සියලු සාන්තුවරුන්ගේ මංගල්‍යය

සියලු සාන්තුවරුන්ගේ මංගල්‍යය
Photo by Michael O'Sullivan / Unsplash

සාන්තුවරුන්ගේ තුන්දින ධ්‍යානය හෙවත් Allhallowtide හි 2වන දිනයට යෙදී තිබෙන්නේ ශු. සභාව විසින් නිළ වශයෙන් ප්‍රකාශ කර ඇති මෙන්ම එසේ ප්‍රකාශ කර නොමැතත් මේ වන විට ස්වර්ගයෙහි වෙසෙන සියලු ආත්මයන් සිහිපත් කිරීමේ දිනයයි. ලතින් භාෂාවෙන් සාන්තුවරයන් හඳුන්වනු ලබන්නේ "Sanctus" යන වචනයෙනි . එහි අර්ථය නම් "ශුද්ධවන්ත වීමට වෙන් කර ඇති"යන්නයි.

🍂 කතෝලික සභාව සාන්තුවරුන්ට වන්දනාමාන කරනවාද?

සාන්තුවරුන්ට සහ දෙවියන් වහන්සේට වන්දනාමාන කරන ක්‍රම හතරක් ඇත. ඒවා නම්,

  1. Latria: දෙවියන් වහන්සේට පමණක් හිමිවන(ණයගැති) උතුම්ම නමස්කාරය.
  2. Hyperdulia: අප ස්වාමිදුව(මරියතුමියට) දෙන්නා වූ ඉහළම ගෞරවය
  3. Protodulia: ප්‍රථම සාන්තුවරයා වන ශු. ජෝසප් මුනිතුමන්ට(ජේසුස් වහන්සේගේ සුරැකි පියා) හිමිවිය යුතු ගෞරවය.
  4. Dulia: සාන්තුවරුන්ට ලැබිය යුතු ගෞරවය.
    ලෙසයි.

පුරාණ ගිවිසුම තුළ සඳහන් වන පරිදි වන්දනාමාන කිරීම යන වචනය ප්‍රථමයෙන්ම සඳහන් වනුයේ උප්පත්ති පොතෙහි 22 පරිච්ඡේදයේ අන්තර්ගතවන ඊසාක් පූජා කරනු ලැබීම යන අවස්ථාවෙහිදිය.
එවිට ඔහු සිය සේවකයන්ට කතාකොට, " කොටළුවා සමග මෙහි නවතින්න, දරුවා ද මම ද අතනට ගොස්, වැඳ පුදා ආපසු එන්නෙමු. යයි කීවේය.
[ උප්පත්ති 22:5]

මෙහිදී " වැද පුදා " යන්නෙන් අර්ථවත් කරනුයේ ඊසාක්ව පූජා කිරීමය. එලෙස ගත් කල යාගයක් ඔප්පු කිරීම නමස්කාරයට සමානයි. නමුත් කතෝලිකයන් කිසි දිනකත් සාන්තුවරයන් උදෙසා යාග පූජා ඔප්පු නොකරයි. එසේ කරනුයේ දෙවියන් වහන්සේට පමණයි

උදා :- දිව්‍ය පූජාව( ශුද්ධාත්මයාණන්ගේ අනුග්‍රහය ඇතිව ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේට යාගයක් කොට ඔප්පු කිරීම)

" Pray" යන වචනයෙහි අර්ථය නම් "to ask" යන්නයි.අරුත් අප සාන්තුවරුන් ඉදිරියේ ක්‍රිස්තුස් වහන්සේගේ මැදිහත්කම පතා යාඥා කරනවා පමණි.

වත්මන් සමාජය තුළ ඉහළ නිල තනතුරු දරන්නන්ට මෙන්ම විවිධ වූ දක්ෂතා අතරින් කැපීපෙනෙන්නාවූ පුද්ගලයන් අප ගෞරවයට ලක් කරන්නා සේම අප හා වෙසුණු සහ අප මෙන්ම සාමාන්‍ය දිවියක් ගත කළ මිනිසුන් වුවත් මේ වනවිට ස්වර්ග රාජ්‍යයේහි වෙසෙන සියලු ආත්මයන් අප විසින් ගෞරවයට ලක් කරනු ලබයි. ශු. සභාව කිසිවිටකත් සාන්තුවරයන් හිතු මනාපේට නම් නොකරයි. ශුද්ධ වූ සභාව විසින් සිද්ධ කරනු ලබනුයේ සාන්තුවරුන් හඳුනාගැනීමයි.ශු. බයිබලය තුළ "සාන්තුවරයා" යන වචනය 229 වතාවක් සඳහන්ව තිබෙනවා.

ක්‍රිස්තුස්වහන්සේ තුළ ලද සුවිශේෂී කැඳවීම තුළ භෞතිස්ම ස්නාපනය ලබන අප සියලු දෙනා සාන්තුවරයට කැඳවා ඇත.

මිහිපිට සියලු ජාතීන් අතරින් සමිදාණන් වහන්සේ සතු විශේෂ සෙනගක් වන පිණිස උන්වහන්සේ ඔබ තෝරා ගත් සේක.
[ද්විතිය නීති සංග්‍රහය14:2]

අපගේ කාර්යය වන්නේ ස්වර්ගය ලබා ගැනීමයි; අනෙක් සියල්ල කාලය නාස්ති කිරීමකි
[St. Vincent de paul ]

එනිසා උන්වහන්සේගේ දුක් විඳීමෙහි පංගුකාරයන් වීමට අප වරම් ලබන අතරම උන්වහන්සේගේ උත්ථානයටද අප පංගුකාරයන් වන්නේමය.

උන්වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන්වහන්සේ හා සමග එක් වුණේම නම්, උන්වහන්සේගේ උත්ථානය වැනි සිද්ධියකින්ද අපි උන්වහන්සේ හා සමග එක්වන්නෙමු.... අපි ක්‍රිස්තුස් වහන්සේ සමග මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ ජීවත්වන බවද විශ්වාස කරමු.
[ රෝම 6:5/6:8]

මේ වනවිට ලොව පුරා ක්‍රිස්තු දහම පැතිරී ඇත්නම් හා කෙතරම් දරුණුවූ පව්කාරයෙකුට වුවද ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉදිරි ගමනක් ඇති බව අප විශ්වාස කරනුයේ සාන්තුවරුන් නිසාය.
මම සියලු දේ වලින් අශුද්ධ වී ඇත.

දෙවියන් වහන්සේට මා තුළින් ක්‍රියා කළ හැකි නම්. ඔහුට ඕනෑම කෙනෙක් හරහා ක්‍රියා කර හැකිය.
[ අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිතුමා.]

🍂 ක්‍රිස්තුස් වහන්සේ අපගේ මැදිහත්කරුවාණන් නම් සාන්තුවරුන් අත්‍යවශ්‍ය ද?

දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එකම මැදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් වහන්සේය.
[ 1තිමෝති 2:5]

ක්‍රිස්තුස් වහන්සේ අපගේ මැදිහත්කරුවාණන් බව ශු. බයිබලයෙහිම සඳහන්ව ඇත. එනිසා එය පිළිබඳව තර්ක කිරීමට අවශ්‍ය නොවේ. දෙවියන් වහන්සේ ඉදිරියෙහි අප උදෙසා මැදිහත්කම් කළ හැක්කේ ක්‍රිස්තුස් වහන්සේට පමණි. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ මැදිහත්කම් කර හැකි බොහෝමයක් දෙනෙකු ඇත. ඔවුන් නම් සාන්තුවරුන්ය.

උදා :-ශු. මාක් 2:1-12, උප්පත්ති 20:1-18

ශුද්ධ වූ මාක් සුභාරංචියෙහි ඉහත දැක්වූ පරිච්ඡේදයෙහි සඳහන් වන්නේ අංශභාග රෝගියෙකු සුව කිරීමයි. මෙහිදී මේ අංශභාග රෝගියාව රැගෙන එනුයේ පුද්ගලයින් හතර දෙනෙකු විසිනි. මෙහිදී ක්‍රිස්තුස් වහන්සේ මේ අංශභාග රෝගියාව සුව කරනුයේ එම සතර දෙනාගේ ඇදහිල්ල දැකය.

සමූහය නිසා උන්වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් ඔවුහු උන්වහන්සේ සිටි තැනට ඉහලින් පියස්සේ සෙවිල්ල හැර, පියස්ස කඩා, අංශභාග රෝගියා ඔත් යහන පහතට බැස්වූහ.* ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක*,"පුත්‍රය, ඔබේ පව් කමා කර තිබේ "යැයි අංශභාග රෝගියාට වදාළ සේක.
[ශු. මාක් 2:4-5]

එනිසා මෙලොව තුළ ජීවත්වන විටදී අපට විවිධ පුද්ගලයන්ගේ උපකාර අවශ්‍ය වනු ඇත. සාන්තුවර මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් පවා තම දුක් කරදරයකදී හිත මිතුරන්ගෙන් අධ්‍යාත්මික උපකාර බලාපොරොත්තු වෙනවා නොවේද?

අනික් උදාහරණය නම් උප්පත්ති කතාවෙහි 20 වන පරිච්ඡේදයෙහි සඳහන් වන ආබ්‍රහම් හා අබිමේලෙක් රජ අතරවන සිදුවීමය. මෙහිදී අබිමෙලෙක් රජ හට සාරා ව ආබ්‍රහම්ගේ සොයුරියක ලෙස හඳුන්වාදීම නිසා අබිමෙලෙක් රජ ඇයව තමා වෙත ගෙන්වා ගත්තේය. එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ රජතුමන් හට සිහිනයකින් දර්ශනය වී " නුඹගත් ස්ත්‍රීය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහිය"යි වදාළ හ. එවිට රජතුමා සාරාට කිසිසේත් සමීප වී හෝ නොසිටියේය. පසුව රජතුමන් " ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරී යයි කීවා නොවේද? ඈ
වූවද ඔහු ඇගේ සහෝදරයා යයි කීවාය. මා මෙය කළේ හෘද සාක්ෂියට එකඟව අවංක සිතකිනි "යි කී ය.

පසුව දෙවියන් වහන්සේ විසින් " ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යාච්ඥා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහිය. "යි වදාළ සේක.

අබිමෙලෙක් යනු දෙවියන් වහන්සේ සමඟ යහපත් සබඳතාවයක් තිබූ ධර්මිෂ්ට තැනැත්තෙකි. දෙවියන් වහන්සේ සමග කෙතරම් යහපත් සම්බන්ධතාවයක් තිබුණද කිවහොත් ඔහු දෙවියන් වහන්සේ සමඟ සිහිනයෙන් හෝ සෘජුවම කතා කළහ. එහෙත් අබිමෙලෙක් නොදැනුවත්කමෙන් කළ පාපය නිසා ඔහු මිය යන්නට පවා තිබුණේය. නමුත් ගැටළුව නම් දෙවියන් වහන්සේ රජතුමන් සමඟ මෙතරම් සෘජුව සම්බන්ධතාවයක් පවත්වන්නෙහි නම් දිවැසිවර ආබ්‍රහම් ඔහු වෙනුවෙන් යාඥා කළ යුත්තේ මන්ද යන්නයි. මන්ද දෙවියන් වහන්සේට ඔහුව සෘජුවම ආශිර්වාද කළ හැකිය. එහෙත් දෙවියන් වහන්සේ එම ආශිර්වාදය ලබාදෙනුයේ ආබ්‍රහම් තුළින්ය. එනම් ධර්මිෂ්ඨ පුද්ගලයන් තුළින්ය.

ආබ්‍රහම් දෙවියන් වහන්සේට යාඥා කළේය. උන්වහන්සේ ද අබිමෙලෙක් සුවපත් කළ සේක; ඔහුගේ භාර්යාවට ද දාසීන්ට දරු සම්පත් ලැබෙන සේ ඔවුන් සුවපත් කළ සේක. එසේ කළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයෙහි සියලුම කාන්තාවන් උන්වහන්සේ වද බවට පත්කළ හෙයිනි.
[උප්පත්ති 20:17-18]

බොහෝවිට සෘජුවම දෙවියන් වහන්සේගෙන් ආයාචනා කිරීමට අප සුදුස්සන් නොවේ. මන්ද අප දැනුවත්ව හෝ නොදැනුවත්ව සුළු හෝ පාපයක් කර ඇති එහෙයිනි. එනිසා සාන්තුවරුන් වැනි ධර්මිෂ්ඨ පුද්ගලයින් හරහා අපගේ අයැදීම උන්වහන්සේ වෙත ඉදිරිපත් කිරීම වඩා ඵලදායිය.
..... දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; ඵලදායක ය.
[ජාකොබ් 5:16]

🍂සාන්තුවරුන් මියගිය පුද්ගලයන් බැවින් ඔවුන්ට යාච්ඥා කිරීමෙන් කිසිදු ඵලයක් තිබේද?

ක්‍රිස්තුස් වහන්සේගේ අන්‍යරූප විලාශවීමේ සිදුවීම අපි කවුරුත් අසා ඇත. එහිදී උන්වහන්සේගේ දෙපසින් මෝසෙස් හා එළියා දිවැසිවරයන් සිටිනු ගෝලයන් දුටුවාය. එහෙත් මෝසෙස් හා එලියා ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියටත් පෙර බොහෝ කලක සිට මියගිය තැනැත්තන් නොවේද...
උන්වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව, ජීවතුන්ගේ දෙවියන් වහන්සේය.
[ලුක් 20:38]

ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි. මා අදහගන්නා මැරුණත් ජීවත් වන්නේය; ජීවත්ව සිටින, මා අදහාගන්නා කිසිවෙක් කිසි කලෙක නොමැරෙන්නේය.
[ශු. ජොහන් 11:25-26]
එනිසා සාන්තුවරුන් කායිකව මිය ගියත් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ ඇදහූ බැවින් සදහටම ජීවමානය.

🍂ශුද්ධ වූ සභාව විසින් ප්‍රකාශ කරලා තිබ්බත් ඇත්තටම ඒගොල්ලෝ සාන්තුවටද කියලා අපි දැනගන්නේ කොහොමද?

ශුද්ධ වූ සභාව මෙහෙයවනු ලබන්නේ ශුද්ධාත්මයන් වහන්සේ විසිනි. ශුද්ධාත්මයාණන් වහන්සේ කිසි දිනකත් ව්‍යාජ ප්‍රකාශ සිදු කරන්නේ නැත.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්

Read more