මළවුන්ගේ මංගල්‍ය

මළවුන්ගේ මංගල්‍ය
Photo by Laura España / Unsplash

සාන්තුවරුන්ගේ තුන්දින ධ්‍යානයේ අවසන් දින වන 3 වන දින සිහිපත් කරනුයේ ක්‍රිස්තුස් වහන්සේ පොරොන්දු වූ මරණින් මතු සදාතන ජීවිතය කෙරෙහි විශ්වාස කළ මළාවූ සියළුම ආත්මයන්ය. මෙදිනදී විශේෂයෙන් ශුද්ධගිනිස්ථානයේ වෙසෙන ආත්මයන් සිහි කරන දිනයකි.ස්වර්ග රාජ්‍යය කරා යාමට අප 100% පිරිසිදු ආත්මයක් විය යුතුය.යමෙකු 99%පවිත්‍ර වී ඉතුරු 1%පවිත්‍ර කර ගැනීමට ශුද්ධගිනිස්ථානයට යා යුතුය. ශුද්ධගිනිස්ථානය ( purgatory) කියන වචනය බිදී එන්නෙ "purgare" කියන ලතින් වචනයෙන් එහි තේරුම තමයි "පවිත්‍ර කිරීම හෙවත් පිරිසිදු කිරීම" යන්නයි.

ස්වර්ග රාජ්‍යට පිවිසීමට නම් කිසිදු පාපයක පැල්ලමක් ආත්මය තුළ සටහන් වී නොතිබිය යුතුය. "කිසිදු පාපයේ පැල්ලමක් "යනු,

🔺ඔබේ ජීවිතයේ පසුතැවිලි නොවූ පාපයක් නොතිබිය යුතුය.
🔺ඔබගේ සියලු පව් සඳහා ගෙවිය යුතු සම්පූර්ණ වන්දිය ගෙවා තිබිය යුතුය
🔺ලෝකය කෙරෙහි බැඳීම් නොමැති වීම.

සියල්ලන් සමග සාමදානයෙන් සිටින්නටත්, ශුද්ධකම නැතිව කිසිවෙක් සාමිදාණන් වහන්සේ නොදක්නා බැවින්, ශුද්ධකම අනුව යන්නත් උත්සහ කරන්න.
[හෙබ්‍රෙව් 12:14]

පාපයේ ප්‍රතිඵලය නම් මරණයයි. එනිසා අපි පව් කරන හැම වතාවකම අපිට ලැබෙන ප්‍රතිඵලය වෙන්නේ මරණය. ඒත් අපි පාපොච්චාරණය සක්‍රමේන්තුව හරහා පව් කමාව ලබා ගන්න නිසා අපේ ආත්මයට සදාකාලික මරණය හිමි වෙන්නේ නැහැ. ඒත් පාපයේ ප්‍රතිඵලය වශයෙන් තාවකාලික දඩුවම් තියෙනවා. ඉතින් ඒ තාවකාලික දඩුවම් පූර්ණය කරන්නේ නැතුව අපි මියගියොත් එතකොට අපිට ශුද්ධගිනිස්ථානය හරහා උපකාර අවශ්‍ය වෙනවා.

🍂 බයිබලේ ශුද්ධගිනිස්ථානය ගැන සදහන් වෙනවාද?

බයිබලයේ කොහෙවත් ඍජුවම ශුද්ධගිනිස්ථානය ගැන සදහන් වෙන්නේ නෑ. අපි විශ්වාස කරන හුගක් දේවල් බයිබලේ ඍජුවම සදහන් නොවුනත් වක්‍රාකාරව හෝ සභා සම්ප්‍රදාය මගින් පැහැදිලිව සදහන් කර ඇත.
උදා:-ශු. ත්‍රිත්වය ( ශු. බයිබලේ කොහෙවත් ශු. ත්‍රිත්වය කියන වචනේ සදහන් වෙන්නේ නෑ.)
එබැවින් සහෝදරවරුනි; ස්ථිරව සිට,අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න.
[2 තෙසාලෝනික 2:15]

කොහොම වුනත් ශුද්ධගිනිස්ථානය ගැන බයිබලයේ වක්‍රාකාරව සදහන් වෙනවා.

🔥 ශු. මතෙව් 5:25-26

" ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මග දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට බාර දෙන්නේ ය; ඔබද හිරගෙයි දමනු ලබන්නෙහි ය. සැබවින් ම මම ඔබට කියමි, අන්තිම සතයටම දඩය ගෙවන තෙක් ඔබ කිසිසේත් එයින් පිටවී නොයන්නෙහි ය.
මෙම බයිබල් පාඨයේ සිරගෙයක් පිළිබඳව කතා කරනවා. මේ සිරගෙය ස්වර්ගයද නැත්නම් අපාය ද? ස්වර්ගය නම් වෙන්න බැහැ. මොකද ස්වර්ගය කියන්නේ හිරගෙයක් නෙමෙයි. අපාය වෙන්නත් බැහැ. මොකද අපාය තුළට ගිය කෙනෙක්ට ආයෙ ගැලවීමක් නැහැ. එහෙනම් මේ දෙක අතර තියෙන එකක් වෙන්න ඕන නේද.... මේ බයිබල් පාඨයේ "දඩය"කියල හඳුන්වන්නේ අපි කරපු සුළු හෝ පාපය ගැන.

🔥 1 කොරින්ති 3:13-15

ඔවුන්ගේ කර්මාන්තයේ තත්ත්වය, හෙළිදරව් වන්නේය. ඒ දවස ගින්න සහිතව උදාවේ. ඒ ගින්නෙන් ඒ ඒ කර්මාන්තය පරීක්ෂා කරනු ලැබීමෙන් ඒවායේ නියම ස්වභාවය හෙළි වේ. ඒ අත්තිවාරම මත ගොඩනගන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි. යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදුවේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැලවෙනු ඇත.

මෙහිදී පාවුළු තුමා මරණයෙන් පසුව ගින්නෙන් පරීක්ෂා කරනු ලැබීමක් පිළිබඳව කතා කරයි. එහෙත් මෙහි සඳහන් කරනුයේ නිරය විය නොහැක. මන්ද නිරයට ඇතුළු වූවෙකු ට ගැලවීමක් නොමැත.

🔥 2 මකබි 12:44

මන්ද, මළා වූ අය යළි උත්තාන වීම ගැන ඔහු බලාපොරොත්තු වූයේ නැත්නම් මළවුන් සඳහා යාච්ඥා කිරීම අනවශ්‍ය මෝඩ ක්‍රියාවකි.

මේ බයිබල් පාඨයේ සඳහන් කරන්නේ ස්වර්ගයේ ඉන්න අය වෙන්න බැහැ. මොකද ඒගොල්ලොන්ට අපෙන් යාච්ඥා අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නිරයේ ඉන්න අය වෙන්නත් බැහැ. මොකද නිරය අය වෙනුවෙන් යාඥා කරයි කියලා කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.

🔥 පිලිප්පි 2:10-11

එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, "ජේසුස්" යන නාමයට දණ නමන පිණිසත්,ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමිදාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින්ම ප්‍රකාශ කරන පිණිසත්ය.
මෙතන පාතාලය කියල සඳහන් කරන්නේ මොකද්ද? නිරය වෙන්න නම් බැහැ. මොකද නිරයේ වෙසෙන ආත්මයන් දෙවියන් වහන්සේව කිසිම මොහොතකවත් ප්‍රශංසාවට ලක් කරන්නේ නැහැ.

🍂 මළවුන් උදෙසා යාඥා කිරීම කතෝලික සභාවෙන් නිර්මිත පිළිවෙතක්ද?

කතෝලික සභාව නිවැරදි ආකාරයෙන් නීතිය ප්‍රතිසංස්කරණය කරන්නට පෙර ඉදලම මළවුන් උදෙසා යාඥා කිරීම සිද්ධ වෙලා තියෙනවා .

🔺ක්‍රි.ව 202 ජීවත් වූ ප්‍රාණපරිත්‍යාගී ප්‍රෙපචුවා හා ෆිලසිටි මිය යන තෙක්ම තමන්ගේ සහෝදරයා වෙනුවෙන් යාඥා කරලා තියෙනවා. ප්‍රෙපචුවා සිහින හරහා තම සහෝදරයා ශුද්ධගිනිස්ථානයේ දුක් විඳිනවා සහ ඉන් ගැලවෙනවා දැකලා තියෙනවා.
🔺ක්‍රි.ව 211 දී ටර්ටුලියා විසින් මියගිය පුද්ගලයන්ගේ උපන්දින සැමරුම් දිනයේදී( මියගිය දිනයේදී - ස්වර්ගයෙහි උපත ලැබීම ) ඔවුන් වෙනුවෙන් යාග පුද කරන බව රචනා කරලා තියෙනවා.
"ජෝබ්ගේ පුතුන් තම පියාගේ පූජාවෙන් පවිත්‍ර වූවා නම් (ජෝබ් 1:5), මිය ගිය අය වෙනුවෙන් කරන අපගේ පූජා ඔවුන්ට යම් සහනයක් ගෙන දෙයිද කියා අප සැක කරන්නේ මන්ද? මිය ගිය අයට උපකාර කිරීමට සහ අපගේ යාච්ඤාවන් ඔවුන්ට ඔප්පු කිරීමට අපි පසුබට නොවෙමු. ."
[ශු.ජෝන් ක්‍රිසෝස්තම්.]

ශුද්ධගිනිස්ථානයේ වෙසෙන ආත්මයන්ට අපගේ උපකාර අවශ්‍ය ද?

ඔවුන්ට අපගේ උපකාර අවශ්‍යයි. මොකද මියගියායින් පස්සේ ඒගොල්ලන්ට ඒගොල්ලො වෙනුවෙන්ම යාච්ඤා කරගන්න විදිහක් නැහැ. සාන්තුවරුන්ට වූනත් අපි යාඥාවේදී ශුද්ධගිනිස්ථානයේ ආත්මය උදෙසා මැදිහත් වෙන්නේ කිව්වෙ නැත්නම් ඒගොල්ලන්ටත් ශුද්ධගිනිස්ථානයේ ආත්ම වෙනුවෙන් යාච්ඥා කරන්න විදිහකුත් නැහැ.හුගක් ආත්ම ශුද්ධගිනිස්ථානයේ දුක් විදින්නේ යාච්ඥා කරන්න පිරිසක් නැති නිසා.
ඒක නිසා නිතරම අපේ පොදු සහ පෞද්ගලික යාච්ඤාවේදී ශුද්ධගිනිස්ථානයේ වෙසෙන ආත්මයන් සිහිපත් ඉතාමත් වැදගත්. විශේෂයෙන් ම ඒ ආත්මයන් වෙනුවෙන් දිව්‍ය පූජාව පැවැත්වීම, ජපමාලය උච්චාරණය අවශ්‍යම අංගයක්. ඒ වගේම අපි ඒ ආත්ම සිහිපත් කරමින් නිරාහාරශීලය රකිනවනම් හරි කායික,මානසික රෝගයකින් පීඩා විඳිනකොට අපි විදින වේදනාව ඒ ආත්මයන් වෙනුවෙන් කැප කරනවා නම්. වඩා ඵලදායකයි.

ශුද්ධගිනිස්ථානයේ ආත්මයන් උදෙසා යාඥා කිරීමෙන් අපට ලැබෙන ප්‍රතිඵල මොනවාද?

📌 අපි වෙනුවෙන්ම යාඥා කරන සහ මැදිහත් වෙන personal සාන්තුවරෙක් අපිට ස්වර්ගයේ ඉන්නවා. 😁 මොකද ඒ ආත්මේ ගැලවෙන්නේ අපේ උපකාරයෙන් නිසා අපිට ඉදිරියේ තියෙන කරදර වලදී සහ පීඩාවන්වලදී ඒ ආත්මයන් අපිට උපකාර වෙනවා. ඒ විදිහට ශුද්ධගිනිස්ථානයෙන් මිදිච්ච ආත්මයන් මේ ලෝකෙට ඇවිල්ලා තමන් වෙනුවෙන් යාඥා කරපු පුද්ගලයා වෙනුවෙන් උදව් උපකාර කරපු අවස්ථා ඕන තරම් තියනවා.

ශුද්ධගිනිස්ථානයේ වෙසෙන ආත්මයන් උදෙසා යාඥා කිරීම අපගේ වගකීමක්ද?

ෆවුස්තිනා කන්‍යාසොයුරියගේ පාපෝච්චාරණය අසන්නාවූ අධ්‍යාත්මික පියතුමන් කියලා තියෙනවලු ශුද්ධගිනිස්ථානයේ එක් කාන්තාවකගේ ආත්මයක් හුඟක් කාලයක් තිස්සේ දුක් විඳිනවා කියලා. ඒ විදිහට දුක් විදින්න හේතුව තමයි එයා ජීවත් වෙලා ඉන්න කාලෙ එයා යාඥා කරන්න බැදිලා ඉන්න ආත්මයන්ට යාඥා කළේ නෑලු. ඒක නිසා එයා මියගියයින් පස්සෙත් ඒ කාන්තාව වෙනුවෙන් හම්බෙන හැම යාඥාවක්ම ඒ කාන්තාව යාච්ඤා කරන්න බැඳිලා ඉඳපු නමුත් යාඥා නොකරපු අනික් ආත්මයන්ට බෙදිලා ගියාලු.

එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාව පිළිපදින්න.
[ ගලති 6:2]

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්

Read more