනීමේ දී මිනිසා ජීවත්වන ඓතිහාසික පසුබිමෙන් මතුවන බොහෝ දුෂ්කරතා දකින්නට ඔහුට සිදු වේ.
38. සත්‍යතාවයන් පිළිබඳව අවදි ව හා නිසි අවබෝධයකින් මිනිසා දැන් ජීවත් වන පරිසරය අනුව සියලු ජාතීන් ස්ථීර ලෙස හා නිවැරදි ලෙස ලබා ගැනීමට නම් දෙවියන් වහන්සේගේ එළිදරව්වේ ආලෝකයක් මිනිසාට ලැබිය යුතුයැයි අප කියන්නේ එබැවිනි.xiv
IV. දෙවිඳුන් ගැන අප කථා කළ යුත්තේ කෙසේද?
39. දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට බුද්ධියට හැකියාවක් ඇතැයි සභාව නිරතුරුව ම අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියි. තවද ජනතාවට හා ඔවුන් සමඟ ඔවුන් වහන්සේ ගැන අවබෝධයක් ප්‍රචලිත කිරීමේ හැකියාව ගැන ද මහත් විශ්වාසයක් ඇත. එබැවින් විවිධ ආගම් අතර සුහදතාව වර්ධනය කිරීමටත් විවිධ දර්ශනවාදීන් හා විද්‍යාඥයින්, ආගම් නොඅදහන්නන් හා අදේව දෘෂ්ඨිකයින් සමඟත් සභාව සුහදතාවයකින් යුතුව කටයුතු කරන්නේ එම හැකියාව පෙරදැරි කරගෙන ය.
40. දෙවියන් වහන්සේ පිළිබඳව ඇති අපේ දැනුම සීමාසහිත නිසා උන්වහන්සේ ගැන අප භාවිතා කරන භාෂාව ද එලෙස ම සීමා සහිතය. අප තුළ ඇති තේරුම් ගැනීමේ සහ කල්පනා කිරීමේ සීමිත මිනිස් හැකියාවන් නිසා, දෙවියන් වහන්සේව නම් කිරීමට, අපට ආරම්භක ස්ථානය ලෙස පමණක්, මැවිල්ල භාවිතා කළ හැකි ය.
41. සියලුම මැවිලි වල, දෙවියන් වහන්සේගේ කිසියම් සමානකමක් දක්වති. මිනිසා තුළ විශේෂයෙන් ම මේ බව ඉතා පැහැදිලිව පෙනේ. මන්ද ඔහු දෙවිඳුන්ගේ ම ස්වරූපයට හා සමානකමට මවා ඇති හෙයිනි. එසේ ම අනිකුත් මැවිලි තුළ ද හඳුනාගත හැකි විවිධ ගති ලක්ෂණ එනම්, ඒවායේ අඩංගු සත්‍යය, යහපත්කම හා සුන්දරත්වය යනාදිය දෙවිඳුන්ගේ අප්‍රමාණ සම්පූර්ණත්වය පිළිඹිබු කරයි. මේ අනුව අපට මැවිලි වල ඇති පූර්ණත්වයෙන් දෙවියන් වහන්සේ ගැන කතා කිරීමට පටන්ගත හැකි ය. "මන්ද මැවිල්ලේ තේජස හා ශෝභනත්වය සසඳා, ඒවායේ කාර්තෘවරයන් ගැන අපට කල්පනා කළ හැකි ය. '''xv
42. දෙවියන් වහන්සේ සියලු මැවිලි වලට ඉහළින් උත්තරිතරව වැඩ සිටින සේක. ඒ නිසා අපි නිරන්තරයෙන් ම ඔවුන් වහන්සේ ගැන කතා කිරීමට භාවිතා කරන වචන ද සියලු රූපමය සටහ වලට සීමා වූ හෝ අසම්පූර්ණ වු දේවල් පවිත්‍ර කර සංස්කරණය කළ යුතුව ඇත. එසේ කිරීමෙන් දෙවියන් වහන්සේ පිළිබඳ අපේ දැනුම ව්‍යාකූලත්වයෙන් මිඳේ. අප භාවිතා කරන වචන මේ ලෝකයේ මැවිලි තුළින් ලබා ගන්නා බැවින් ඒවා නිතරම අසම්පූර්ණය. පැටළිලි සහිතය. අපේ මිනිස් සංකේත මඟින් දෙවියන් වහන්සේ පිළිබඳ යථාර්ථය විස්තර කළ නොහැකි ය. පූර්ණ ලෙස තේරුම් ගත නොහැකි ය. දැනගත නොහැකි ය. ග්‍රහණය කළ නොහැකි ය.xvi දෙවිඳුන් පිළිබඳ අභිරහස් විස්තර කරන මිනිස් වචන, හැම විට ම අසම්පුර්ණය.
43. ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේ පිළිබඳව මෙලෙස කතා කරද්දී. අප භාවිතා කරන්නේ මිනිසාට හුරු පුරුදු යෙදුම් ය. එසේ වුවද, ඒවා මඟින් ඔවුන් වහන්සේගේ අප්‍රමාණ සරල බව විස්තර කිරීමට අප අපොහොසත් වුවද ඔවුන් වහන්සේ ගැන තරමක හෝ දැනීමක් එමඟින් අපට ලබා ගත හැකිය. එලෙස ම අප මතක තබාගත යුතු තවත් වැදගත් කරුණක් නම් මැවුම්කරුවාණන් හා මැවිල්ල අතර සමානකම් දක්වන හැම විටකම ඊටත් වැඩියෙන් අසමානතා රාශියක් මතු වන බව ය.xvii දෙවිඳුන් පිළිබඳව කථා කරද්දී, අපට ඔවුන් වහන්සේ කවුරුන්දැයි කියා දැන ගන්නවාට වඩා, අන් මැවිලි සමඟ සසඳා බලමින් ඔවුන් වහන්සේ කවුරුන් වේ දැයි සිතා ගැනීම වඩාත් පහසු ය.xviii
සාරාංශය
44. මිනිසා තම ස්වභාවයෙන් හා කැඳවීමෙන් ම ආගමික තැනැත්තෙකි. දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණ ඔවුන් වහන්සේ වෙතට ම යන මිනිසා, සර්ව සම්පූර්ණ මිනිස් දිවියක් ගත කළ හැක්කේ දෙවිඳුන් සමඟ තම බැඳීම ස්වේච්ඡාවෙන් ම තහවුරු කරගත් දිවියක් ගෙවීමෙනි.
45. දෙවියන් වහන්සේ සමඟ ජීවත්වීම තුළින් සතුට සොයා ගැනීමට මිනිසාව මවා ඇත. " ඔබ වහන්සේට මා සම්පුර්ණයෙන් සම්බන්ධ වූ විට මට කිසි දුකක් හෝ කරදරයක් නැත. ඔබ වහන්සේගෙන් පිරුණු විට මගේ දිවිය සර්ව සම්පූර්ණ වේ."(සාන්ත අගෝස්තීනු තුමා, පාපොච්චාරණය 10, 28, 39: PL 32, 795)
46. මැවිල්ලේ පණිවුඩයට සහ තම හෘද සාක්ෂියට මිනිසා සවන් දෙන විට, සියල්ලෙහි ආරම්භයත් අවසානයත් වන දෙවියන් වහන්සේගේ වැඩ සිටීමේ සත්‍යතාවය කරා ඔහුට ළඟා විය හැකි ය.
47. මිනිසාට තම මිනිස් බුද්ධියේ ස්වභාවික ආලෝකයෙන් මැවිල්ල දෙස බලා ඒ මැවිල්ලේ ස්වාමියාණන් ද මැවුම්කරුවාණන් ද වන එක ම සැබෑ දෙවියන් වහන්සේ ගැන සහතිකව ම දැන ගත හැකි බව ශුද්ධ වූ සභාව උගන්වන්නී ය. (1 වන වතිකාන කතිකාවත නියෝගය, 2.1: DS 3026)
48. අපේ අසම්පූර්ණ භාෂාවෙන් දේව අභිරහස විස්තර කර හමාර කළ නොහැකි වුව ද, ඔවුන් වහන්සේගේ සර්ව සම්පූර්ණ කමට සමාන සොබාදහමේ විවිධ සම්පූර්ණත්වය තුළින් පටන්ගෙන ඔවුන් වහන්සේව හඳුනාගැනීමට අපට ඇත්තෙන් ම පුළුවන.
49. මැවුම්කරුවාණන් කෙනෙකු නැති කල මැවිල්ලක් ද නැත. (ව.ලෝ.ශු.ස. 6.36) දෙවිඳුන් ගැන නොදන්නා අයටත්, දෙවිඳුන් ප්‍රතික්ෂේප කරන අයටත්, ජීවමාන දෙවිඳුන්ගේ ආලෝකය ගෙන ඒමට, ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය තුළ කිතුනුවන් ව ඉදිරියට යෑමට පොළඹවන්නේ, මේ හේතුව නිසා බව කිතුනුවන් දනිති.
i. දෙවන වතිකාන කතිකාව, වර්තමාන ලෝකයේ ශුද්ධ වූ සභාව 19.1
ii. ක්‍රියා 17:26-28.
iii. දෙවන වතිකාන කතිකාව, ව.ලෝ.ශු.ස 19.1
iv. ස.බ. දෙවන වතිකාන කතිකාව, ව.ලෝ.ශු.ස 19:21; මතෙව් 13:22. උත්පත්ති 3:8-10, ජෝනා 1:3.
v. ගීතාවලිය 105.3
vi. සා. අගෝස්තීනු, පාපොච්චාරණය 1. 1. 1. ලතින් සභාපිය දහම 32, 659-661.
vii. රෝම 1:19-20, ස.බ.ක්‍රියා 14:15, 17, 17:27-28, ප්‍රඥා 13:1-9.
viii. සා. අගොස්තීනු තුමන් දේශනා 241, 2:PL 38, 1134
ix. දෙවන වතිකාන කතිකාව, ච.ලෝ.ශු.ස 18.1, ස.බ. 14.2
x. සා. තෝමස් ඇක්වයිනස්, සුම්මා තියොලෝජියා 1, 1,3
xi. පළමු වතිකාන කතිකාව. Dei Filius 2:Ds 3004 ස.බ. 3026, දෙවන වතිකාන කතිකාව, දේව ප්‍රකාශන පිළිබඳ ධර්ම ව්‍යවස්ථාව 6
xii. ස.බ. උත්පත්ති 1:27
xiii. 12වන පියුස්, Humani Generis, 561: DS 3875.
xiv. 12වන පියුස්, Humani Generis, 561: DS 3876; cf. Dei Filius 2: DS 3005; දෙවන වතිකාන කතිකාව, දේව ප්‍රකාශන පිළිබඳ ධර්ම ව්‍යවස්ථාව 6: සාන්ත තෝමස් ඇක්වයිනස් තුමා, සුම් තියොලෝ ජියා 1,1,1
xv. සලමොන්ගේ ප්‍රඥා 13:5.
xvi. සා. ජෝන් ක්‍රිසෝස්තම් තුමා, දේව වන්දනාව, ස්තෝත්‍ර යාගික යැදුම.
xvii. 4වන ලතරානු මන්ත්‍රණ සභාව DS 806.
xviii. සා. තෝමස් ඇක්වයිනස් තුමා, සුම්මා කොන්ට්‍රජෙන්ටයිල්ස් 1, 30