මරියතුමිය විසින් ජය අත් කර දුන් ලෙපාන්ටෝ සටන

1571 ඔක්තෝබර් 7 වැනිදා ග්‍රීසියේ ලෙපාන්ටෝ බොක්ක ආශ්‍රිත මුහුද ගිනිගෙන තිබුණි. ඒ, ඉතිහාසයේ ලියැවුණු අතිශය තීරණාත්මක නාවික සටනක් නිසාය. ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යයේ බලය යුරෝපය පුරා පැතිර යමින් තිබූ ඒ යුගයේ, කිතුණු ඇදහිල්ල රැකගැනීම සඳහා බටහිර ලෝකය එක්ව නැගී සිටි අයුරු ලෙපාන්ටෝ සටනෙන් මැනවින් නිරූපණය විය. මෙම සටන හුදෙක් යුදමය ජයග්‍රහණයක් පමණක් නොව, ඊට වඩා එහා ගිය ආත්මික ජයග්‍රහණයකි. එනම්, ශුද්ධවූ ජපමාලයේ බලයෙන්, අතිශුද්ධ වූ මරිය මව්තුමියගේ මැදිහත් වීමෙන් ලද ජයග්‍රහණයක් ලෙසය.

16 වැනි සියවස වන විට ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යය, ලොව ප්‍රබලතම රාජ්‍යයක් බවට පත්ව තිබුණි. සුලෙයිමාන් රජුගේ (Suleiman the Magnificent) පාලන සමයේදී ඔටෝමාන් අධිරාජ්‍යය එහි උච්චතම අවස්ථාවට පැමිණියේය. ඔවුන්ගේ බලය නැගෙනහිර යුරෝපය, උතුරු අප්‍රිකාව සහ මැදපෙරදිග දක්වා ව්‍යාප්ත විය. ඔටෝමාන් නාවික හමුදාව මධ්‍යධරණී මුහුදේ ප්‍රධාන බලවතා බවට පත්ව සිටි අතර, ඔවුන්ගේ නාවික ශක්තිය, වෙළඳ මාර්ග පාලනය කිරීමටත්, වෙරළබඩ නගරවලට පහර දීමටත් යොදා ගන්නා ලදී. ඔටෝමාන්වරුන්ගේ මීළඟ ඉලක්කය වූයේ යුරෝපය යටත් කර ගැනීමයි. ඔවුන් හංගේරියාවේ වැඩි කොටසක් අල්ලාගෙන සිටි අතර, වියානා නගරයට දෙවරක් පහර දුන් නමුත් අල්ලා ගැනීමට නොහැකි විය. ඔටෝමාන් අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රිස්තියානි ලෝකයේ දැඩි බියක් ඇති කළේය. ඔවුහු, ඔටෝමාන්වරුන්ගේ ආක්‍රමණය හමුවේ තම ආගම සහ සංස්කෘතිය අහිමි වේ යැයි බිය වූහ. ඔටෝමාන් ව්‍යාප්තවාදයෙන් වැඩිම තර්ජනයක් එල්ල වූයේ එවකට ප්‍රබල නාවික බලයක් හිමි වැනීසියට සහ ස්පාඤ්ඤයටයි.

ඔටෝමාන් තර්ජනයට තනිව මුහුණ දිය නොහැකි බව තේරුම් ගත් කිතුණු රාජ්‍යයන්, එක්ව කටයුතු කිරීමට තීරණය කළහ. ඔටෝමාන්වරුන්ට එරෙහිව කිතුණු රාජ්‍යයන් එක්සත් කිරීමේ ප්‍රධාන කාර්යභාරය ඉටු කළේ එවකට කතෝලික සභාවේ නායකයා වූ පස්වන පියුස් පාප් වහන්සේ විසිනි. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය සහ උත්සාහය නිසා, එකිනෙකා සමඟ නිතර ගැටුණු රාජ්‍යයන් පවා පොදු සතුරෙකුට එරෙහිව එක්සත් විය. පස්වන පියුස් පාප්තුමා මෙම තීරණාත්මක සටනට පෙර මුළු කිතුණු ලෝකයෙන්ම ඉල්ලා සිටියේ ජපමාලය භාවිත කරමින්, මරියතුමියගේ මාතෘමය මැදිහත් වීම පතා යාච්ඤා කරන ලෙසයි. ශුද්ධවූ සන්ධානයට ප්‍රධාන වශයෙන් වැනීසිය, ස්පාඤ්ඤය, පාප්තුමාගේ රාජ්‍යය (Papal States), ජෙනෝවා ජනරජය, සැවෝයි ආදිපාදවරයාගේ රාජ්‍යය , මෝල්ටා රාජ්‍යය සහ තවත් කුඩා රාජ්‍යයන් කිහිපයක් ඇතුළත් විය. ශුද්ධවූ සන්ධානය විශාල නාවික හමුදාවක් එක්රැස් කළේය. නැව් තැනීම, ආයුධ නිෂ්පාදනය කිරීම සහ සෙබළු පුහුණු කිරීම වේගයෙන් සිදු විය.

ශුද්ධවූ සන්ධානයේ නාවික හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස පත් කරනු ලැබුවේ, ස්පාඤ්ඤයේ දෙවැනි පිලිප් රජුගේ අර්ධ සොහොයුරා වූ දොන් ජුවාන් කුමරුය. ඔහු උපත ලැබුවේ 1547 දීය. එපමණක් නොව ඔහු ඉතා දක්ෂ, එඩිතර, තරුණ සෙන්පතියෙකු විය. ඔහු සටනට පෙර සිය සෙබළුන් අමතා, ඔවුන්ගේ ධෛර්යය සහ ආත්ම විශ්වාසය වර්ධනය කළේය. ඔහු සිය සෙබළුන් දිරිමත් කලේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබාගෙන, ජපමාලය අතැතිව සටන් කරන ලෙස පවසමිනි. ඔටෝමාන් නාවික හමුදාවේ අණදෙන නිලධාරියා වූයේ අලි පාෂාය. ඔහුද දක්ෂ හා අත්දැකීම් බහුල නාවිකයෙකු විය.

1571 ඔක්තෝබර් 7 වැනිදා, ග්‍රීසියේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ ලෙපාන්ටෝ බොක්කේදී (Gulf of Patras), ශුද්ධවූ සන්ධානයේ නාවික හමුදාව සහ ඔටෝමාන් නාවික හමුදාව අතර දරුණු සටනක් ඇති විය. ශුද්ධවූ සන්ධානය සතුව ගැල් (galleys) යුධ නැව් 206ක් සහ කුඩා ප්‍රමාණයේ නැව් 6ක් පමණ විය. ඔටෝමාන් හමුදාව සතුව ගැල් නැව් 230ක් සහ කුඩා නැව් 50-60ක් පමණ විය. ඔටෝමාන් නැව් සමූහය අඩ සඳක හැඩයට පෙළ ගැස්වූ අතර, ශුද්ධවූ සන්ධානයේ නැව් සෘජු රේඛාවක ආකාරයට පෙළ ගැස්වීය. සටන ආරම්භ වූයේ දෙපාර්ශ්වයේම කාලතුවක්කු ප්‍රහාරවලිනි. ඉන්පසු, නැව් එකිනෙක හා ගැටෙමින් දරුණු සටනක් ඇති විය. නැව් තට්ටු මත සෙබළුන් අතින් අත සටන් කළහ. කඩු, හෙල්ල සහ දුනු ඊතල භාවිතයෙන් දරුණු සටනක් සිදු විය. බොහෝ නැව් ගිනිගෙන විනාශ විය. දහස් ගණනක් සෙබළු මිය ගියහ. ඔස්ට්‍රියාවේ දොන් ජුවාන් ගේ ප්‍රධාන නෞකාව වූ Reale, අලි පාෂාගේ ප්‍රධාන නෞකාව වූ Sultana සමග මුහුණට මුහුණලා ගැටුනේය. ඉතා දරුණු සටනකින් පසු, ස්පාඤ්ඤ සෙබළුන් Sultana නෞකාවට ඇතුළු වී අලි පාෂාව මරා දැමීය. අලි පාෂාගේ මරණයත් සමඟ ඔටෝමාන් හමුදාවේ ධෛර්යය බිඳ වැටුණි. ඔවුන්ගේ නැව් බොහොමයක් ගිල්වා දැමීමට හෝ අල්ලා ගැනීමට ශුද්ධවූ සන්ධානය සමත් විය. සටන පැය පහක් පමණ පැවතුණි.

ලෙපාන්ටෝ සටනින් ශුද්ධවූ සන්ධානය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය. ඔටෝමාන් නාවික හමුදාවට විශාල හානියක් සිදුවිය. ඔවුන්ගේ නැව් 180කට වැඩි ප්‍රමාණයක් විනාශ වූ අතර, 20,000කට අධික සෙබළුන් පිරිසක් මිය ගියහ. තවත් බොහෝ පිරිසක් සිරකරුවන් ලෙස අල්ලා ගන්නා ලදී. ශුද්ධවූ සන්ධානයට ද සැලකිය යුතු හානියක් සිදු විය. ඔවුන්ගේ නැව් 15ක් පමණ විනාශ වූ අතර, 8,000ක් පමණ සෙබළු මිය ගියහ. ලෙපාන්ටෝ සටනේ ජයග්‍රහණය, ඔටෝමාන් අධිරාජ්‍යයේ බලය තාවකාලිකව දුර්වල කළේය. මධ්‍යධරණී මුහුදේ ඔටෝමාන් ආධිපත්‍යයට අභියෝගයක් එල්ල විය. යුරෝපයේ කිතුණු රාජ්‍යයන්ගේ ආරක්ෂාව තහවුරු විය. මෙම ජයග්‍රහණය යුරෝපයේ ජනතාව තුළ විශාල ධෛර්යයක් සහ උද්යෝගයක් ඇති කළේය. ඔටෝමාන්වරුන් පරාජය කළ හැකි බව ඔවුහු විශ්වාස කළහ. ඔටෝමන් වරු නැවතත් ප්‍රබල නාවික හමුදාවක් ගොඩනැගූ නමුත්, ලෙපාන්ටෝ සටනින් පසු ඔවුන්ගේ බලය ක්‍රමයෙන් හීන වන්නට විය.

මෙම තීරණාත්මක ජයග්‍රහණය වාර්තා වූ විගස, පස්වන පියුස් පාප්තුමා ප්‍රකාශ කර සිටියේ, මෙම ජයග්‍රහණය අති පාරිශුද්ධ වූ මරිය මව්තුමියගේ මැදිහත්වීමෙන් හා ජපමාල යාච්ඤාවේ බලයෙන් ලද ජයක් බවයි. මුළු යුරෝපය පුරාම ජපමාලය අතැතිව, දෙව් මව් පිහිට පැතූ අයුරුත්, සටන සිදුවන අතරතුර පවා පාප්තුමා ඇතුළු බොහෝ පිරිසක් නොකඩවා ජපමාලය යාච්ඤා කරමින් සිටි අයුරුත් ඉතිහාසයේ සඳහන් වේ.

ලෙපාන්ටෝ සටන යුරෝපයේ ඉතිහාසයේ, සංස්කෘතියේ සහ ආගමේ වැදගත් සන්ධිස්ථානයක් විය. ලෙපාන්ටෝ සටන, බොහෝ චිත්‍ර ශිල්පීන්ගේ සහ මූර්ති ශිල්පීන්ගේ නිර්මාණ සඳහා තේමා විය. එම සිතුවම් සහ මූර්ති අදටත් යුරෝපයේ විවිධ ස්ථානවල දැකගත හැකිය. ලෙපාන්ටෝ සටන පිළිබඳව බොහෝ කවි, ගීත සහ නාට්‍ය ලියා ඇත. ලෙපාන්ටෝ සටනේ ජයග්‍රහණය වෙනුවෙන් කතෝලික සභාව "ජපමාල දේවමාතා මංගල්‍යය"ස්ථාපිත කළේය. එය අදටත් ඔක්තෝබර් 7 වැනිදා සමරනු ලබයි. මෙම මංගල්‍යය සැමරීම තුළින්, කිතුණු ජනතාව එම ජයග්‍රහණයට දායක වූ මරිය මව්තුමියටත්, ජපමාලයටත් දක්වන ගෞරවය සහ කෘතවේදීත්වය ප්‍රකාශ වේ.

ලෙපාන්ටෝ සටන හුදෙක් යුද්ධයක් පමණක් නොව, ශිෂ්ටාචාර දෙකක් අතර ගැටුමක් විය. එය ඇදහිල්ල, ධෛර්යය සහ එක්සත්කම තුළින් අත්කරගත හැකි ජයග්‍රහණයේ අගය ලොවට කියා පෑ සටනක් විය. විශේෂයෙන්ම, එය දෙවියන් වහන්සේ කෙරෙහි භක්තියෙන් සහ මරියතුමියගේ මාතෘත්වය කෙරෙහි විශ්වාසයෙන් යුතුව කරන යාච්ඤාවේ බලය ලොවට හඬගා කියන සිදුවීමක් විය.

Read more

පාප් තුමන් වෙනුවෙන් දිවි පිදූ අභීත ස්විස් සෙබලුන්

දහසයවන සියවසේ යුරෝපය යනු දැඩි දේශපාලනික සහ ආගමික කැලඹීම්වලින් ගහන වූ යුගයකි. එක් පසෙකින්, යුරෝපයේ බලවත්ම රාජ්‍යයන් දෙක වූ ශුද්ධවූ රෝම අධිරාජ්‍යය සහ